හොඳ හා නරක සිකුරාදවන්!


මා කලින් සටහනේ ලියුවේ මිනිසුන්ගේ කැමැත්තවල් කොතරම් වෙනස්ද කියන එක. අප කැමති දේවල් කරන්න හැකියාවක් තියනවද නැතිද කියන එකත් ඒ සමගම ඇඳී තියන දෙයක්. එය අප ගොඩක් දෙනාට, වෙනදාටත් වඩා පෙන්වා දුන් වසරක් තමා 2020.

මේ කැමති විදිහට ජීවත් වීම කියන එකට, අප ජිවත් වන රට, එනම් අප ජිවත් වන සමාජයත් බලපානවා. අර සිද්ධාර්ථ ගෞතම ඉපදෙන්න කලින්, පස් මහා බැලුම් කියල කාලය, ද්වීපය, දේශය, කුළය හා මව යන දේවල් ගැන සැලකිලිමත් වෙලා තියනවනේ. ඔතැන පියා කියල දෙයක් බලා නැති නිසා ඒ ගැන කතා නොකරන ඉඳිමු.

මිනිසුන් සංක්‍රමණය වීමට ගොඩක් හේතු තියනවනේ. ඒවායින් ටිකක් පෙළ ගැස්සුවොත්, දේශපාලනික, ආර්ථික, සංස්කෘතිමය, ලිංගික , ආහාර, සෞඛ්‍යමය, පරිසර හා තව නොයෙකුත් හේතු තියෙන්නේ හැකියි. ඉහත කියුව හේතු තවත් විස්තීර්ණ කෙරුවොත්, එකිනෙකා මුහුණ දෙන හා මිදෙන්න හදන කරුණු එකිනෙකට තවත් වෙනස් වෙන්න පුළුවන්.

ඔය හේතු වල අගටම ගියොත්, මා කලින් සටහනේ කියුව ආකාරයට, තමන් කැමති ජීවිතයක් සොයා යාම කියන දේ සංක්‍රමණය හා බැඳී තියනවා. එකිනෙකා සොයන තමන් කැමති ජීවිතය මොකක්ද කියන එක නම් වෙනම සිතන්න අවශ්‍ය කාරණයක්.

සෝවියට් සංගමයේ ඉගෙනුම අවසන් කරපු මා නම්, තමන් කැමති ජීවිතය සොයා යන්න ලංකාවෙන් ඉවතට යන්නම ඕනේ යයි සිතුවා. ලංකාවට ආපසු ගියත්, මා කරපු විෂය ධාරාවට එතරම් රැකියා තිබුණා යයි මට පෙනුනේ නැහැ. ඒ අතරම වෙනත් දේවල් කරමින්, වෙනස්ව ඉදිරියට යන්න හැකියාව තිබුණත්, පරිසරයේ ගොඩක් දේවල් වලට මා කැමති වුනේ නැහැ.

මා ඒ අකමැති දේවල් වෙනස් කරන්න හැකි, ඒවා මොකද වෙනස් කරන්න අවශ්‍ය මොකද කියා සිතන මා වැනි පිරිස් වැඩි වැඩියෙන් ඒ සමාජයේම ජිවත් වීමෙන්. එයිට වඩා පහසු දෙයක් තමා, එයින් ඉවත් වී, ඒවා වෙනස් වූ වෙනත් සමාජයකට සංක්‍රමණය වීම. ගමකින් ඉවත් වී, නගරකට ඒමේදී පවා, මා කියන දේ සිදු වෙනවා. හැබැයි අපට මතු පිටින් පෙනෙන්නේ, ආර්ථික, එනම් රැකියාවක් වෙනුවෙන් සංක්‍රමණය වීම.

අප එවැනි පහසු මාර්ගයක් තෝරාගෙන, ඒවා කොහොමද වෙනස් කරන්නේ කියා, ඒ සමාජයේ ඉන්න අයට පොර ටෝක් දීම හරිම නිෂ්ඵල ක්‍රියාවක් වගේම සෘණාත්මක ප්‍රතිඵල ගෙන දෙන්නක්. උඹල ගිය තැනක සතුටින් ඉන්නේ නැතිව, අපව හදන්න පොර ටෝක් දෙන්නේ මොකද කියා අහන්නේ අන්න ඒ නිසා.

ලංකාවේ දේශපාලකයන් වඩාත් හොඳ ප්‍රතිපත්ති දන්නේ හා කියන්නේ බලය නැති විට හා විශ්‍රාම ගිය විට. එය ඔය ගොඩක් ලිබරල් හා නවීන අදහස් තියනවා යයි කියන සියලු දෙනාට අදාලයි. සංක්‍රමණිකයන්ද එසේම පිරිසක් බව යම් කෙනෙකු කියුවොත්, එයත් ඇත්ත. ඔවුන්ද, තමන් ඉවත් වූ සමාජය වෙනස් විය යුත්තේ කියා, පොර ටෝක් දෙන්නේ, එයින් ඉවත් වී “වෙනස්” ජිවිත ගත කරමින්.

මා වෙනස් යන්න උදෘත පාඨ යටතේ යෙදුවේ, වෙනස් වීම කියන්නේ මොනවාද යන්න මට නොහැඟෙන නිසා. දරුවන් උස් මහත් කිරීමේදී ඉඳලා, කන බොන දේවල් හා අනික් ජිවන විලාසිතා සියල්ල පෙර පරිදිම නම්, වෙනසක් ඇති වී තියෙන්නේ, තමන් උපයන ආදායමේ පමණක් වෙන්න හැකියි. ගොඩක් දෙනා බලාපොරොත්තු වන්නේ, එයම පමණයි. ඒ කියන්නේ අනික් සියලු දේවල් පෙර පරිදිමයි. ඒවා සියල්ල පෞද්ගලික තේරීම් නිසා මා විවේචනයකට යන්නේ නැහැ.

සංක්‍රමණය වූ රටක ආහාර කිසිදා නොකන සංක්‍රමණිකයන් ඕනේ තරම් ඉන්නවා. ඕස්ට්‍රේලියාව වගේ රටක, කැෆේ එකක කෝපි කෝප්පයක රස නොබැලුව, ඕනි තරම් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ඇති. මේවා කලින් කියුවා වගේ පෞද්ගලික තේරීම්. අප නම් ලංකාවෙන් පළමු වරට ඉවත් වී, සෝවියට් සංගමයේ, ඉගෙනීම ආරම්භ කරන විට, පළමුවෙන්ම හුරු වුනේ, ඒ හිටපු නගරේ ආවේනික ආහාර වලටයි. අද සංචාරය කරන එක කියන්නේ, මගේ ජිවිතයේ ප්‍රමුඛස්ථානයේ තියන දෙයක් නොවූවත්, මා ඒ නගරයට යලිත් ගිහින් ඒ ආහාර වල නොස්ටල්ජික සුවය විඳින්න කැමතියි.

මා කියන්න හැදුවේ, වෙනස් ජීවිතයක් කියන්නේ හුදෙක් ආර්ථික අතින් ඉහල තත්වයක් ඇති කර ගැනීම විතරක් නම්, එතැන ලොස් ඔෆ් ඔපොචුනිටි කියන දෙය තියනවා. අප නම් දරුවන් කිසිම විෂයකට අමතර පන්ති, නැතිනම් ටියුෂන් වලට යවා නැහැ, ආගම් ඇදහීම කියන්නේ ගොඩ නැගිලි ඉදිකර, ඒවායින් පින් රැස් කිරීම කියන මතවාදයේ අපවත්, දරුවන් වත් හිර කර නැහැ, අප නැතිව, අනික් සමාජයේ සියලු දෙනාම වෙනස් වන්න ඕනිය කියන ජනප්‍රිය කරුණ ජිවිතයේ මුල්ම සටන් පාඨය කරගෙන නැහැ. මේ සියලු දේවල් වලට යොදවන්න තිබුන කාලය, එයිට වඩා ප්‍රයෝජනවත් යයි අප සිතුව වෙනත් දේවල් වලට යොමු කෙරුවා.

සැමන් කියා, ජිවිත කාලයම, සාඩින් මාළු කමින් ජීවත් වීම අපට කරන්න හැකියි. එයද ඔබ බලාපොරොත්තු වන වෙනස ද කියා කල්පනා කරන්න ඔබටම බාර කරන්නම්.

පෙරේදා මා පුතාව එයාට යන්න ඕනිය කියුව තැනට ඇරලලා, ආපසු මා යන්න හිතන් හිටපු තැනට ආවේ, වැඩිය යන මාර්ගයක නොවේ. දෙපසම ගොඩනැගිලි නැති, තවමත් කෘෂිකාර්මික හා වෙනත් සම්ප්‍රදායික දේවල් වලට යොමු වුන ඒ ප්‍රදේශයේ, මාර්ගයේ උපරිම වේග සීමාව වුණේ පැයට කිමී හැත්තෑවක්. පටාන් ගැන්ම හැටක්.

පාරේ ගොඩක් වාහන තිබුණේ නැහැ. මහ සිකුරාදා නිසා නිවාඩු දිනක් නේ. මට කලින් ගියේ ඩබල් කැබ් එකක්. එකවරම පාර හරහා ඉගිලුන ගිරවෙක්, කැබ් එකේ ඉදිරිපස වැදී, පෙරලී පාරේ වැටුණා. වාසනාවට ඉදිරිපස හෝ පසුපස ටයරයන්ට යට වුනේ නැහැ. පසු පසින් පැමිණි මා, පාරේ වැටුණු ගිරවා බේරා, හොඳ තැනකට වෙන්න කාරය පාර අයිනට වෙන්න නතර කෙරුව විට දුටුවේ, මා පසු පසින් පැමිණි කාරය, ගිරවා යන්තමින් යට නොකර ගිය වග. පාරේ වැටී ඉන්න ගිරවෙක්, ධාවනය වන වාහනයක රියදුරෙකුට පෙනෙන්නේ නැහැ. අනික පාරේ, වැටී ඉන්න (මැරී ඉන්න) කුඩා පක්ෂියෙක් ගැන කවුද වද වන්නේ?

මා ගිරවා ලඟට ගොස්, ඌ අතට ගන්න විට, පාරේ අනික් පසින් නතර කෙරුවේ මට කලින් ධාවනය වුණ, ගිරවා වැදුණ කැබ් එකයි.

2 Comments

Filed under Lifestyle, Opinion, Social

2 responses to “හොඳ හා නරක සිකුරාදවන්!

  1. pajayatunga

    You were decisive at the right time. Some of us weren’t.

  2. I don’t know how to reply to your comment. It is really unfortunate that people like you have that kind of feeling. 😦