ගොඩක් දෙනා ඉතා ගැඹුරු දේවල් ගැනනේ කතා කරන්නේ. ඒ වෙනුවට මෙයත් කලින් සටහනේ දිගුවක්. මා කියුවනේ ව්ලොග් කිහිපයක් මාත් බලනවා කියා. ඒ කියන්නේ දිගටම බලනවා. ඉස්සර හා දැනුත් නිෂ්පාදනය කරන රූපවාහිනී හා අනික් වාර්තා චිත්‍රපට වල දකින්න නොලැබෙන දෙයක් චාරිකා ව්ලොග් වල තියනවා.
කලින් කතා කරගත් පරිදි, තමන්ට ආරක්ෂාකාරී පරිසරයකදී, ඉංගිරිසියෙන් කතා කරන මිනිසුන් කිහිප දෙනෙකු සමග ඉදිරිපත් කරන චාරිකා වැඩසටහන්, එයිටත් පසු තවත් සංස්කරණය කරනවා. ඒ වෙනුවට, සමහර සාමාන්‍ය මිනිසුන් ඉදිපත් කරන, කිසිම සැලසුමක් නැති චාරිකා වල, ඇත්ත තත්වයට වඩාත් සමීපත්වයක් තියනවා.
එතන තියන පුරස්නය නම්, ව්ලොග් කරුවාට, දේශීය භාෂා වල නිපුනත්වයක් නොමැති වීමයි. මගේ කලින් සටහනේ බ්‍රිතාන්‍ය ව්ලොග්කරුවට ටිකක් රුසියානු භාෂාව හැකි නිසා, ඔහුගේ රුසියානු හා බෙලරුසියානු චාරිකා වලට අමුතු ආකර්ශනයක් ලබා දෙනවා (ඔහුට හින්දි වලින් ද යන්තමින් ජාමේ බේරා ගන්න පුළුවන්).
අද ඉතිහාසයේ කවරදාටත් වඩා මිනිසුන් සංචාරයේ යෙදෙනවා. ඔවුන්ගේ අත්දැකීම් ද අන් කවදාටත් වඩා වෙනත් අය සමගත් බෙදා ගන්නවා. මා ඉස්සර කියවන්න කැමති පොත් වර්ගයක් තමා ගවේෂණ සටහන්. ඉස්සර එවැනි අත්දැකීම් බෙදා ගන්න තිබුණ ප්‍රධාන මාර්ගයත්, එවැනි පොතකින් කතාව කීමයි.
එතැනදී වුවත්, ඒ කතා අපට කියවන්න ලැබෙන විට, කතා කරුවා අත්දැකීම් ලබාගෙන, ඒවා තමන්ගේ සිතේ පෙරහන් වලින් හැලී ඇවිත්, ප්‍රකාශකයාගේ සංස්කරණ පෙරහන් තුලින්ද බේරී ඇවිත් කලක් ගත වෙලා.
මේ සටහනේ ඉදිරිපත් කරන්නේ, මේ දිනවල ලංකාවේ ගත කරන නෝර්වේජියානු ජාතික හැරල්ඩ් බෝල්ඩර් ගේ ව්ලොගයයි. මා කලින් කියුවා වගේ ඉංගිරිසි චාරිකා ව්ලොග් ගොඩක් ඒවායේ තියන අඩුපාඩුව, ඉදිරිපත්කරන කෙනාට දේශීය භාෂාව නොහැකි වීමයි. ගොඩක් ව්ලොග් වල දේශීය භාෂාව ව්ලොග් කරුවට නොහැකි වුන විට, පසුබිමින් කෙරුණ කතා සමහරවිට, ඒ භාෂාව දන්නා අය විසින් පරිවර්තනය කර කොමෙන්ට් දමනවා.
හැරල්ඩ් ගේ ලංකා චාරිකා අපට තේරුම් ගන්න වඩාත් පහසු වේවි, පසුබිමින් කෙරෙන කතා තේරුම් ගන්න හැකි නිසා. එතැනදී පරිසරයට ආගන්තුක කෙනෙක් හා එම පරිසරය ටිකක් දන්නා කෙනෙක් යන දෙදෙනාගේම භූමිකාවට අපට අවතීර්ණ වන්න පුළුවන්.
ජිවිතයේ ගොඩක් දේ අහිමි වී, අර කෝල්යා වගේ අනුන්ගෙන් කඩා වඩා නොගෙන ඉන්න හැකිද, ඉඩක් ලද විට කඩා වඩා ගැනීම දුප්පත් කම සමග සහජයෙන් එන දෙයක් ද, මිනිසුන් වීම කොතරම් අමාරුද හා තවත් දේ ගැන පසුව ලියන්න බලමු නේ.