අත හැරීම


වසර 2020 මනුෂ්‍ය වර්ගයා ඉදිරියේදීත් කතා කරන එකක් වේවි. අදත් අප කතා කරන මේ වගේ සුවිශේෂී වසරවල් තියනවනේ. මා නම් හිතන්නේ, එම වසර මිනිසා මෙතෙක් අත්පත් කරගත්තු, තමන්ගේම ජයග්‍රහණ අමතක කිරීම, ගැන නැවත මතක් කර දුන් වසරක්. ඇමෙරිකාවේ අපූර්ව ජනාධිපති කෙනෙක් ද ඔහුගේ සේවා කාලයේ, අවසන් වසර ගත කිරීම මේ වසරේ සිදුවීම අහම්බයක් වුවත්, මා ඉහත කියුව කරුණට එය වැඩි අරුතක් එකතු කෙරුවා.

ලෝකයේ මධ්‍යම පන්තියට, තමන් හුරු පුරුදු ජීවන රටා කරගෙන යන්නට බැරි නිසා, වෙන දේවල් සෙවුවා. දුප්පත්ම පිරිසට කොහොමටත් කරකියා ගන්න දෙයක් නැතුව දිගටම හිටිය විදිහෙනුත්, තවත් පහලට වැටුණා. වසංගත තත්වයෙන් වැඩිපුරම බැට කෑවෙත් ඔවුන්මයි. ඒ අතරේ ගානක් කඩා ගන්න පුළුවන් පිරිස්, විවිධ රටවල විවිධ විදිහට මුදල් හම්බ කෙරුවා.

ප්‍රාන්තයෙන් එපිටට යන්න බැරිවීමට අමතරව, වසංගත තත්ත්වය අපගේ ජීවිතයට කළ බලපෑම අවම එකක් කියා කියන්න පුළුවන්. ආහාර හා ටොයිලට් පේපර් වැනි දේවල් අප එකතු කෙරුවේ නැහැ. කෙටි කාලීනව රැකියාවල තත්වයට බලපෑමක් වුයේ නැහැ. ඇත්තටම වයිරසයට ගොදුරු නොවුණත්, රැකියා අහිමිවීම් හා ආර්ථිකය කඩා වැටීම නිසා ගොඩක් දෙනාගේ ජීවිත වෙනස් වූවා. එවැනි අවස්ථාවල තියන තේරීම් හරිම අඩුයි.

තේරීම් නැති කට්ටිය නොවේ, තේරීම් කරන්න හැකි පිරිස්, කලින් ජීවිතයේ නොකරපු, ගෙවතු වගාව, බල්ලන් පූසන් ඇති දැඩි කිරීම, කොම්පියුටරෙන් හා ෆෝන් එකෙන් අයින් වීම, එළිමහනේ ඇවිදීම, මධ්‍ය පානය වැඩි කිරීම, ආහාර ගැනීම වැඩි කිරීම වැනි දේවල් වලට යොමු වූවා. කරකියා ගන්න දෙයක් නැතිවිට, මෙවැනි දේවල් කිරීම එකක්, හැබැයි, තමන්ගේ සුපුරුදු ජීවන විලාසිතා ලෙස මේවයින් කොපමණ දේවල්, කොච්චර දෙනෙකුට දිගටම පවත්වාගෙන යා හැකි වනු ඇත්දැයි අපට බලාගන්න හැකි වන්නේ ඉදිරියේදී. අමතක කරන්න එපා, ඉහත නම් කරපු නව පුරුදු සේරම සෞඛ්‍යමත් කියන කැටගොරියට වැටෙන්නේ නැහැ.

හැබැයි, නිපදවීම හා පරිභෝජනය ප්‍රවර්ධනය කෙරෙන හා වැඩියෙන් පැටවු ගහන්නය කියා බලකෙරෙන, පෘථිවියට ඔරොත්තු නොදෙන නව ජිවන රටාවට යම්කිසි කෙටිකාලීන තිරිංගයක් ගිය වසරේදී වැටුණා. එය ගොඩක් වෙලාවට තාවකාලික එකක් වනු ඇතැයි මා උපකල්පනය කරනවා. දැනට නිපදවා ඇති එන්නත් වැඩ කෙරුවොත්, ලබන වසර අග වන විට ගොඩක් දෙනා, එයාලගේ සුපුරු ජිවන විලාසිතා වලට යනු ඇතැයි සිතන්නට පුළුවන්. ඒ අතරේම ලෝකයේ ජනගහනයෙන් 1-2% වගේ පිරිසක් වත්, ඉහත නම් කරපු සෞඛ්‍යයට හිතකර පුරුදු දිගටම පවත්වාගෙන ගියොත් හොඳ දෙයක් නේ. ඒ අයට පෞද්ගලිකව පමණක් නොවේ, පෘථිවියටත්.

ඒ අතරේ රටවල් එනම් රාජ්‍යයන් හා ඒ රටවල් වල ආණ්ඩුද තමන්ගේ සංවර්ධන උපායමාර්ග ගැන නැවත සිතන වගත් යන්තමින් පෙනෙනවා. අඩුම ගානේ කෙටි කාලීනව හෝ. හැබැයි මේවා ගොඩක් වෙලාවට පාලනය වන්නේ, අධික කෑදර කමින් යුත්, කෙටි කාලීනව ධනය උත්පාදනය කරන්න උත්සහ කරන බලවේග වලින් නිසා, තිරසාර වෙනසක් වේවි යයි කියා සිතන්න අමාරුයි.

පෘථිවියේ දැනට ඉතිරිවී ඇති ස්වභාවික පරිසරයන්, විශේෂයෙන් ස්වභාවික වනාන්තර හා තණබිම් විල්ලු වැනි දේවල් ඉතිරි කළ යුත්තේ ඇයිද කියා, අපට මතක් කර දෙන්න අදට වඩා හොඳ කාලයක් යළි එනවා නම් ඇත්තේ, ප්‍රමාද වැඩිවුණ පසුවයි. ඕස්ට්‍රේලියාව වැනි රටක පවා, විශාල මහජන මතයක් ඒ වෙනුවෙන් තියනවා යයි පෙනෙන්නට නැහැ. පසුගිය ලැවුගිනි කාලය නිසා, යම්කිසි අවබෝධයක් මේ ගැන මිනිසුනට ලැබුණා. වායු සමීකරණ කාමර තිබුණත්, ගෙදරින් එලියට බැස්සම හුස්ම ගන්නත් බැරි නම්, කොතරම් දිනක් ඉන්න හැකිද? මේවගේ අප ෆෝ ග්රාන්ටඩ් නැත්නම්, වැඩිය ගණන් ගන්නේ නැතිව විඳින දේවල් තියනවනේ.

හැබැයි, මහජන මතය එකක්, අර ඉහත කියුව බලවේග වල අරමුණු හා ක්‍රියාකාරිත්වය තවෙකක්. පෘථිවිය, අනාගත පරපුරු වලට ඉතිරි කරන්න ඕනි කියන මතය, මහජනතාවගෙන් විශාල පිරිසක් අතරට යනකම්, කෙටිකාලින ධනය අසීමිතව සොයන්නට උත්සහ කරන පිරිස් වල බලපෑම වැඩියෙන් පවතීවි. අපගෙන් ගොඩක් දෙනෙකුට පරිසරය කියන දේ තවමත් තමන්ගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉතා පහල දෙයක් නිසා මෙයට තව සංකීර්ණත්වයක් එකතු කරනවා.

ඒ පිරිස අමතක කෙරුවොත්, අපගෙන් කී දෙනෙක්, සමාජ ජාල වල තලුමරන, සරල ජීවිතයකට යන්න කැමතිද? දැනට කරගෙන යන පරිභෝජන රටාවේ, එක පොඩි වෙනසක් කරන්න කැමති කී දෙනෙක් සොයා ගන්න හැකිද? පින් පිණිස, හරකෙක් මිළක් ගෙවා, පාරට දමන්න කැමති කෙනෙක්, ඒ දෙය නොකර, මස් මාංශ ආහාරයට එක කර නොගැනීමෙන් ජිවත් වන්න සිතාවිද? ගෙදර එළවලු සිටුවන්න පටාන් ගත කෙනෙකු, වසංගත යුගයෙන් පසුවත් එය පවත්වාගෙන යාවිද? හැමවිට ඉඩක් ළද විට, වාහනයෙන් ගොස් කොහේ හෝ කරක් ගහන, කිසිවෙක් ජිවත්වන අවට පරිසරයේ පයින් ඇවිදීම දිගටම කරගෙන යාවිද? රට රටවල් වල චාරිකා කරන කී දෙනෙකුගෙන්, තමන්ගේ රටේ චාරිකා කරන එක දිගටම කරගෙන යාවිද?

පොටෝෂොප් කර තියන කටුමැටි ගෙවල් ගෙවල් වල සුන්දරත්වය වැනීම එකක්, ඒවා වල ජිවත් වීම තවෙකක්.

පලි

අයිරිෂ්-ඇමෙරිකන් බිලියනපතියෙකු වූ චක් ෆීනි ඔහුගේ, සියලුම වත්කම් පාහේ බෙදා දී අවසන් වූ වග පසුගිය වසංගත වසරේ වාර්තා වුණු දෙයක්. ඇමෙරිකානු ඩොලර් බිලියන අටක් පමණ බෙදා දී, තමන්ට හා බිරිඳට ජීවත්වන්නට තට්ටු නිවාස කාමරයක් හා ඩොලර් මිලියන දෙකක් විතර චක් ඉතිරිකරගෙන තිබුණ යයි වාර්තා වෙනවා.

මෙවැනි පුවත් නිතරම නොවුණත්, ඉඳහිට හෝ අසන්නට ලැබෙනවා. සිධාර්ථ ගෞතම කියන්නේ අප දන්නා එවන් කෙනෙක් නේ. අර කටුමැටි බිත්ති කතාවේ විලෝමය මෙයයි. එනම් සියලු සම්පත් විඳ ඒවා අත් හැරීම එකක්, සාමාන්‍ය ජිවිතයක් ගත කර, යන්තමින් විඳින දේවල් අත හැරීම තවෙකක්. මා ඉහතින් සඳහන් කරපු ප්‍රශ්නාර්ථ වලින් කියවෙන්නේ අන්න ඒ එදිනෙදා හමුවන සාමාන්‍ය මිනිසුන්ට ඒ දේ කරන්න හැකිද නොහැකිද යන්න.

2 Comments

Filed under Health, Lifestyle, Social

2 responses to “අත හැරීම

  1. කෝවිඩ් එකෙන් තේරුම් ගත්ත එක දෙයක් තමයි මං නම් රිටයර්මන්ට් එක හුඟක් එන්ජෝයි කරයි කියල ( දුප්පත්ම නැතුව සල්ලි ටිකක් තියනව නම් ).

    ඒත් මං දන්න තාමත් වැඩ කරන අවු 75ටත් වැඩි එක්කෙනෙක් රිටයර් වෙන්න තිබුන ප්ලෑන් එක අත හැරියා , ඒ කාලෙ ගෙදර ඉඳල ඇති වුනයි කියල.

    එක එක්කෙනාගෙ ඉන්ටරෙස්ට්ස් අනුව තමයි.

  2. හරියට හරි. එක එක් කෙනාගේ කැමැත්තවල් අනුව තමා. රැකියාවෙන් තොර ජිවිතයක් නොමැති විශාල පිරිසක් ඉන්නවා. මා වැඩ කරන තැන, විශ්‍රාම ගෙන, යලිත් වැඩට එන (ගෞරව) සැලකිය යුතු පිරිසක් ඉන්නවා. සමහර දෙනා සති අන්තයේත් එතැන. ඔවුනට වෙනත් ජීවිතයක් නැතිය කියා පෙනෙනවා. ඒ අතර සමහර පිරිසක්, තරුණ වයසේ මුදල් ටිකක් සොයාගෙන, ආයෝජනය කරලා, සැහැල්ලු/විශ්‍රාමික දිවියක් ගත කරනවා. ඔබ කියන්න වගේ, මුදල් නොමැතිව ජීවිතය ගෙන යාම එන්ජෝයි කරන්න හැකි එකක් වන්නේ නැහැ. ගොඩක් නැති වුවත්, තමන් සතුටු දේවල් කරන්න අවශ්‍ය පමණට, ස්ථිර ආදායමක් නැති නම් වැඩක් වෙන්නේ නැහැ.
    මාත් කැමතියි අදම විශ්‍රාම යන්න, ඔබ කියන පරිදි, අවශ්‍ය මුදල තාම ඉතිරිව නැහැ. දරුවන්ගේ කටයුතු සියල්ල නිම කරපු පසුව, එවැනි මුදලක් ඉතිරිවේදැයි, කියන්නත් බැහැ. 😀