බීමට යමක්!


දැනට අවුරුදු පහ හයකට කලින් මා කියවමින් හිටපු බ්ලොගයක් ගැන මතක් වෙනවා. එය ඇමෙරිකාවේ ඉන්න, ලංකා-ඇමෙරිකානු කාන්තාවක් ලියමින් හිටපු එකක්. මා සිතන්නේ අය විශ්‍රාම සුවන විඳිමින් සිටිය කෙනෙක්. තනිවම, තමන් ඇති කරන පූසන් සමග ගත කරන ජීවිතය තමයි, ඇයගේ බ්ලොගයේ තිබුණේ. එහි නමවත් දැන් මට මතක් වෙන්නේ නැහැ.

පූසන් දෙදෙනෙකු හා ජීවත් වෙන, කාන්තාවකගේ නිවසක මා කුඩා කාලයක් නැවතී සිටියා. ඇය වැඩ කරන කෙනෙක් වුවත්, දිනපතාම පාහේ වයින් පානය කෙරුවා. සමහරවිට, ඉතා අධික ලෙස. ඇය පූසන්ට කතා කෙරුවේ දරුවන් කියා.

මා පළමු ඡේදයෙන් කියපු, බ්ලොගය කියවපු අය ගොඩක් ඉන්න නැතිව ඇති වගේම, එය ලියපු කෙනා එක්කෝ අද ජීවතුන් අතර නැතිව ඇති, නැත්නම් බ්ලොග් තියා වෙන දෙයක් ගැනවත් සිත යොමුකරන්න තරම් මනසකින් නැතුවත් ඇති.

ලංකාවෙන් පිටට ගිහිං, දරුවන් ලොකුමහත් කර, සැන්දෑ සමය ගෙවන ඇය ලියුවේ, ඇගේ එදිනෙදා ජීවිතය ගෙවන හැටි. මා කියවන්න කැමති වර්ගයේ සටහන්. හැබැයි, සංක්‍රමණිකයන් ලියන එවැනි දේ කියවන්න, උපන් රටේ පිරිස එතරම්ම කැමති නැහැ. ඇය නම් ලියුවේ අපේ මව් බාෂාව වන ඉංගිරිසියෙන්.

සිංහල කියවන පිරිස ගොඩක් දෙනා, දේශපාලනය හා විවේචන අඩංගු දේ කියවන්න වඩාත් කැමැත්තක් දක්වනවා කියා බැලූ බැල්මට පෙනෙනවා. ඉස්සරත් රූපවාහිනී වල වුවත් හරසුන් (මට ඒ දවස්වල සිතුණේ නැහැ එහෙම), දේශපාලකයන් විසින් කරන සංවාද, විවාද ඇතුලත් වැඩසටහන් හරි ජනප්‍රියයි. හැම චැනලයකම මේවා තිබුණා. අදත් ඇති.

එම වැඩසටහන් වලට සහභාගී වන දේශපාලකයන්, ඒ වැඩසටහන් වලදී කියන දේවල් හා කරන දේවල් අතර තියන පරස්පරය වගේම, බලපු අපෙත් ජීවිත වල පරස්පරයක් තිබුණා කියා අද මට හිතෙනවා. එනම්, මෙව්වා බැලුවේ නිකම්ම විනෝදයක් සඳහා විතරයි. එයින් එහා ඇත්තම දිවියේ අපගේ තීරණ සමහරවිට, ඒ සරල සත්‍ය වලින් සම්පුර්ණයෙන් වියුක්ත ඒවා වන්නට ඇති. මා කියන්නේ සමාජයේ බහුතරය එදා හැසිරුණු හැටි.

ලංකාවෙන් ඉවත්ව ගොඩක් කලක් වුවත්, මට පවා, මා මේ කියන ලාංකිකත්වයෙන් සම්පුර්ණයෙන් ඉවත්වන්න තවම හැකිවී නැහැ. අප ගොඩක් වෙලාවට, සමාජය, අනුන්ව, දේශපාලකයන්ව යනාදී වශයෙන් විවේචනය කරන්න ගොඩක් ආසාවක් දක්වනවා. හැබැයි, බොහෝ වෙලාවට අප ඒ කරන විවේචන වලට අදාළ මූලයන් අපගේ ජිවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල ඇතුලත්. හැබැයි, කිසිදා ඒවා ගැන සිතන්නේ නැහැ.

සමහර රුපවාහිනී වැඩසටහන් වල නොමැති, අමු බවක් නැත්නම්, ඇත්තට වඩාත් සමීප බවක්, සමහර සාමාන්‍ය මිනිසුන් කරන ව්ලොග් හා යූ ටියුබ් වැඩසටහන් වල තියනවා. ඉන්දියාව ගැන මා අසාවෙන් බලන බ්‍රිතාන්‍ය වැසියෙකු කරණ බෝල්ඩ් ඇන්ඩ් බැන්ක්රෆ්ට් හා නොර්වේ ජාතිකයෙක් වන හැරල්ඩ් බෝල්ඩර් කරන යූ ටියුබ් චැනලයන් වලින් ඉදිරිපත් කරන ඉන්දියාව, අපටත් සමීපයි.

බොහෝ රූපවාහිනි වැඩසටහන් වලින්, පෙන්වන ග්ලැමරැස් තරු පහේ හෝටල්, විචිත්‍ර කඩ වලින් එහා, අඳුරු විදී, මුඩුක්කු, ගරා වැටුණු ගොඩනැගිලි, තාවකාලික කුඩාරම් වල දිවි ගෙවනවා වුවත්, සිනහවෙන් ඉන්න දරුවන්, දවසම රික්ෂෝ පදවලා, රෑට පාරේ නිදා ගන්න මිනිසුන්, පාසල් යන්නේ නැතිව, රුපියල් දහයකට පෙව්මට් එකේ කරනම් ගහන දැරිවියන්, සපත්තු පොලිෂ් කරන අවුරුදු දහයේ එකොළහේ දරුවන්, විදේශිකයෙකු දුටු විට ගාණක් කඩා ගන්න බලන මිණිසුන් යනාදී වශයෙන් අපටත් අමතක, මිනිසුන්ගේ සැබෑ දිවිය මේ වැඩසටහන් වලින් ලෝකයටම පෙන්වනවා.

අන්තර්ජාලයේ සිහින මවන අප වැනි සංක්‍රමණික ගොඩක් දෙනා, කොතරම් ඒ ලෝකයෙන් ඈත් ද?

පසු වදන

අද ලංකාවට ආපුවහම ඉස්සර කාපු හැමදෙයක්ම හා හැම තැනකින්ම, කන්නට මා නිර්භීත නොවනවා කියන්නේ, ආඩම්බරයකින් නොවේ. උදාහරණයකට, මා රටකජු කන්න කැමතියි. ඉස්සර දෙහිවල හන්දියේ තිබුණු, රටකජු විකුණන තැනින්, රටකජු කන්න අද මට කැමැත්තක් නැහැ.

මා ගොඩක් වෙලාවට හැම තැනකදීම, තෝරනවා වගේම, දෙයක් හදන තැනක හා හදන විදියේ පිරිසිදු කම ගැන සැලකිලිමත්. මගේ දිවට ඇතිවන රුචිකත්වය, ඇසට පෙනෙන රූපය මත රඳා පවතිනවා.

මට හැකියාව තිබුණත් හෝ ලැබුණොත්, මේ දෙදෙනා අත්දකින දේ, මා අත්දකින්න බලාපොරොත්තුවක් නැහැ. ඔවුන් මේ ගමන්වලින් (යූ ටියුබ් වැඩසටහන් වලින්) ගාණක් කපා ගන්නවා වුවත්, ඒවා මා දකින්නේ හා රසවිඳින්නේ, අප වැනි මිනිසුනට කිසිදා අත්දකින්න නොලැබෙන දේවල් නිසා.

Advertisements

Comments Off on බීමට යමක්!

Filed under Opinion

Comments are closed.