ඔබේ වරය!


සංක්‍රමණික ජීවිතය හා සංක්‍රමණය ගැන මා ගොඩක් සටහන් ලියා ඇති. මිනිසා සංක්‍රමණය කෙරුවේ නොමැති නම්, අපගේ ශිෂ්ටාචාරය මෙයිට වඩා ගොඩක් වෙනස් වනු ඇති. හැබැයි, රාජ්‍යය කියන දේ අද තරම් තදට, නොතිබුණ අතීතයේ, සංක්‍රමණය එක්තරා විදිහකට මෙයිට වඩා ලිහිල් වූවා. හැබැයි එදා එය ලෙහෙසි වූවා යයි කියන්න අපට සාධක නැහැ. මොකද තාක්ෂනය අද තරම් දියුණු වෙලා තිබුනේ නැති නිසා.

අද තාක්ෂණය දියුණු නිසා, සංක්‍රමණය කියන දේ පහසු වුවත්, රාජ්‍යය කියන දේ වඩාත් ස්ථාපිත වෙලා තියන නිසා, රටවල් අතර සංක්‍රමණය එතරම් සරල නැහැ. රටවල් අභ්‍යන්තරයේ සංක්‍රමණයත් එතරම් ලෙහෙසි නැත්තේ, මුල්‍යමය පිරිවැය අධික නිසා. ඉස්සර හේනක් කොටා, එහි පස් නිසරු වෙන විට, තව හේනක් කොටා ගෙන සංක්‍රමණය වූවා සේ ලෙහෙසියෙන්, අද එය කරන්න බැරි වග ඔබත් දන්නවා ඇති නේ.

මිනිසුන් විවිධ හේතු නිසා, උපන් රටින් හෝ නගරයෙන් හෝ ගමින් ඉවතට ගිහින් ජීවත් වෙනවා. ජිවිතය, මරණයෙන් බේරා ගන්නට තමන් ඉපදුන රටින් යන්න වීම හැර, අනික් සියලු හේතු නිසා යන එක මා දකින්නේ තමන්ගේ කැමැත්තෙන් යාමක් ලෙස. මාත් වැටෙන්නේ මේ දෙවැනි කොටසට මිසක්, පළමු ගණයට නොවේ.

අප දන්නා සමාජයේ සංක්‍රමණිකයන් කරන දේවල් අතුරින් මා අප්‍රිය කරන දෙයක් කියන්නද? ඒ තමා විවිධ වෘත්තිකයන්, තමන්ගේ රටින් ඉවත්වී, වෙන රටක සාර්ථක වෘත්තික දිවියකින් පසු, තමන්ගේ දිවියේ වසර පනහ පමණ වනවිටදීත්, උපන් රටේ මුහුණ දුන්න පුරස්න ගැන කන් කෙඳිරි ගෑම හා ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීම. තල්ස්තෑනි මිනිසුන් තරුණ වයසේ සිද්දීන් ගැන කන් කෙඳිරි ගෑමම මහා විකාරයක්.

අනික සමාජය තුල ඉඳන් එය වෙනස් කරනවා වෙනුවට, පෞද්ගලික ජිවිතයේ සාර්ථකත්වය සොයා ගිහින්, ජිවිතයේ විවේකයක් ලද විට මේවා විවේචනය කිරීම හා විසඳුම් ඉදිරිපත් කිරීම හරි පහසු දෙයක් වුවත්, මහා නිරර්ථක ක්‍රියාවක්. ඔවුන් තේරුම් නොගන්නා කරුණ නම්, ඔවුන්ට වඩා ඒ කරුණු තේරුම් අරන්, ඒවා වෙනස් කිරීමට උත්සහ කරපු හා අදත් උත්සහ කරන බොහෝ දෙනෙක් ඒ සමාජයේම ඉන්නවා. ඔවුනගේ වෘත්තීය හා පෞද්ගලික යන දිවි දෙකම එතරම් පහසු නැතිය කියා උපකල්පනය කරන්න පුළුවන්.

මට මේ සටහන ලියන්න හිතුනේ, පසුගියදා වෘත්තීය ක්‍රීඩා දිවියට සමුදුන්, ලාංකිකයෙක්ට, වෙල්කම් ටු ඕස්ට්‍රේලියා කියා මා දන්නා හඳුනන කෙනෙක් දමා තිබුණ , ෆේස් බුක් සටහනක් නිසා.

එවැනි කෙනෙක් පවා රටින් ඉවතට යන එක සම්පුර්ණයෙන්ම පෞද්ගලික කාරණයක්. මට ඒ ගැන සතුටක් හෝ කනගාටුවක් දැනෙන්නේ නැහැ. අප සියලුම දෙනා අපගේ ජිවිතයේ විවිධ අවස්ථා වලදී තීරණ ගන්නේ, ඒ අවස්ථාවේ දී අපට ගන්නට හැකි හොඳම තීරණ හැටියට.

මා කලින් කියුවනේ, සමහරුන් තමන් ඉපදුන රට දාල යන්නේ, තමන්ගේ ජීවිතය මරණයෙන් බේරා ගන්නට පමණක් කියන එකම හේතුව නිසා කියා. සමහරුනට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සමහරුන් මරණය පෙනී පෙනී, සමාජය වෙනස් කරන්නට තියන වුවමනාව, හා ධෛර්ය නිසා එයින් ඉවත් වන්නේ නැහැ.

හැබැයි, තමන්ගේ වෘත්තීය ක්‍රීඩා දිවියේ ඉහලටම නැග, එයින්ම ජීවිතය ගොඩ දා කෙනෙක්, එහි අවසානයේ, තමන්ගේ රටත්, එහි පරිපාලනයත් තමන්ට කෙනෙහිලිකම් කම් කෙරුව නිසා රටින් යනවා කීමම මහා පරස්පරයක්. අප වැනි සාමාන්‍ය ජනයාත්, එවැනි තීරණයකට හුරේ දැමීමත්, ගොන් පාර්ට් එකක් විතරයි.

හරියට සිතනවා නම් රටට වඩාත් විදේශ විනිමය ගෙනෙන කණ්ඩායම වන, මැද පෙරදිගට යන අපගේ සහෝදරියන්ට ලංකා රාජ්‍යයෙන් හා එහි පරිපාලනයෙන් කෙරෙන කෙරෙන කෙනහිකම් කොතරම්ද? ඔවුනට රට දාල යන්නට අවස්ථාවක් තියනවා ද?

Advertisements

4 Comments

Filed under Lifestyle, Migration

4 responses to “ඔබේ වරය!

  1. /මැද පෙරදිගට යන අපගේ සහෝදරියන්ට ලංකා රාජ්‍යයෙන් හා එහි පරිපාලනයෙන් කෙරෙන කෙරෙන කෙනහිකම් කොතරම්ද? ඔවුනට රට දාල යන්නට අවස්ථාවක් තියනවා ද?//

    ඔවුන්ට එහෙම අවස්ථාවක් නැහැ.නමුත් ඔවුන්ටත් ඒ සඳහා හැකියාවක් ඇතිනම් ඔවුන් ඒ අවස්ථාව මග නොහරිනු ඇති.

  2. pra jay

    මට නම් ක්‍රීඩකයින් කියන්නේ එන්ටර්ටේනර්ස්ලා. ඔවුන්ගේ ක්‍රීඩා කිරීම් බැලීමෙන් අපි වින්දනයක් ලබනවා. එනිසා තවත් බලනවා. අපි බලන නිසා ඔවුන් මුදල් උපයනවා. ක්‍රීඩකයින්, ගායකයින්, නලුවන් ඔක්කොම එහෙමයි. එනටර්ටේනර්ස්ලා, ඔවුන්ට වීරත්වයක් ආරෝපණය වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නෙ නෑ.
    මන් ඔය අයට කැමති පුද්ගලයින් ලෙස නෙමෙයි .
    කැමති ඔවුන්කරන දේට පමණයි.
    ඔවුන්ගේ පුද්ගලික ජීවිතය හෝ විශ්‍රාම යාමෙන් පසු (විෂයට අදාල නොවෙන) කරන දේ ගැන මට ඉන්ටරෙස්ට් එකක් නෑ

  3. ඔව් මනෝ, තියනවා නම් මග හරින්න අවශ්‍යතාවයකුත් නැහැ. මා කලිනුත් ලියා ඇති, තියන ක්‍රමයෙන් අඩුම වරප්‍රසාද ලබපු ඔවුන්, රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන කණ්ඩායම වීම සරදමක් ද?

  4. මට නම් ක්‍රීඩකයන් ගැන එන්ටර්ටෙනර්ලා හැටියට ඉන්ටරස්ට් එකක් කොහොමත් නැහැ. ඔවුන් කරන දේ බැලීමෙන් ඔබලා වගේ අය වින්දනයක් ලබනවා වගේම, ක්‍රීඩා කිරීමෙන් (හා එමගින් මුලිකවම මුදල් ඉපැයීමෙන්) ඔවුන්ද වින්දනයක් ලබනවා. ඔව්, සමහරවිට දහස් නැත්නම් ලක්ෂ ගාණක් ක්‍රීඩකයන් අතරේ, ජාතික කණ්ඩායමට හෝ කීර්තිමත් ක්‍රීඩා කණ්ඩායමට තේරෙන්න නම් අනිවා විශේෂ දක්ෂතාවයක් තියෙන්න ඕනිනේ. ඒ ගැන විවාදයක් නැහැ.

    ක්‍රීඩාවෙන් සමුගත්විට තමන්ගේ හා තම පවුලේ සමුර්ධිය වෙනුවෙන් තීරණ ගන්න එක ඔවුන්ටත්, අපට වගේම අදාලයි නේ. එම තීරණ, තමන්ගේ දේශපාලන කණ්ඩායම් හා පටලවා ගත්තු සංක්‍රමණිකයන් ගැනයි මගේ කනස්සල්ල.
    ඒ වගේම සමාජයේ යම් තැනකට ආ පිරිස් කන් කෙඳිරි ගෑම, ලංකාවේ පමණක් තියන පුරස්නයක් නොවේ. 🙂