යේස් හා නෝ!


ජීවිතයේ සමහර කාල යක්කු වගේ වැඩ කරනවා. තවත් කාල තියනවා, මෙලෝ දෙයකට සිතක් නැති. නුතන දිවිය ගෙවා දමන්න වෙන්නේ අපට ඕනිම විදිහට නොවන නිසා, ඔය ඕනිම කාලයකදී අපට කරන්න තියන දේවල් අතපසු කරන්න බැහැ. ඒ කියන්නේ රස්සාවට යන එක, එතන වැඩ ටික කරන එක, දරුවන් පාසැලට දමන ඒවා වගේ දේවල්.

අප කුඩා කාලයේ හැම දෙසැම්බර නිවාඩුවකට ම වගේ හපුතලේ ගියා. ඒ ගියේ ගොඩක් විට කෝච්චියෙන්. දෙමාපියනට වසරක් පාසා වොරන්ට් හම්බ වුනු නිසා, ඒවා භාවිතා කරන්නත් මෙය අවස්ථාවක් වූවා.

සමහරවෙලාවට මේ ගමන් හරි කරදරකාරියි. උඩ රට ගන්න බැරි දේවල් අප ගොඩක් වෙලාවට උස්සන් ගියා. එනකොටත් අපට නැති, අලුත් එළවලු හා අලි ගැට පෙර, පෙයාර්ස් වැනි පලතුරු උස්සන් ආව. මේ නිසා ගමනේ විනෝදය සෑහෙන්න අඩු වූවා.

හැබැයි උඩරට කියන්නේ හරිම සනීපදායක පරිසරයක්. අපේ ආතලගේ ගෙදරට යන්න, මහා පාරේ සිට ටික දුරක් පයින් යන්න තිබුණා. ඒ යන අතරතුර තිබුණ පොඩි දිය කඳුරු වලින් සීතල වතුර අප බොනවා. පයිනස් ගස් වැවිල්ල හා තවත් හේතු නිසා එම දිය දහරවල් අද තියනවද කියා මා දන්නේ නැහැ.

අද ලංකාවට ගියත්, එම ගෙවල් වල යන්න අමාරුයි. ආතල ආච්චිලා අද නැහැ. ඔවුනගේ දරුවන් වන අපේ මාමලා, පුංචි අම්මලා හා ඔවුනගේ දරුවන් හා අප අතර ලොකු ඥාති හැඟීමක් කියා දෙයක් තියනවද කියා මා දන්නේ නැහැ. මට තිබුණත්, හමු වූ විට ඔවුන්ට එලෙස හැඟෙනවා කියා මට දැනී නැහැ. එහි අරුමයකුත් මට නැහැ.

මා වැඩිහිටි දිවියේ වැඩි කලක් ලංකාවේ ගත කර නැහැ. කොතරම් සමීප වුවත්, ඥාති සඹදතා පවත්වාගෙන යන්න අවස්ථාවක් මට තිබුනේ නැහැ. ඒ නිසා සමහර විට, මටත් කෘතීම බවක් හැඟෙන සමහර සංවාද කරන්න මට සිතක් දෙන්නේ නැහැ. අනික් අයටත් එහෙමම ඇති. නමුත් මේ වගේ සෙප්පඩ විජ්ජා (සාමාන්‍ය ජිවිතයේ අපට කරන්න වෙන) වලින් මා අද ඇත්තටම අයින් වෙලා ඉන්නේ.

මට ඔය කතා මතක් වුණේ, හැරල්ඩ් ගේ හපුතලේ ගමන නිසා. මා පවා ලංකාවට යන්න කලින්, සිතන් යන බොහෝ ගමන් කරන්න වෙන්නේ නැහැ. එකක් තමා කාලයේ හිඟ කම. අනික වෙනත් ලොජිස්ටික් බාධක. සමහර විට කුඩා දේවල්.

සමහරවිට මට දැනෙන දෙයක් තමා, මේ වගේ ගමන් යන්න මටත් අමාරුයි. පොෂ් කමක් නිසා නොවේ. එදා කාපු තැන් වලින් මට අද කන්න බැහැ. එදා සාමාන්‍ය දෙයක් වුණ බස් ගමන් කරන්න මට සිතක් නැහැ. ඒ වගේ දේවල් කරන්නේ නැතිව, යලි අතීතයට යන්නත් බැහැ.

මා කියන්න හදන්නේ සිතට එකඟව යර්ස් හෝ නෝ කියන එක එතරම් සරල දෙයක් නොවේ.

Advertisements

4 Comments

Filed under Lifestyle

4 responses to “යේස් හා නෝ!

  1. pra jay

    නෑදෑයො හුඟ දෙනෙක් එක්ක කතාකරන එක මහා කම්මැලි දෙයක් තමයි.
    මං කැමති mutual interests තියන හෝ මට කුතුහලයක් තියන දෙයක් හෝ මට නුපුරුදු දෙයක් දන්න අය එක්ක කතාකරන්න.
    හුඟ දේ ගැන මට කුතුහලය තියන නිසා වෙනස් පසුබිමක අය, පිට පලාත්වල, පිට රටවල අය සමග කතාකරන්න ආසයි. ඇත්තෙන්ම කියනවනම් මං පිටරටකට හෝ පිට පලාතකට ගියහම නෑදෑයෝ අසල්වැසියෝ එක්ක කතා කරනවට වඩා හුඟක් කතාකෙරෙනවා.

    පිටරටකට ගියහම කම්මැලි දේ තමයි ලංකාවෙ අය එක්ක ලංකාව ගැන කතා කිරීම. ඒ අය එහෙ ඉන්න නිසා ඒ ගොල්ල කැමතියි මෙහෙ ගැන කතා කරන්න. මං මෙහෙ ඉන්න නිසා මට මෙහෙ දේ ගැන එහෙ ගියාමත් කතාකරන එක මරණවා වගේ කම්මැලි දෙයක් . 😀

  2. එහෙම තමා ප්‍රා. සමහරවිට ලංකාවේ කට්ටියත් පිටරකට ගියහමත්, ඒ රටවල් වල ජීවිතය හෝ රට ගැන කතා කරනවට වඩා, ලංකාවේ ජීවිතය හා ප්‍රශ්න තමා කතා කරන්නේ.

    අර ලාල් කාන්ත දිනක් කියා තිබුණේ කිරිබත් හා ලුණු මිරිස් කනවා කියා. දැන් බලන්න, හැරල්ඩ් වගේ සුද්දන් රට රටවල් වල ඇවිදින විට, ඒ රටේම ඉන්න සමහර මධ්‍යම පාන්තිකයන් නොයන පවා තැන් වලට යනවා, පුළුවන් හැටියට මිනිසුන් එක්ක කතා කරනවා, දේශීය ආහාර කනවා, දේශි දරු වගේ කසියා බොනවා. අපි ගෙදරකට ඇවිත් දෙන දෙයක් කාල, එළියට වත් බහින්නේ නැතිව, ආයිත් තමන්ගේ රටට ගිහින් කන්න දුන්නු දේවල් හොඳ මදි කියනවා.

    අපේ ගෙදර යමෙක් ඇවිත්, මේ රටේ සාමාන්‍ය මිනිහෙකුගේ ජිවන විලාසිතාව හෙව්වොත්, එයා හරි මුලාවක වැටෙන්නේ. සාමාන්‍ය මිනිහෙකු ගේ තියා, සාමාන්‍ය ලාංකික සන්ක්රමනිකයෙකුගේ ජීවිතය වත්, අපේ ගෙදරින් සොයන්න යන එක මුලාවක්.

    ඥාතින් ගත්තොත්, එවැනි අය අප අවට නැතිකම සමහරවිට තනි කමක් ලෙස දැනෙනවා. ඔබල වගේ අය ඥාතින් කියන්නේ කරදර විතරක් කියා කියනවා. අනිකුත් ඥාතීන් ද අප ගැනත් ඔය ලෙසම සිතනවා ඇති. 🙂

  3. indumathie adikari

    සහතික ඇත්ත .ඒත් සමහර දේ අකැමැත්තෙන් කරන්න වෙනවා සමාජයෙන් කොන් වෙන්න බයේ .කොහොම වුණත් ඔබ ඇත්ත කතා කරනවා

  4. ඔව් ඉන්දු, අප අවට සමාජය බලාපොරොත්තු වන දේවල් කරන්නේ නැති වුනහම, ඉබේම සමාජයෙන් කොන් වෙනවා. තමන්ට සමහරවිට අත්පත් කරගන්න නොහැකි දේවල් මවා පෑමත් එහිම කොටසක්නේ. ඒවා කරන්න බැරි නම්, ඉබේම ඒ සමාජයෙන් අයින් වෙන්න වෙනවා. මේ වට්ටෝරුගත ජිවන විලාසිතා බොහොමයක් මා අනුගමනය කරන්නේ නැහැ.