බිරියෝසා ගස්!


ලියමින් හිටිය දෙයින් මිදෙන්නම නොවේ, මනුරත්න නැගිට්ටේ. දැන් ඉස්සර වගේ නොවේ, කිසිම දෙයක් එක දිගට ගොඩක් වෙලා කරන්න හරිම අපහසුයි. දේවල් කරනවා කියන්නේ, කිසි දෙයක් නොකර එක ඉරියව්වකින් ටිකක් වෙලා ඉන්න එකත් අයිතියි. රැට එක දිගට නිදා ගන්න එක පවා අද අරගලයක්.

ලියන්න ලඟට නාභිගත කළ ඇස් වලට විරාමයක් දෙන්න, මනුරත්න ජනේලයෙන් එපිටට දෑස් යොමු කෙරුවා. ජනේලයෙන් පෙනෙන බර්ච් ගසේ කඳ දිහා බලා ඉන්න මනුරත්න ආසයි. මේ හේමන්තයේ අග නිසා ගසේ කොළ කිසිවක් තිබුණේ නැහැ. අවුව වැටී ගසේ කඳ දිලිසෙමින් තිබුණා.

ගොඩනැගිල්ල ඉදිකර තිබුණු අමුතු කෝණය නිසා මනුරත්නට ජනේලයෙන් පෙනුණේ එක බර්ච් ගසක් වුවත්, එය එම නිවාස සංකීර්ණයට අයත් වත්තේ සිටුවා තිබෙන එම වර්ගයේ ගස් පේළියෙන් එකක් විතරක් කියා, මනුරත්න දන්නේ, ඉඳහිට එළියේ ඇවිදින්නට යන නිසා. ගස් පේළියේ මැරුණු හෝ ඇදවැටුණු ගස් වලට හිලව්වට සිටුවා තිබුණු පැල නිසා ගස් පේළියේ අලංකාරය ටිකක් අඩු වුවා.

ලියමින් හිටියේ ජීවිත කතාව. එය ලියන්න මනුරත්නට සිතුණේ දුවගේ පෙරැත්තය නිසාත්. දැන් මෙවැනි දේවල් වලට සිත යොමන්න හරිම අමාරුයි කියා තේරුණේ, එය ලියන්න ආරම්භ කෙරුවට පසුව. ජීවිතයේ විවිධ අවස්ථා සමහර වෙලාවට හොඳටම මතක් වුවත්, ඒ වෙලාවල් වලට ලියන්න කැමැත්තක් එන්නේ නැහැ. ලියන්න ඉඳගන්න වෙලාවට, එහෙම එක පෙලට මතකය ගොනු කර ගන්න අමාරුයි.

තරුණ කාලයේ හෝ කිසිම කාලයක මනුරත්න මව් බිමෙන් පිට දේශයක අවසන් කාලය ගත කරන්න වේවි යයි මොහොතකට සිතුවේ නැහැ. ඒත් ජීවිතය කියන්නේ, එහෙම සිතන දේවල් ඒ විදිහටම ඉටුවන එකක් නොවේනේ. මනුරත්නගේ අදහස වුණේ, රැකියාවෙන් විශ්‍රාම ගත්තු දිනෙක, ගමේ ගොස් අවසාන කාලය නිස්කලන්කයේ ගත කරන්න.

මනුරත්නලගේ දරුවන් දෙන්නම ලොකු වුනහහම බිරිඳත් ඔහුත් මුහුණ දුන්න උභතෝටිකය ඔහුට අදත් මතකයි. ඔවුන් දෙන්නට ම ඕනේ වුණේ ළමයි දෙන්නව විදේශ රටකට යවා උගන්වන්න. හැබැයි දුව, වෛද්‍ය විද්‍යාලයට තේරුනහම, එය කරන්න දෙන්න ඔවුන කැමති වූවා. පුතා නම් ලංකාවේ සරසවියකට තේරෙන කම් බලා නොසිට, කෙලින්ම එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකට යන එකට ඔහුත් බිරිඳත් දෙන්නම සතුටු වුනා. පුතා ගේ අධ්‍යාපනය වියදම් කිරීම ටිකක් අමාරු වුවත්, මනුරත්නලාට විශාල ජීවන පුරස්න තිබුනේ නැහැ.

අධ්‍යාපනය නිම කෙරුව, පුතා ආපසු ආවේ නැහැ. විශ්ව විද්‍යාලයේදීම ඇතිකරගත් ගත් ප්‍රේම සම්බන්දයකින් විවාහ වූ දුවත් වැඩිකලක් ලංකාවේ රැකියාව කෙරුවේ නැහැ. වෛද්‍යවරුන් වූ ඒ දෙන්නම ඕස්ට්‍රේලියාවට පදිංචියට ගියා.

පරිපාලන සේවයේ ඉහලටම ගිය මනුරත්න විශ්‍රාම යන්න වසර දෙකකට කලින් බිරිඳ හදිසියේ මිය ගියේ, ඔවුන් දෙදෙනාම සැළසුම් කෙරුව නිස්කලංක විශ්‍රාම දිවිය වකුර් කරමින්. බිරිඳගේ වියෝව මනුරත්නට දැනුණ අන්දම ඔහු වෙනදා පත්තර වලට ලියූ දේවල් වගේ කිසිදා වචන වලින් විස්තර කරන්න පුළුවන් දෙයක් නොවේ.

තරුණ වයසේ මනුරත්නට විදේශ රැකියාවලට ඇරයුම් ලැබුණේ, ඒවා ඔහු පතපු නිසා නොවේ. කවදත් වැඩට දක්ෂයෙක් වුණ, ඔහුගේ ඒ නිසඟ හැකියාව වසන් කරන්න, කෙනෙකුට ඕනේ වුවත් එය කරන්න හැකිව තිබුණ දෙයක් නොවේ. තමන්ගේ උපන් රටට සේවය කිරීමත්, තමන්ගේ සේවයේ ප්‍රතිඵල දැකීමත්, ඔහුට ගෙන දුන්නේ පුදුම තෘප්තියක්.

ඒත් ජීවිතය කියන්නේ කිසිදා සැලසුම් කළ හැකි දෙයක් නොවේනේ. විශ්‍රාම යන්නට කිට්ටු වන විට රැකියාවේ තත්වය වෙනස් වූවා. කලින් ලැබුන තෘප්තිය වෙනුවට, වඩාත් කල කිරීම් ඇතිවන පරිසරයක් ඇතිවූයේ, තමන්ගේත් දායකත්වය නිසා බව මනුරත්න සිතන්න ගත්තේ, දුවගේ කීමට ජීවිත කතාව ලියන්න ගත්තට පස්සේ.

විශ්‍රාම ගත්තට පස්සෙත් පොඩි පොඩි අසයින්මන්ට් කෙරුව. ටිකක් කල් යද්දී ඒවත් අතහැරලා දැමුවා. ඉන්පසු ගෙදරට වෙලා ඔය පත්තර වලට පොඩි ලිපි ලියමින් තවත් කාලයක් ගත කෙරුවා. ඔහොම කාලය සමග තවත් වයසට යත්දී, ගෙදර තනිවම ඉන්නවට දුව කැමති වුණේ නැහැ. ඔවුන් මනුරත්නව ඕස්ට්‍රේලියාවට ගෙන්න ගත්තේ එයාලට බලා ගන්න පහසු වෙන්න. දරුවන් දෙදෙනාම ලංකාවේ නැති වීමත්, තනිවම ජීවත් වීමත් නිසා විසා ලබා ගන්න අපහසු වුනේ නැහැ.

ඕස්ට්‍රේලියාවට ආපු මුල් කාලය නම් හොඳින් ගත වූවා. හැබැයි මෙහෙ ඇවිත් අවුරුදු දෙක තුනකින් ජීවිතය වෙනස් වුනේ නොසිතූ විදිහට. හැමදාම හොඳ සෞඛ්‍යමත් ජිවිතයක් තිබුණ, මනුරත්නගේ ජීවිතය සීග්‍රව වෙනස් වුණා.

දුවත්, ඇයගේ සැමියත් වැඩට ගිය පසු ගෙදර ඉතුරු වුණේ මනුරත්න පමණයි. ගමේ නම් අඩුගානේ අල්ලපු ගෙදරට හෝ යන්න තිබුණා. මේ හුදකලාව නිසාම, මනුරත්නගේ චරණයත් සීමා වූවා. ශරීරයට ව්‍යායාම් කිසිවක් නැති නිසාම, අවයව වල ක්‍රියාකාරිත්වය සමගාමීම අඩුවුණා කියා මනුරත්නට සිතුණේ, මේ නිවස සංකීර්ණයේ පදිංචියට ඇවිත්, කාමරේ ඉඳන් කල්පනා කරන විට.

කොහොමහරි දවසක් කවුරුත් නැති විටකදී මනුරත්න, දුවගේ ගෙදර කුස්සියේ පය ලිස්සල වැටුණා. අතපය නොකැඩි බේරුණත්, ඔහුට නැගිට ගන්න හැකි වුණේ විනාඩි තිහ හතළිහකට පමණ පසුව. මේ සිද්දියෙන් පසුව මනුරත්නව ගෙදර තනියෙන් තියා යන්න දුව කැමති වුනේ නැහැ. විශ්‍රාමික මිනිසුන්ගේ නිවාස සංකීර්ණයට එන්න මනුරත්නත් කැමති වුණේ, වෙන විකල්පයක් යෝජනා කරන්න ඔහුටත් නොහැකි නිසා.

ජීවිත කතාව ලියන්න ගත්තට පසුව, අතීතයේ සිද්දි මතකයට නංවා ගන්න වෙහෙසෙන්න ඕනේ වුණහම, ඉස්සර තිබුන කල්පනා ශක්තිය හීනිව ගිහිං කියා තේරුණත්, කාමරයේ තනිව ගෙවෙන ජීවිතයට එය යම් අරුතක් එකතු කෙරුවා.

හොඳ දවසක් මැණුරට්න කියාගෙන, උදේ ආහාර බඳුන් ටික එකතු කරන්න කාමරයට අපු සේවකයා දෙස බලා මනුරත්න ලෙන්ගතු සිනාවක් පෑව!

Leave a comment

Filed under Short story

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.