සැබෑ විරාමයකට පෙර!


ඊයේ ලිවීමට සිතන් සිටිය සටහන තමා අද ලියන්නේ. අද ලියන්නේ, ඊයේ ලියවෙන්න තිබුන සටහන නම් නොවේ. මේ සටහන් කිසිවක් කලින් තීරණය කර ලියැවුන එව්වා නොවේ. රවී කියන හැටියට ඒවායේ, යම් අපූර්යත්වයක් තියනවා නම්, එයට හේතුව එයයි.

මා බ්ලොගය ලියූ, මේ දීර්ග කාලය ඇතුලත, මා කියවමින් හිටිය සිංහල හා ඉංගිරිසි බ්ලොග් වලින් සෑහෙන කොටසක් අතුරුදහන් වූවා. ඒ වගේම සමහර දෙනා අළුතින් ලියන්න ගත්තා. එයමයි, පුද්ගල සන්නිවේදනයේ තියන අපූර්වත්වය.

මුදලට ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා වගේ නොවේ, තමන්ගේ ජීවිතයට අනුරූපව, එක්කෝ ලිවීම, නැත්නම් වෙන දෙයක් කිරීම මගින් කියන්නේ, අපගේ ජීවිතය ගලා යන්නේ ඒකාකාර ලෙස නොවේ කියන එක. අප විවිධ කාල වලදී මුහුණ දෙන්නේ විවිධ ප්‍රශ්න හා තත්ත්වයන් වලට.

මගේ ජීවිතය ගැන කියුවොත්, එය දැන් ක්‍රමයෙන් මන්දගාමී වෙමින් පවතිනවා. ඒ කියන්නේ ජිවිතයේ කලින් කරපු බුල්ශිට් වලින් මිදෙමින් පවතිනවා. ඉස්සර අපේ සති අන්තය කියන්නේ හුස්ම ගන්නට පමණක් හැකි එකක් කියුවොත් අතිශයෝක්තියක් නොවේ. එහෙම වුණෙත්, දරුවන්, කිසි දිනෙක බාහිර උපකාරක පංති හෝ සති අන්තයේ රැකියාවේ වැඩ කරලා හෝ පන්සල්-පල්ලි ගිහිල්ල හෝ නම් නොවේ.

මෙතැනදී මා කියන්න ඕනි, දරුවන් හැකි පමණ සමහර විට, එයාලගේ එතරම් කැමැත්තක් නැතිවත් බාහිර ක්‍රියාකාරකම් වලට නම් යොමු කෙරුව. මා හිතන්නේ, ඒ සියල්ල ඔවුනගේ අනාගතයට උදව් කරාවි කියා.

මා අතීතයට ගියොත්, සෝවියට් දේශයේ ඉගෙන ගන්නා විට, අනාගතයේ ජීවිතය මොන වගේ වේවිද කියා හාන්කවිසියක අදහසක් මට තිබුණේ නැහැ. ඇත්තම කියුවොත්, එවැනි දේවල් කල්පනා කරන්න අප වෙහෙසුණේ නැහැ. පන්ති වල වැඩ වැඩිය ආයාසයකින් තොරව ගොඩ දා ගන්න හැකියාව තිබුණු නිසා (බොරු කරපු නිසා නොවේ. අද පවා ඒ ලබා ගත් දැනුම අපගේ සමකාලීනයන් හා සසඳන විට දෙවැනි නැහැ), ජිවිතයේ අනික් දේවල් වලට සිත වඩාත් යොමු වුණා. ඒ කියන්නේ සරල රස වින්දනයට.

ඉන්පසු, ලංකාවේ ජීවිතය ගත්තොත්, එහි රැඳී සිටියා නම් කියන එක හා එයින් ඉවත්වුණ එක ගැන, මා එක වගේම සිතනවා. මා කියන්නේ පසුතැවිලි වෙනවා කියන එක නම් නොවේ. එවැනි දේවල් ගැන මා පසු තැවෙන්නේ නැහැ. මගේ පසුතැවිලි ඇත්නම්, අන් අය හා බෙදා ගන්න බැරි, ජිවිතයේ අතිශය පෞද්ගලික කාරණා දෙක තුනක් සම්බන්දයෙන් පමණයි.

එතැනදී, මට සිතෙන දෙයක් තමා, ලංකාවේ සිටියා නම් කියන එක ගැන, මගේ වයසේ සිටින බොහෝ දෙනා වගේ, අද වික්ෂිප්තයට පත් වන්න ඉඩ තිබුණා කියන එක. රැඳී සිටියානම්, සමහරවිට, සමාජයට නොදැනෙන ඉතා සුළු බලපෑමක් කරන්න ඉඩ තිබුණා. මා කියන දේ, එහි රැඳී සිටිය, එවැනි බලපෑම් කරන්න උත්සහ කරපු, අපේ මිත්‍රයන් දන්නවා.

එවැනි දෙයකට, අපගේ දරුවන් ගේ අනාගතය යම් පමණකට කැප කරන්න ඉඩ තිබුණා. මා සංක්‍රමණික ජීවිතයේ අගය කරන දේවල් වලට මුලට එන්නේ, දරුවන් උස් මහත් කිරීමේදී අපට තිබුණ ස්වාධීනත්වය. එතැනදී නම් මගේ දෙමව්පියන් ද හැමදා කෘතවේදීව සිහිකරන්න මා පසුබට වෙන්නේ නැහැ.

අප හැදුනේ වැඩුනේ, අම්මට තාත්තට වඳින්න, පන්සල් යන්න, අනික් වැඩිහිටියන්ට වඳින්න, ආගමක් අදහන්න කියා බල කරන හා උපදෙස් දෙන මාපියන් දෙදෙනෙකු යටතේ නොවේ. ඒ අවදිය ගැන සිතන විට, ඔවුනට මගේ තියන ගෞරවය හා ආදරය එදාට වඩා අද වැඩියි.

අපේ ලොකු පුතා පසුගිය වසරේ තාත්තලාගේ දිනය වෙනුවෙන්, මට එවපු කෙටි පණිවුඩයක කියුවේ, තාත්තේ, සමහරවිට, ඔබ මට කරපු දේවල් වලට, ඇති තරම් ස්තුතියි කියා මා කියුවේ නැහැ. ඒත් නැවත හිතන විටදී, ඔබ තමා මට ලබන්න හැකි හොඳම තාත්තා, ඔබට ස්තුතියි.

මා ඒ පුතා වගේම තමා, තරුණ කාලයේ මගේ අදහස් හා හැඟීම් එතරම් ප්‍රකාශ කරපු කෙනෙක් නොවේ. එදා වගේ නොවේ, අද මා හැකි හැම විටම, කතා කරන්න, එනම් මිත්‍රශීලි කියා හැඟෙන පිරිස් සමග කතා කරනවා.

ඊයේ ජිම් එකේ මට හමුවුණේ, මට වඩා අවුරුදු විස්සකින් විතර වැඩිමහල් සුද්දෙක්, ඔහු හා කතා කරපුවහම කියුවේ, දනිස් දෙකම, අලුතින් දාල කියා. එහෙම තියෙත්දිත්, ඔහු මගෙන් ඇසුවේ රේස් එකක් යමුද කියා. වියපත් වීම ඉතා සුන්දර දෙයක් වගේම, ලෙහෙසි දෙයක් නම් නොවේ කියන එක තමා අවට බැලූ විට පෙනෙන්නේ.

ලංකාව ගැන මගේ අදහස් වැඩිය ලියා නැත්තේ, එය මගේ බලාපොරොත්තුව නොවන නිසා. හැබැයි කණගාටුවකට කියන්න ඕනේ, ලංකාවට තියන මුල්ම පුරස්නයක් කියා මා සිතන්නේ, දේශපාලකයන් කියා මිනිසුන් තෝරන අයගේ, රටට හෝ සමාජයට ඇති ආදරයක් නැති කමම පමණක් නොවේ, අප වැනි සාමාන්‍ය පන්තියෙන් ඉහළට ආපු, දැනට මධ්‍යම පන්තිය ලෙස සැලකෙන පිරිසේ ක්‍රියාකාරීත්වයත්, එයට ඇති ප්‍රධාන පුරස්නයක්. එයම තමා දේශපාලකයන් ලෙස අපේ තේරීම් වන පුද්ගලයනුත් අතරින් පවා පෙන්වන්නේ.

එතැනදී, ලංකාවෙන් ඉවත් වුන, මා වැනි පිරිසත් ඇතුළත්. හැබැයි අපට වඩා, අප ගිය පාසල් අරක් ගෙන ඉන්නා, ආදී සිසුන් කියා ගන්න හරක්, මහජනතාවගේ මුදලෙන් උගත්, සාමාන්‍ය පවුල් වලින් එන, වෛද්‍යවරුන් කියා, තමන්ව, සමාජයේ විශේෂ තැනක පිහිටුවා ගන්න උත්සහ කරන පිරිස්, රජයේ රැකියා සොයන, නමුත් ඒ රැකියා උත්පාදනය වන්නේ කොහොමද කියා නොසිතන, මහජන මුදලින් උපාධිය දක්වා ඉගෙන ගත් මිනිසුන් යනාදියෙන් සමන්විත, මහජන මුදලින් උගත් හා මුළු ජිවිතයම මහජන මුදලින් ගෙවන පිරිස් තමා ලංකාවට තියන ලොකුම පුරස්නය කියා මා හිතනවා. මෙතැනදී තියන පොදු ගුනාකාරකය වන්නේ, මේ පිරිස එදා දරුවන් වශයෙන් විතරක් නොවේ, අදත් යැපෙන්නේ මහජන මුදල් මත වීම.

මා කියන්නේ, එම සේවා සැපයීම අයින් කිරීම නොවේ. එම සේවා සපයන්නේ කවුරුන් සඳහාද, ඒවාට ප්‍රතිපාදන එන්නේ කොහෙන්ද යනාදී කාරණා පිලිබඳ අවබෝධයකින් කටයුතු කරන්නේ සුළු පිරිසක් කියා බැලූ බැල්මට පෙනීම තමා ප්‍රශ්නය. බිත්තර බලාපොරොත්තු වන සමාජයේ විශාල පිරිසක්, කිකිළිය ඉන්නේ මොකටද කියා අමතක කරනවා. අනික් කරුණ නම්, සමාජ සුබසාධනය කියන දේ, spectacularly fail වීමට ප්‍රධාන හේතුව නම්, සමාජයේ යමක් කමක් කර ගන්න හැකි තරමට ඒ ක්‍රමයෙන් උදව් ගත්තු, විශාල පිරිසක් තවත් උදව් බලාපොරොත්තු වීම.

මා ඊයේ කියවපු මේ බ්ලොග් පොස්ට් එකේ කියවෙන දේ ලංකාවේ ඉන්න පිරිස් විතරක් නොවේ, අප වැනි සංක්‍රමණිකයනුත් තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. ඔය ෆේස්බුක් එකේ, පොස්ට් ශෙයා කරන අපේ සංක්‍රමණික දේශප්‍රේමියන් එව්වා ගැන සිතනවා කියා මා සිතන්නේ නැහැ. මොකද ඔවුන්ද ඒ කියන දේ කොටස් කාරයන්, දේශපාලනික ව නොවේ, ඇත්තටම පවුල් ජීවිතයේත්.

දේශපාලකයන්ට හා ඔය කියන මධ්‍යම පාන්තියකයන්ට, ඔය තරමට වත් ජෝගි නටන්න අවසරය හැකි වී තියෙන්නේ කවුරුන් නිසාද? එයට වැඩිපුරම දායකත්වය දෙන්නේ, අප කිසිදා එතරම් නොසිතන කාණ්ඩයක්, පෙරත් මේ ගැන මා ලියා ඇති.

හොඳින් බැලුවොත් ලංකාවට අවශ්‍ය විදේශ විනිමය කියා අප හඳුන්වන, ඇත්තම සල්ලි උපයන්නේ කවුරුන්ද? ඔවුන් කණගාටුවට හෝ සන්තෝෂයට, අර ඒ ලෙවෙල් වලට ඉහල සමාර්ථ ලබා, සරසවි වලින් පිටවන එවුන් නම් නොවේ. එයින් පහල සාමාර්ථ ලැබුවත්, කොහොම හරි රජයේ රැකියාවක් ලබන අයත් නොවේ. දේශපාලකයන් හෝ ඔවුන් වැනිම, ලංකාවේ අනාගතය තීරණය කරන, නිලධාරීන්ද නොවේ. අප වැනි ලංකාවෙන් ස්ථිරව අයින් වූ පිරිස් ද නොවේ.

අර පොස්ට් එකේ කියුව, ෆෝරම පුරවාගන්නට හෝ අධ්‍යාපනයක් නැති නමුත් උපයන මුදලින් කොටසක් කඩා වෙන පිරිස් වලට රැකියා සපයන, රටේ විදේශ විනිමයේ ප්‍රධාන කොටස් කරුවන් වන මැද පෙරදිග යන, අසරණ යුවතියන්, ඉතාම අඩු පහසුකම් යටතේ ජිවත් වන, තේ කොළ කඩන කාන්තාවන්, නොයෙක් ලිංගික අඩත්තේට්ටම් වලින් පෙළෙමින් සාපේක්ෂ අඩු වැටුපකට සේවය කරන ඇඟලුම් කම්හල් කාන්තාවන්, අප ඔය කියන සමාජ සුබසාධන වැඩසටහන් වලින් ඵල නොලබනවා විතරක් නොවේ, අඩුම ගානේ දවසේ වැඩ කර ගෙදර ඇවිත්, ගෙදර නිදහසේ ඉන්න හැකි කාණ්ඩයකට අයිතිද?

අර නිලධාරීන් කරන්නා සේම, ගොඩක් වෙලාවට ඔවුන් උපයන මුදල්, ගෙදරත් වියදම් කරන්නේ වෙනත් පිරිස් නේ. ඔවුන් පාසල් වල ආදිශිෂ්‍ය සංගම් වල සාමාජිකයන් නොවේ. ඔවුනට කාර් වලට පර්මිට් තබා, බයිසිකලයකට හෝ බදු සහනයක් ලැබෙනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපට අවශ්‍ය දේ නොදුන්නොත්, වැඩ වර්ජන කරනවා කියා තර්ජන කරන්නට හැකි බලයකුත්ට ඔවුනට නැහැ. බටහිර රටකට එන්නට අවශ්‍ය සහතික පත් ගැන කවර කතාද, ෆෝරමයක් පුරවා ගන්නට තරම් වත්, අකුරු හැකියාවක් නිදහස් අධ්‍යාපනයෙන් නොලැබුණු කොට.

එදාත් සමාජයේ පවතින සුබසාදන වලින් අඩුවෙන්ම පහසුකම් ලැබූ, අදත් කිසිවක් නොලබන ෆෝරමයක් පුරවා ගන්නට හෝ හැකියාවක් නැති මේ පිරිස් ගැන සමාජයක් ලෙස (විශේෂයෙන්ම මධ්‍යම පන්තිය) නොසිතන තාක් කල්, ඒ සමාජයට ගොඩ යාමක් තියනවා කියා මා සිතන්නේ නැහැ,

ඒ වගේම ඔවුනගේ ඉපයීම් වලින් ජිවත් වන, එවැනි පරපුටු නිලධාරීන්ට, අඩුම වශයෙන් තමන්ගේ පඩිය එන්නේ කොතනින්ද, ඔවුන්ගේ සේවා සැපයීම කවුරුන් සඳහාද කියා සිහියට නැගෙන තාක් කල්, ගොඩ ඒමක් නැහැ. ඒ වගේම අපේ ගෙදර දොරේ වැඩිම වැඩකොටසක් කරන්නේ ඔවුන් කියා, සාමාන්‍ය ජනතාව සිතන දිනයක් එන තෙක් සමාජ සංවර්ධනයක් ගැන අපට සිතන්න බැහැ.

නව වසරට මගේ සුබ පැතීමක් නැහැ. හැමදාම අලුත්ව සිතන්න බලමු. මා කියවූ සියලු දෙනාට, නැවත හමුවන තුරු ස්තුතියි. අපේ හමු වීම් හැමදාම ඔබට සතුටක් යයි විස්වාස කිරීම, මටත් සතුටක්!

Advertisements

Comments Off on සැබෑ විරාමයකට පෙර!

Filed under Opinion

Comments are closed.