මා කලින් ලියා ඇති, තවමත් එලෙසම සිතන දෙයක් තමා, සංක්‍රමණික අප ගොඩක් දෙනා, ලංකාවේ ඉන්න විට, රටින් ඉවතට යන්නේ කොහොමද යයි සිතමින් ඉන්න ඇති. එයින් සැලකිය යුතු පිරිසක් ලංකාවෙන් ඉවත් වුණ පසු, හවසට ගෙදර ඇවිත් හෝ විවේකයක් ළද විට හෝ ලංකාව හදන්නේ කොහොමද කියාත් ලත වෙනවා කියා අපට පෙනෙනවා.
මා සිංහලෙන් ලියුවත්, ලංකාවේ ඉන්න පිරිස පමණක් කියවනු ඇතැයි සිතා ලියන්නේ නැහැ. අප ජිවත් වන පරිසරය වෙනස් වුණ ගමන්, සමහරවිට විට මුහුණ දෙන ප්‍රශ්න වල ස්වභාවය එකම වුවත්, ඒවා විසඳා ගන්න තියන හැකියාව වෙනස් වෙනවා. මෙය එකම රටක වුවත් එසේම සිදු වන්න පුළුවන්.
පසුගියදා මා අපූරු “ලියුමක්” කියෙව්වා. එය පටාන් අරන් තිබුණේ, ඔව් සිහින සමහර විට සැබෑ වනවා කියා. හැබැයි ඊළඟට කියා තිබුණේ, එයා කිසිදිනක දශලක්ෂපතියෙකු සේ, කලින් විශ්‍රාම ගන්න සිහිනයක් නම් මැවුවේ නැහැ කියා. එයින් පසු ඔහු විස්තර කර තිබුණේ, ළමා හා තරුණ කාලයේ ඔහු මැවුව, සිහින ගොඩක් සැබෑ වුණේ කොහොමද කියා. ඒවා සියල්ල රැකියාව එනම් වෘර්තිය සමග බැඳී ඇති ඒවා.
ඊළඟට එයා කියන්නේ, අද ගෙදර ඉන්නේ කලින් විශ්‍රාම ගත් දශලක්ෂපතියෙකු සේ කියා. මොකද කියනවා නම්, තමන්ගේ ජීවිත රක්ෂණයේ මුදලත්, අර්ථසාධක අරමුදලත් අතට ලැබිලා නිසා. එයාගේ වයස අවුරුදු පනස් හතරයි.
අවුරුදු පනස් හතරකදී දශලක්ෂපතියෙකු ලෙස බටහිර රටක විශ්‍රාම යන්න හැකි නම්, එයට කැමති විශාල පිරිසක් අප සමාජයේ ඇති. ඇත්තටම එය මගේ සිහින ලෝක ලැයිස්තුවේ නැති වුවත්, මාත් කැමතියි.
මේ කතාවේ තියන සැඟවුණ දේ කුමක්ද කියා ඔබ සිතනවා ඇති. මනුෂ්‍යයෙක් ජීවිත රක්ෂණය කර ඇත්නම්, එයට හිමි රක්ෂණ මුදල ලැබෙන්නේ, හදිසියේ මරණයට පත්වීමෙන් නේ. ඊළඟට අප දන්නා අර්ථසාධක අරමුදල නැත්නම් ඕස්ට්‍රේලියාවේ තියන සුපර්ඇනුඒෂන් කියන, විශ්‍රාමික අරමුදලට බැර කරන කරන මුදල් වලට අත තියන්න (අද තියන තත්ත්ව යටතේ), තමන්ට වයස අවුරුදු 60 ට පිරෙන තෙක් හැකියාවක් නැහැ.
මගේ දැනීමේ හැටියට, අද ඔබ ඕස්ට්‍රේලියාවේ වසන කෙනෙක් නම්, ඔබට ඩොලර් මිලියනක ඉතුරුවක් තියනවා නම්, තව දුරටත් වැඩ නොකර ජීවත්වීමේ හැකියාව උදා කර ගන්න හැකියි. එක එක කෙනාගේ ජිවන විලාසිතා වෙනස් නිසා මෙය යුනිවර්සල් සූත්‍රයක් නොවේ.
අරයගෙ කතාවට ගියොත්, එයාට මිලියනියර් කෙනෙක් වී තියෙන්නේ කොහොමද? අර කියපු රක්ෂණයත්, අර්ථසාධක අරමුදලත් අතට ලැබී තියෙන්නේ, ඔහු මරණීය පිළිකාවකින් පෙළෙමින් ඉන්නා වග වෛද්‍ය පර්යේෂණ වලින් හෙළි වූ නිසා.
මා ඔහු ලියපු ඒ සමුගැනීමේ “ලියමන” කියවූයේ, එය ලියා දින කිහිපයකට පසු, ඔහු මියගිය වග දන්වා එවූ නිල ඊමේලයේ තිබුණු ඇමුනුවෙන්!