ලදැලියන්ගේ සිහින අතරේ මැවෙයි ඒ රූපේ


මා කලින් සටහනේ ලියුවේ අපගේ ආහාර තේරීම් ගැන. අප වගේ මිනිසුන් මේවා ලියන විට, අද කන්නේ මොනවාද කියලා ලතැවෙන ගොඩක් දෙනා ලෝකය පුරාම ඉන්න වගත් අප අමතක කරන්න හොඳ නැහැ. කුඩා කාලයේ අප හොඳ ආහාර වේලක් ලැබුවා වුණත්, ඒ ලාංකික ආහාර වේල හරි නම් තවත් වෙනස් වන්න ඕනේ. ආසියාවේ ගොඩක් දෙනා, එයාලගේ ශරීරයේ වැඩෙන්න හැකි පූර්ණත්වයට ලඟා වෙනවා කියා මා හිතන්නේ නැහැ. අප පවා එහෙමයි. එහි එතරම් නරකක් (එනම් සිතීමේ හැකියාව කෙරෙහි) ඇති කරනවා යයි මා විශ්වාස කරන්නේ නැති වුවත්, අපගේ ආහාර වේල මෙයිට වෙනස් වුවොත්, සමහර විට අපේ සමාජේ වුවත් (එනම් මිනිසුන් සිතන විදිහේ), වෙනස් වෙන්න තියන හැකියාව බැහැර කරන්නත් බැහැ.

අද මධ්‍යම පාන්තික සමාජය තමන් කන්නේ මොනවාද කියල “ගොඩක්” හිතනවනේ. මේ හිතන අය අතරේ දුර්මත නම් එයිටත් වඩා ගොඩක් තියනවා. ඒවා ඉස්සර මා ලියා ඇති. සමහරවිට අප උපෙදෙස් ලබා ගන්න කියා යන පිරිස් පවා මේ දුර්මත ප්‍රචලිත කරන්න මහා දායකත්වයක් දෙනවා.

මිනිස් ඉතිහාසයේ, මිනිසා විසින් තමන්ගේ පරිභෝජනය උදෙසා, අද තරම් ආහාර නිෂ්පාදනය කර ගත්ත තවත් කාලයක් මෙලොව තිබී නැහැ. එයට මුල් වී තියෙන්නේ ගස් වැල් වල ක්‍රියාකාරිත්වය ගැන සොයා ගත්ත බටහිර දැනුම නිසා කියා කියන්නත් බය වන්න වුවමනාවක් නැහැ. ගස් වැල් මුල් වලින් උරා ගන්නේ මොනවාද කියන එකත්, ඒ උරා ගන්න දේවල් වල ක්‍රියාකාරිත්වය මොන වගේද කියන එකත්, පත්‍ර මගින් කෙරෙන දෙයත් අපට පිළිගන්න හැකි ආකාරයට විස්තර කරන්නේ බටහිර දැනුමයි.

ඒ වගේම අපගේ ආහාර නිෂ්පාදනය මේ තරමට වැඩිවී තියෙන්නේ, ඒ දැනුම ඇසුරෙන් නිෂ්පාදනය කරපු කෘෂි නිෂ්පාදන නිසා. ඒවා අතර පලිබෝද නාශක, වල් නාශක හා පොහොර වර්ගත් තියනවා. මේවා සියල්ල අත හැරිය විට, අපගේ අතීත කාලයට යන්න පුළුවන්. හැබැයි, ඒ යන්න වෙන්න අද ලෝකයේ ජිවත් බිලියන අටකට කිට්ටු ජනගහණයෙන් ගොඩක් දෙනා මෙලොවින් තුරන් කර. පාරම්පරික කැඳ වලින් යැපෙන්න හදන පිරිස්, ඒ තුරන් වන පිරිස් අතර නැත්තේ ඔවුන් දැනටමත්, වුවමනාවටත් වඩා කන නිසා.

මිනිසුන් හොඳට කාල බඩ පිරිලා ඉන්න වෙලාවට, මොනවාද අප මේ කන්නේ, කොහොමද ඒවා නිෂ්පාදනය කරන්නේ යන දේවල් හිතීම නරක දෙයක් නොවේ. කොහොමත් බඩගින්නේ ඉන්න විට, සිතන්න අමාරුනේ. හැබැයි එහෙම හිතන්න නම්, අප දැන ගන්න ඕනි ඉහත කියුව මූලික කරුණු දැන ගත යුතු වෙනවා.

සංක්‍රමණික ජීවිතයේ මා දකින හොඳ කරුණු අතර වඩාත් සෞඛ්‍යසම්පන්න ජීවිතයකට තියන හැකියාවත් එකත්. මේකෙන් කියන්නේ නැහැ, ලංකාවේ හිටින කෙනෙකුට සෞඛ්‍යසම්පන්න දිවියක් ගත කරන්න බැරිය කියා. හැබැයි එයිට වඩා ශක්‍යතාවයක් සංක්‍රමණික දිවියේ තියනවා. ඒ අතරම කියන්න ඕනේ, සංක්‍රමණික ගොඩක් දෙනා ඒ වග සිතනවා යයි, මා විශ්වාස කරන්නෙත් නැහැ. මා එහෙම කියන්නේ, අපගේ (එනම් මා දකින) ආසියාතික සංක්‍රමණික ශරීර වලින් ගොඩක් වෙලාවට ඒ වගක් නොපෙනෙන නිසා.

දැනට සති කිහිපයකට කලින් මට ආව කෙනෙක් හුවමාරු කරපු වීඩියෝ වැඩසටහනක්. මා හිතන්නේ පාරම්පරික හොඳ ආහාර ගැන කරන විස්තරයක්. ඒ නිෂ්පාදන විස්තර කරන කෙනා සිගරට් එකක් කටේ ගහගන තමා වැඩසටහන පටාන් ගන්නේ. මේවා නරඹන එවුන් පමණක් නොවේ, වැඩසටහන කරන එකාවත්, එහි ඇති නිරර්ථක භාවය ගැන කිසිම හැඟීමක් ඇතිව සිටියා යයි මා හිතන්නේ නැහැ.

මා පෙරත් ලියා ඇති පරිදි බටහිර සමාජයේ තුනෙන් දෙකක් පමණ පමණට වඩා තරබාරුයි. ඒ කියන්නේ තමන්ට ඕනිවට වඩා වැඩිපුර කනවා. මේ වැඩිපුර කනවා කියන එක එක තැනකින් නතර වන එකක් නෙවේ. ඒ කියන්නේ, දිනපතාම, තමන් මෙතෙක් කන ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. අපට මේ පරිසරය, අද තියන විදිහට වත් රැක ගන්න මධ්‍යම පාන්තිකයන්ට දෙන්න පුළුවන් හොඳම දායකත්වය, කන එක සුවල්පයකින් හෝ දිනපතාම අඩුකිරීමයි.

මනුෂ්‍ය ශරීරයත් ටිකක් පුදුම එකක්. මිනිසා කියන්නේ ටිකක් නොවේ හොඳටම කම්මැලි සතෙක්. අනික් සතුන් ද එහෙම ඇති. එයත් අපගේ පරිණාමයට සම්බන්දයි. සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ නම් අපට, අද වගේ කන්න ලැබෙන්නේ නැහැනේ. ඉතින් ශරීරය හැඩගැසී තියෙන්නෙම, කන්න හම්බ වුන විට පසු කාලයට හැකි තරම් තැන්පත් කර ගන්න. අප හරිම ක්‍රියාශීලි කියුවට, හිතල බලන්න, නිකම් පුටුවක පතබෑවිල පොතක් බලන එක, ටීවී බලන එක හෝ නිකම් මොනවා හරි හපන එක තරම්, යම් ව්‍යායාමයක් කරන්න හිත දෙනවද?

තවත් එකක් තමා අපේ ශරීරය කම්මැලි වගේම නම්යශිලියි. කන්න තියනවා නම්, බඩ පැලෙන්න කන්න හැකි වගේම, කන්න නැති වුවත්, ජීවිතය පවත්වා ගෙන යන්න අවශ්‍ය නම් ඒ සඳහා “ක්‍රියාශීලි” වෙනවා. ඔය කොම්පියුටර ඉස්සරහා ඉඳන්, සමහර පුතුන් ලියනවනේ, මගේ තාත්තා මට උගැන්වූයේ, කහට බොමින් බඩ ගින්නේ කුඹුරු කොටා හෝ හේන් කොටා කියා. මේ කතාවට අදාළ, තාත්තා හෝ පුතාට දැනුණ/දැනෙන බඩ ගින්න එකක්ම නොවේ. එයට හේතුව ලෙස මා කියන්නේ, අපගේ ශරීරයේ අර කියුව නම්යශිලිත්වය. නුතන දිවියේ මිනිසුන් පෙලෙන ස්ථුලත්වයට මෙයද හේතුවක්.

අනික විවිධ කෘතීම එතනෝල් වර්ග කලවම් කරපු අරක්කු, විස්කි වැනි දේවල් බොමින්, ගංජා හෝ දුම්කොළ සිගරට් බොමින්, වෙනත් මත්ද්‍රව්‍ය ගනිමින්, පිරිසුදු ආහාර ගැන කතා කිරීමත් තේරුමක් නැහැ. ගෙදර ගුටි කෙල ගනිමින් සෞඛ්‍යසම්පන්න දිවියක් ගැන කතා කරන එකත් තේරුමක් නැහැ. මහා බඩක් ඇතිව, කන තෙල් වල පිරිසුදු බව කතා කිරීමත් තේරුමක් නැහැ. හොරකම දූෂණය, මිනීමැරුම් වගේ දේවල් ප්‍රවර්ධනය කරන අතරේ කන්නේ මොනවාද කියල වොරි වන එකත් තේරුමක් නැහැ. සෞඛ්‍යසම්පන්න දිවියක් කියන්නේ කන බොන එක පමණක් නොවේ. අප එදිනෙදා කරන දේවල් සියල්ල.

2 Comments

Filed under Food, Health, Migration, Opinion, Social

2 responses to “ලදැලියන්ගේ සිහින අතරේ මැවෙයි ඒ රූපේ

  1. pajayatunga

    What do u think about the debate between veg and non-veg people : is the human digestive system designed for herbivores or to be omnivorous ?

  2. Sorry Pra. It took a while to reply for your comment. I must admit that I am not a suitably qualified person to give an answer to this wide ranging question. The debate between veg and non-vegs is one of ugliest debates at the moment because it is not based on the facts at times. I believe that anyone (any human) can live a healthy life without consuming animal flesh. We have come a long way since we started cooking foods. I may write a complementary blog post on this matter.