ආදරෙයි පැලෙන්න,කන්න!


මේ වසරේ වසන්තය ටිකාක් විතර අමුතු එකක්. අමුතු වීම ඇරඹුණේ ටිකෙන් ටික තමා. එය ස්ථිර දෙයක්ද, නැත්නම් තාවකාලික දෙයක් ද කියා දැනගන්නට ඇහැකි වන්නේ තවත් දශක ගණනාවකට පසු.

අර අමුතු කම නම්, දහවල් උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහල නැගීම වෙනුවට කෙලින්ම ඉහල විසි හා තිස් ගණන් වලට යාම. සීත කාලය තුල, වෙනදා හා සසඳන විට වැස්සක් වැටුනෙම නැති තරම්. මේ තත්වය අපටත් වඩා ගස් වැල් වලට බලපාන වග අවටින් පෙනෙනවා.

පෙරේදා දිනයේ සිට අවට වසාගෙන දූවිලි වලාවක් තියනවා. එය හෙට වන විට ඉවත්ව යනු ඇතැයි කියවෙනවා. අවුරු පතාම, පාරවල් අවට වවා ඇති ගස් වලින් එක දෙක ගානේ මැරී යන හැටි පෙනෙනවා.

ඕස්ට්‍රේලියානු ගොවීන් ගෙන් විශාල පිරිසක් අර්බුදයට ගිහින් කියා දිනපතාම අසන්නට ලැබෙන තවත් කරුණක්. රජය ගොවීන්ට වසර දෙකකට පොලි නොමැතිව ණය දෙන්න පසුගියදා තීරණ කෙරුවා.

ගොවීන්ගේ පෙඩරේෂණය කියන්නේ, ගොවිතැනින් ඉවත්ව යන්න ගොවීන්ට සහන පොට්ටිනියක් දෙන්න කියා. ඒ කියන්නේ, ඉඩම් කඩම් විකුණා දමන්න, මහජන මුදලින් කීයක් හෝ වෙන් කරන්න කියා.

චීන රජයට සම්බන්ද, චීනයේ විශාලතම කිරි නිෂ්පාදයින්ගෙන් කෙනෙක් වන, මොන්ග්නිව් සමාගම විසින්, ඕස්ට්‍රේලියාවේ හතරවන විශාල ළදරු කිරි නිෂ්පාදකයා වන බෙලමිස් සමාගම අත්කර ගන්න ඉදිරිපත් කෙරුව ඩොලර් බිලියන 1.5 ලංසුවට, භාණ්ඩාර ඇමති අනුමැතිය දුන්නේ පසුගිය දා.

ඕස්ට්‍රේලියානු ළදරු කිරි පිටි වලට, චීන ජාතිකයන්ගේ ඇති ඉල්ලුම ගැන පුවත් පසුගිය කාලය පුරා සමාජ ජාල හා සම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය අරක් ගත්තා. එසේ වුනේ වෙන කිසිවක් නිසා නොවේ, මෙහෙ තියන ප්‍රධාන සිල්ලර ජාල දෙක වන වුල්වර්ත් හා කෝල්ස් රාක්ක සම්පුර්ණයෙන් සුද්ද කරන චීන ජාතිකයන් නිසා. මෙහෙම කිරි පිටි අරන් ඒවා චීනයට යැවීමෙන් පමණක්, ජීවිකාව ගෙනයන සමහර පිරිස් වල සක්සෙස් කතාත් ඒ අතර වුණා.

මේක ටිකක් අවුල් කතාවක් නේ. දැන් මෙහෙ දේශීය වෙළඳපලින් සිල්ලර මිලට මේවා අරන්, තැපැල් කරන්නටත් වියදම් කර, තවත් ගානක් තියා චීනයේ විකුණන එක, ලාභදායක දෙයක් නම්, ඒවා නිපදවන සමාගමටම, තොග මිලට ඒවා චීනයට විකුණන්න හැකිනේ.

මේ අන්ජබල් කතාන්දරය තේරුම් ගන්න මා චීන ජාතිකයන් දෙතුන් දෙනෙක් සමග කතා කෙරුවා. මා දැන ගත්තු කරුණ මෙයයි. ඔව් ඕස්ට්‍රේලියානු සමාගම් වල නිෂ්පාදන චීනයේ සුපර්මාකට් වල තියනවා. හැබැයි, ලංකාවේ ඇන්කර් වගේ ඒවා තොග වශයෙන් අපනයනය කර, චීනයේ නැවත සිල්ලරට පැකට් කරපුවා.

පාරිභෝගිකයන්ට ප්‍රශ්නය තියෙන්නේ, ඕස්ට්‍රේලියානු නිෂ්පාදන වීම නොවේ, ඒවා චීනයේ පැකට් කරන විට අනාමකලද නැතිද කියා විශ්වාසයක් නොමැතිකම. ඒ නිසා තමන් දන්නා හෝ නොදන්නා කෙනෙකු, කෙනෙක් ඕස්ට්‍රේලියාවේ කඩයක රාක්කයකින් කෙලින්ම අරන් එවන කිරි පැකට් එක ගැන වඩාත් විශ්වාසයි.

මේ වසරේ මා බොන දේවල් වලින් අඩු කෙරුවේ මධ්‍යසාර. හැබැයි කිරි බොන එකත් යම් පමණකට එපා වුවා, වික්ටෝරියානු ගොවිපොලක කෙරෙන වැඩක් ගැන වීඩියෝවක් දැකීමෙන්. එය එළුකිරි නිෂ්පාදනය කරන තැනක්. එය ග්‍රැෆික් නිසා මා විස්තර කරන්නේ නැහැ. එළුකිරි නොවේ, හරක් කිරි නිෂ්පාදනයත් හරි කුරිරු කටයුත්තක්. මේවායේ අතුරුඵල වන “පැටවුන්ට” කරන දේ ගැන සිතීමෙන් ඔබට එය අවබෝධ කර ගන්න හැකි වේවි.

බොන එක අඩු කිරීමට අමතරව, මා සත්ත්ව ප්‍රෝටීන වලින් ද සෑහෙන පමණකින් අයින් වී යනවා. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඊළඟ අවධිය විය යුත්තේ, සත්ත්ව පාලනයෙන් ඈත් වීම කියා මා විශ්වාස කරනවා.

7 Comments

Filed under Agriculture, Food

7 responses to “ආදරෙයි පැලෙන්න,කන්න!

  1. sam

    ඔයා එළු කිරි නිෂ්පාදනය කරන තැනක තියන හිංසාකාරී තත්වය ගැන කියපුවාම මටත් එළු මස් පිළිබඳව බොහොම හිංසාකාරී කතාවක් මතක් උනා. මේක 90 දශකයේ මුල්ම කාලයේ (90-92 අතර වගේ) මගේ ලඟම මිතුරෙකු මුහුණ දුන් අත්දැකීමක්. එකල ඕස්ට්‍රේලියාවේ සුපර් මාකට් වල එළු මස් (බහුලව) තිබුනේ නැහැ. මගේ මිතුරාට ලැබුන ආරංචියකට අනුව මෙල්බර්න් වලට බටහිරින් පිහිටි සන්ෂයින් ප්‍රදේශයේ (එකල වෙස්ටර්න් ෆ්‍රී වේ තිබුනේ නැහැ, වෙස්ටර්න් හයි වේ එකේ සන්ෂයින් කියන්නේ ගොවිපොළවල් තිබුන පිටිසර පලාතක් ) ගොවිපොලක අලුත් එළු මස් විකුණන බව දැනගෙන මස් මිලදීගැනීමට ඔහුගේ බිරිඳත් දරු දෙදෙනාත් සමග ගොස් තිබුනා. සම්පුර්ණ එළුවෙකු ගේ මස් මිලදී ගැනීමට එකඟ වී ගොවිපොළ තුලට රැගෙන ගිය ඔවුන්ට එළු රංචුවක් පෙන්වා, එයින් එකෙක් තෝරා පෙන්වන ලෙස ගොවිපොළ හිමිකරු පවසා තියනවා. සුපර් මාකට් එකෙන් මස් අරං කෑවාට සත්තු මරාගෙන කන්න තරම් දැඩි හිතක් නොතිබුන මගේ මිතුරාටත්, බිරිඳටත් සතෙකු පෙන්වා “මේකා මරා මස් කරලා දෙන්න” කියා සතෙකු පෙන්වීමට නොහැකි නිසා ගොවිපොළ හිමිකරුට කැමති සතෙකු මරා මස් කර ගෙනැවිත් දෙන ලෙස කියා ඔවුන් එතනින් ඉවතට ගොස් තියනවා. ඉන්පසුව ඔවුනට ලබා දුන් මස් පාර්සලය ඔවුන් ඔවුන්ගේ ගෙදර ඇතුලටවත් අරගෙන නැහැ. ඔහු දන්නා අඳුනන මිතුරන්ට (මාත් ඇතුළුව) “මචං අලුත් එළුමස් වගයක් හම්බ උනා, ඇවිත් ටිකක් අරං පලයං කියලා” කිව්වාම මමත් ඇතුළුව මිතුරන් කිහිප දෙනෙක්ම ගිහින් මස් අරගෙන ආවා. එයිනුත් මාසයකට හමාරකට පසුව සෙනසුරාදාවක ඩ්‍රින්ක් එකක් දානකොට තමයි ඇත්ත සිද්ධිය කිව්වේ. ඇත්ත සිද්ධිය කිව්වානම් අපි කවුරුවත් ඒ එළුමස් කන්නේ නැහැ.

  2. ඔබේ මිතුරා මොකෝ සතා මරා ගත්තේ? මස් නොගෙනම එන්න තිබුණනේ සෑම්. එතැන තියෙන්නේ සිතේ ගිල්ටිය නොවේද? අප ගොඩක් දෙනෙකුගේ තත්වය ඔයමයි. දැනටම මරා තියන නිසා නේ කියා කනවා. මිනිසුන් කන නිසා වෙන අය මරනවා.
    මොක වුවත් සත්ත්ව ප්‍රෝටීන වල තියන දිව පිනවීමේ ගතිය වෙන කිසිම දෙයකින් විස්ථාපනය කරන්න බැරිවීම තමා අද තියන ප්‍රශ්නය. ශාක ප්‍රෝටීන, සත්ත්ව ප්‍රෝටීන වගේම රසවත් ලෙස සැකසීමේ පර්යේෂණ ඉතා ඉක්මනින් වර්ධනය වෙමින් තියනවා.

  3. කෞශල්‍ය

    ඔව් මමත් මේ දවස්වල සෑහෙන්න ට්‍රයි එකක් දෙනවා මස් කෑම අඩු කරගන්න. ඔබ කියනව වගේ අපේ පෙරේත කම තමයි ලොකුම ප්‍රශ්නය. අනිත් එක අපේ ලමයි. ඔවුන් විහිලුවට (වගේ) ‘vejiterrible’ කියා කියන එලවලු කෑමට යොමු කිරීම හරිම අමාරු දෙයක්. ශාඛ ප්‍රෝටීන රසවත් ලෙස සකස් කර ගැනීමේ ක්‍රම දිහා උනන්දුවෙන් බලා ඉන්නවා.
    තවත් දෙයක් තමයි අපි දන්න ආකාරයට එලවලු රසවත්ව සකස් කර ගැනීමට සෑහෙන්න කාලයක් සහ වෙනත් අඩුම කුඩුම යොදා ගැනීමට සිදුවීම. මස් වගේ නෙමෙයි එලවලු ව්‍යන්ජනයක් පොඩි mistake එකකට උනත් සමාව දෙනවා බොහොම හොරයි. 😀

  4. දරුවන් ඉන්න විට මස් අතහැරීම හා අඩුකිරීම යන දෙකම ටිකක් සංකීර්ණ දෙයක්. මොකද ඔවුනට අවශ්‍ය පෝෂණ ගුණය දීම අපගේ වගකීමක් නිසා. ඒ නිසා හොඳම ප්‍රවේශය, ඔවුන් කන්න කැමති නම් මස් ආහාර දීම කියා මගේ මතය. හැබැයි කෞශල්‍ය වැඩිහිටියන් විදිහට අපට අප ගැන තීරණ ගන්න හැකියි. අද ට්‍රෙන්ඩ් වෙලා තියන විගනිස්ම් නොවේ මා කියන්නේ. මස් පරිභෝජනය අඩු කිරීම ගැන. මස් හා මාළු වලින් සම්පුර්ණයෙන් ඉවත් වෙන්න මිනිසාට හැකිද කියන එක අනාගතයට අයත් පුරස්නයක්.
    එහෙම වුවත්, ඉදිරි දශකය හෝ දෙක තුල, ශාක මස් හා ෆේක් මස් කියන දෙකම වෙළඳපොලේ සැහෙන කොටසක් අල්ලාවි කියා දැනට වෙමින් පවතින දේවල් වලින් අනුමාන කරන්න හැකියි. සත්ත්ව පාලනය නිසා ඇතිවන පරිසර දුෂණය හා ලෝක උෂ්ණත්ව ඉහල යැවීමට දෙන දායකත්වයට අමතරව, සත්ත්වයන්ගේ වේදනා විඳීම් කියන දේ, බඩ පිරී ඉන්න බටහිර සමාජ වල මිනිසුන් එන්න එන්නම වැඩියෙන් සිතන දෙයක්.
    පුනර්ජනනීය බලශක්තියට, සම්ප්‍රදායික බලශක්ති වෙලදාම් කරුවන් එරෙහි වගේ, ශාක හා රසායනාගාර මස් කියන දෙකටම, සම්ප්‍රදායික සත්ත්ව පාලන කරන ගොවීන්ගේ හා සමාගම් වල විරෝධයත් වැඩි වෙමින් පවතිනවා. එහිත් අවසානය මොනවගේද කියන එක අනාගතයට අයිතියි.
    මෙන්න ඒබීසී කරපු හොඳ වැඩසටහනක්;
    ඒබීසී විදෙස් වාර්තාකරු!

    ලඟදි අහපු රේඩියෝ කතාවක්

    එළවලු ඉවීම ගැන ඔබ කියා ඇති නිසා මෙයත් ලියන්න හිතුණා. එළවලු රසවත් කර ගැනීම ගැන ආසියාවේ මිනිසුන් තමා ඉදිරියෙන්ම ඉන්නේ. විශේෂයෙන් දකුණු ආසියාවේ අප හදන ව්‍යාංජන හා බැදුම්. එකම දේ මේ ආහාර පිළියෙළ කිරීම් වලට ගතවන කාලය. සමකය අවට රටවල එළවලු වර්ග විවිධත්වයට අමතරව, කෘමින් හා අනෙක් පලිභෝධකයන් වැඩි නිසා, ශාකත් විවිධ ආරක්ෂණ උපාය මාර්ග නිපදවා ගෙන තිබීම නිසා, කුළුබඩු වර්ගත් වැඩියි. ස්වභාවධර්මය හැම විටම අනාගතය ගැනත් හිතා තියනවා.

  5. කෞශල්‍ය

    ස්තුතියි රයිගම, මමත් හිතනවා fake meat බොහෝ දුරට අනාගතය වෙයි කියල. ABC වැඩසටහනේ කතා කරපු cattle farmersල වගේ අයගෙ අනාගතය මොකක් වෙයිද? මොනව උනත් සත්ව පාලනය එයට එන්න හැකි (හෝ sustain කරගත හැකි) උපරිම දුර දැන් ඇවිල්ල කියලයි මට හිතෙන්නෙ.
    තවත් දෙයක් තමයි අපි vegetable කෑමක් ගනිද්දී බොහෝ විට සත්ව ප්‍රොටීන නැත්නම් අඩුව පුරවා ගන්න කාබොහයිඩ්‍රේට (බත් ගෙඩියක්/ පාන් රාත්තලක්) වලට යොමු වෙන්න සිදු වීම. fake meat එයටත් හොඳ විසදුමක් වෙයි කියල මට හිතෙනව.

  6. pra jay

    “We can eat meat, it tastes good, but it’s very costly considering the land we have to use to produce the plants needed to feed the animals. And then we have a huge consumption of water for every kilogram of meat (produced), which is around ten times higher than for the plant.”
    ― Sven-Erik Jacobsen

    “Vegan diet is not necessarily healthy, but it does have the moral high ground.”
    ― Abhijit Naskar

  7. Pingback: ආදරෙයි පැලෙන්න,කන්න! – syndi 365