ඔබ දැක ගැනීමේ


ඉස්සර වගේ මා ලියන්නේ නැත්තේ, මෙහි ලිවීමෙන් මා ලබපු සතුට ඉස්සරට වඩා අඩුව තිබෙන නිසා. නිතිපතා කියවන කිහිප දෙනෙක් මෙහි ප්‍රසිද්දීයෙත්, මට පෞද්ගලිකවත් දිගටම ලියනවා නම් සතුටුයි කියා දැනුම් දීම්, මා සලකන්නේ ආදර බර ගෞරවයකින්.

ඇත්තටම මා අද වැඩියෙන් කියවන්නේ, මා වගේ සාමාන්‍ය මිනිසුන් ලියන එව්වා මිසක් සමාජයේ යම් කීර්තියක් හෝ තැනක් අත්කර ගත්තු මිනිසුන්ගේ ලිවීම් නොවේ. අර දෙවනියට කියුව ගොඩක් දෙනා, එයාලගේ ප්‍රසිද්ද ජීවිතය, එනම්, අපට ගත කරන්න කියා දුන් ජීවිතය හා එයාල ගත කරපු හෝ ගත කරන ජීවිතය දෙකක් කියා, මා හඳුනා ගත්ත අවස්ථා වැඩියි.

ආහාර ගැන මා කලින් ලියපු සටහනට සරදමක් ලෙස ලංකාවේ ජනාධිපති වරයා, “ජරා රසායනික” පොහොර හා වෙනත් කෘෂි රසායන වර්ග ළඟදීම තහනම් කරනවා කියා මා එක්තරා වීඩියෝවක දුටුවා. මෙයට අපූරු දිගුවක් නැත්නම් පැහැදිලි කිරීමක් අජිත් පැරකුම් විසින් ලියා තිබුණු වගත් මා දුටුවේ, මගේ මිත්‍රයෙකු හුවමාරු කර ගත් සටහනක් නිසා.

ලංකාවේ කෙරෙන දේවල් ඕනි ..කක් කියා මා සාමාන්යෙන් නිහඬව ඉන්න කැමති, එව්වට තියා මෙහි ඕස්ට්‍රේලියාවේ කෙරෙන දේවල් වලට කරන්න හැකි බලපෑම සීමා සහිත නැත්නම් බින්දුවට සමාන නිසා.

හැබැයි එකක් තියනවා. අප හැමෝම සිතන හා පතන හැටි මගින් අපේ සමාජය තීරණය වෙනවා. එය තරමක් සංකීර්ණ දෙයක්. හරියට කිකිළිය හා බිත්තරය වගේ.

ලංකාවේ ජනාධිපතිවරයා කියුව පරිදි, එයා රසායනික පොහොර (හැම පොහොරක්ම රසායනික තමා, කාබනික පොහොර කියන්නේ, රසායන පෝෂ්‍ය පදාර්ථ වලට වඩා කාබන් වැඩියෙන් තියන එකක්) ලංකාවට ගෙන ඒම තහනම් කෙරුවොත්, එය හොඳ දෙයක් කියා මා හිතනවා. එයා කිසි දෙයක් මෙතෙක් සෘජුව කරපු හෝ තීරණ ගත්තු කෙනෙක් නිසා මෙයත් කියන පරිදි නොවන්න තියන බැහැර කරන්න බැහැ.

හැබැයි ජනාධිපතිවරයා කියුව පරිදි, කන්න තුනයි ඉවසන්න ඕනි, ඉන් පසු සියල්ල යහපත් වනවා යයි බලාපොරොත්තු වන දේ ඇත්තද කියා බලන්න අපේ සහෝදර ලාංකික ජනතාවට පමණක් නොවේ, ලෝකයේ අනික් රටවල ජනයාටත් වැදගත් ආදර්ශයක් දෙනු ඇති.

මෙවැනි ආපස්සට යාම් අද අවශ්‍යව තියන දෙයක් කියා මා හිතන්නේ. බටහිර පැතිරෙන ප්‍රතිශක්තිකරණය අනවශ්‍යය කියන මතවාදයත්, සමාජයට කිසිම වාරණයක් ඕනි නැතිය කියන දෙයත්, නිදහස් වෙළඳපොල කියන කියන්නේ සැමට එකම අවස්ථා තියනවා යයි කියන මිත්‍යා වත්, මේ වාගේම අත්හදා බලන්න ඕනි දේවල් කියා, මා හිතන්නේ, ඒවා මගේ පෞද්ගලික අභිමතාර්ථ නිසා නොවේ, ඒ දේවල් එදිනෙදා අප හමුවේ දිග හැරෙන නිසා.

ලංකාවේ ජනාධිපති වරයා, මෙතෙක් ගත්තු අර පතෝල තීරණ වෙනුවට, සියලු සාන්ද්‍රගත පොහොරත්, අනික් කෘෂිරසායනත් තහනම් කරන තීරණය එන තෙක් මා බලා සිටිනවා. වැඩියෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි, කෘෂිකර්මාන්තයේ හිනිපෙත්තේ ඉන්න රටක පුර වැසියෙක්ව ජිවිතයේ සැලකිය කලක් ගත කෙරුව කෙනෙක් එහෙම දෙයක් කෙරුවොත්, එය අපගේ ජීවිත කාලය තුල සිදුවිය හැකි දුර්ලභ අවස්ථාවක්. ලංකාවට පමණක් නොවේ මානව සංහතියටත්.

පසු වදන ලෙස මගේ මේ සටහනත් කියවන්න!

10 Comments

Filed under Agriculture

10 responses to “ඔබ දැක ගැනීමේ

  1. pajayatunga

    ලංකාවෙ නියමිත ප්‍රමාණයට , මාත්‍රාවට හා වාර ගණනට වඩා කෘමි හා වල් නාශක යොදනවා. සමහර අය අස්වැන්න නෙලාගැනීමට පසුවත් දානවා . මං හිතන්නෙ සම්පූර්ණ කාබනික වීම යන අයිඩියල් දේට කලින් කරන්න ඕනෙ හරි විදිහට රසායන ද්‍රව්‍ය භාවිතා කිරීමයි.
    ලංකාවෙ ඕක රෙගියුලේට් කරන්න අමාරුයි අනිත් හැම දේම වගේ. ඉතින් තහනම් කිරීම විතරයි කරන්න පුලුවන් .ඒත් ඒක ආර්ථිකය දුර්වල රටක ගොවිතැනට ප්‍රායෝගිකද මං දන්නෙනෑ. වෙන රටවල රෙගියුලේට් වෙන්නෙ කොහොමද? ගිහිල්ලා බලනවද, අස්වැන්න සාම්පල් ටෙස්ට් කරනවද?

  2. හැම අස්වැන්නකම සාම්පල් ටෙස්ට් වන්නේ නැහැ. නැතුවත් නැහැ. තියෙන්න ඕනි දේවල් අනුව තමා මිල නියම වන්නේ. තිරිඟු හා ප්‍රධාන කෘෂි නිෂ්පාදන වල මෙය කෙරෙනවා. හැබැයි රටක නිෂ්පාදනය කෙරෙන සියලු ආහාර හෝ රටකට ආනයනය කෙරෙන ආහාර සේරම දේවල් වල, මෙහෙම හැම දෙයක්ම පරික්ෂා කෙරෙනවා කියා මා සිතන්නේ නැහැ. යම් ප්‍රශ්නයක් ආවොත් බලනවා.

    ලංකාවේ වගේ රටවල කෙරෙන දේවල් අප මෙතැනදී කතා කරන්නවත් අවශ්‍ය නැහැ. එක විටකදී, කප්පම් සඳහා ළමයින් පැහැර ගත්තයි මහාධිකරණයකදී වැරදි කරුවන් වූ අයව, නිදහස් කරන්න ඕනි යයි කියන පරිසරයකදී, ආහාර වල තියෙන්න ඕනි ප්‍රමිතිය ආරක්ෂා කර දේවි කියන සුන්දර සිහිනය, කොතරම් සුන්දර එකක්ද? ආහාර කියන්නේ අනික් හැම දෙයින්ම වියුක්ත වූ දෙයක් නොවේ ප්‍රා. සමාජයක තියන යහපාලනය කියන දේ තමා ආහාර වලිනුත් පෙන්නුම් කෙරෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේදී ලංකාවේ ජනයා, යම්කිසි යහපාලනයකට ඇති කැමැත්ත සම්පුර්ණයෙන් නොලකා හැරියා කියා මා විශ්වාස කරනවා. ඒ නිසා ආහාර ගැන කතා කිරීමත් එවැනි පරිසරයක නිෂ්පල ක්‍රියාවක්.

    අනික සම්පුර්ණයෙන් කාබනික වීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? මගේ පරණ සටහන් කියවන්න. එහෙම දෙයකට අද ලඟා වන්න බැහැ. ගොවිබිමෙන් ඉවත් කෙරෙන සියලු පෝෂක යලිත්, කාබනික පොහොර ලෙස එකතු කිරීමේ හැකියාවක් නැහැ. ගොවි මෙන් ඉවත් කෙරෙන බොහෝ පෝෂක අප ගේ මල සිරුරු ලෙසත්, අපගේ මලපහ හා චූ ලෙසත් ඒවායින් ඉවත් වෙනවා. මේවා අප යලිත් ගොවි බිමට එකතු කරන්නේ කොහොමද? දැන් අප වෙනස් කර තියන පරිසරය තුල, ඒ ප්‍රතිචක්‍රී ක්‍රියාවලියට අවුරුදු දහස් නැත්නම් ලක්ෂ ගානක් යාවි.

    ලංකාවේ ජනාධිපති කියන පරිදි, ජරාව නොවන කාබනික පොහොර මගින් යැපෙන කෘෂිකර්මාන්තයක් ඇති එක රටක් නම් කරන්න බලන්න. ඇමෙරිකාවේ ජීවත් වෙලා ඇවිත් මේ කියන ගොන් කතා මොනවාද? මෙහෙම රටවල් දියුණු කරන්න හැකිද? අප බලා ඉමු!

  3. pajayatunga

    සම්පූර්ණයෙන් කාබනික කියලා ඔතන අදහස් කලේ සෙකන්ඩ් , තිර්ඩ් හෑන්ඩ් විදිහට රසායනික යෙදීම වැලකීම නෙමෙයි. කෙලින්ම රසායනික ද්‍රව්‍යයක් වශයෙන් නොයෙදීම පමණයි.
    ලංකාවේ කෙලින්ම විශ කියලා ගහලා තියන බෝතලෙන් එන ඒවාත් ප්‍රමාණයක් හෝ කාලයක් නොතකා යෙදීම තිබෙන නිසා.

    ලංකාවේ කරනවයි හා කරන්න යනවයි කියන දේවල් කවුරුවත් සීරියස් ගන්නෙනෑ. ඇත්තටම ලංකාවම සීරියස් රටක් නෙමෙයි. කතා කිරීමත් නිශ්ඵලයි.
    මට දැනගන්න ඕනෙ වුනේ සාමාන්‍ය ගාණට නෝමල් රටවල් කෘමි වල් නාශක භාවිතය රෙගියුලේට් කරන හැටි

  4. හරි ප්‍රා දැන් තේරුණා. මා කලින් සටහනක ලියුවා, ලංකාවේ “තෙල්” ගහන කෙනෙක් එක්ක කරපු කතාවක්. වැඩියෙන් ගැහීම වැඩි ආනිශංශ දෙන බව විස්වාස කරනවා වගේම, කරන්නේ වරදක් කියා දැනගෙන වැඩියෙන් වාසි ගැනීමේ උත්සාහයන්ද තියනවා. ඔබ ක්ෂේත්‍රයේ වෙන වැඩ හොඳටම දන්නවනේ.

    කෘමි හා වල් නාශක නියාමන ආයතන වලින් ඒවා නියාමනය කිරීම නොවේනේ ඔබ ඔය අහන්නේ. ප්‍රයෝගික තලයේ කොහොමද ඒවා ක්‍රියාත්මක වන්නේ කියලනේ. ඔව් එතැන ප්‍රශ්න තියනවා. හැම ගොවිපොලකටම ගිහින් බලන්න බැහැනේ. එතැනදී එකා දෙන්න වැරදි වැඩ කෙරුවට, සමස්තයක් වශයෙන් අර කියල තියන උපදෙස් පිළිපදිනවා. බෝතලේ තියන ප්‍රමාණයට වඩා වැඩියෙන් ගහන්න ඕනි කියන දේ ඔළුවට එන්නේ නැහැ. එය ආයාසයෙන් කරන දෙයක් නොවේ. හරියට දොස්තර අපට බේත් නියම නියම කෙරුවහම, ඉක්මනට සනීප වෙන්න වැඩියෙන් පෙති බොන්න ඕනි කියල සිතන්නේ නැතුව වගේම තමා.

    මට මතක් වෙනවා, ලංකාවෙන් යුරෝපීය රටක පුහුණුවකට හෝ වැඩමුළුවකට ගිය කෙනෙක් කියුව කතාවක්. ඒ රටේ නයිට්‍රජන් පොහොර යෙදීම නියාමනයට යටත් කර තියෙන්නේ. මොකද කාලයක් වැඩියෙන් පොහොර ගැහීම නිසා ඇතිවූ පාරිසරික ප්‍රශ්න සමනය කරන්න. ලංකාවෙන් ගිය කෙනා අහනවා කවුරුත් ඇවිත් බලන්නේ නැත්නම්, ඔබට ඕනි තරම් පොහොර ගහන්න පුළුවන්නේ කියා. එතකොට ගොවියා කියා තියෙන්නේ, එහෙම කරලා කොහොමද, අපට කියා තියෙන්නේ එහෙම කරන්න එපා කියලනේ කියා. ගොඩක් වෙලාවට නියාමයන් ක්‍රියාත්මක වන්නේ එහෙම තමා ප්‍රා. ගොවියන් ගොඩක් වෙලාවට, තමන්ගේ නිෂ්පාදන වල කොලිටිය ගැනත්, පරිසරය ගැනත් සංවේදියි. ඒ කියන්නේ මිනිසුන්ට ඉදිරිපත් කරන නිෂ්පාදනය නරක එකක් කරන්න සිතාමතා පෙළඹෙන්නේ නැහැ. අනික අද ගොඩක් දෙනා තිරසාර ගොවිතැන ගැන සිතනවා. එතකොට එක කන්නයක් ගැන විතරක් සිතා පොහොර හෝ කෘමි/වල් නාශක ගහන්නේ නැහැ. එතැනදී වැඩියෙන් ගැහුවට වැඩි ප්‍රතිඵල දෙන්නේ නැති වග බටහිර ගොවියන් සියල්ලන්ම පාහේ දන්නා කරුණක් නේ. අනික අද ආර්ථික වශයෙන් ප්‍රශස්ත යෙදීම කොච්චරද කියා ගණනය කරන්න එයාල දන්නවා. ගොවියන් කියන්නේ, පර්යේෂණ දැනුම සමග ඉදිරියෙන්ම ඉන්න කොට්ටාශයක් මා දන්නා තරමින්. ඒ සියල්ලේම සම්මිශ්‍රණයක් හැටියට තමා ප්‍රා ඔය කෘෂිරසායන භාවිතය නියාමනය වන්නේ.

    ඔය අතරම මා විශ්වාස කරන්නේ රජයේ හා ගොවි සංගම් වල නියාමනය කිරීම් වැදගත් වැඩ කොටසක් කරනවා කියා.

    මේ රට වලත්, ලංකාවේ වගේම කෘෂිරසායන වැරදි ලෙස භාවිතා කරපු කාලයක් තිබී තියනවා ප්‍රා. නොයෙක් රටවල් වල ඒ සඳහා උදාහරණ තියනවා. මා දන්නවා, ඕස්ට්‍රේලියාවේ එක අර්තාපල් වගා කරන ප්‍රදේශයක, කාලයක් තිස්සේ පොස්පරස් අඩංගු පොහොර වැඩිපුර දීම නිසා, ඒ පස් දැන් එක්තරා බර ලෝහයකින් “සන්ත්රුප්තයි”. ඇමෙරිකාවේ, යුරෝපයේත් මෙවැනිම උදාහරණ තියනවා.

  5. pajayatunga

    Hmm. It is a matter of being civilized I reckon. Civilized farming methods and uncivilized methods. I’m not talking about any country being absolutely civilized, but comparative civilization, by percentages. SL is far less than 50%.

  6. මම සති අන්තයේ ලංකාවේ වැඩියෙන්ම පළිබෝධනාශක ඉසිනවා කියා සාහිත්‍ය මහාචාර්ය වරුන් ගෙන් පවා චෝදනාලත් මන්දාරම් නුවර අවුරුදු නෑදෑගමනක් ගියා, ඉස්සර වගේ නොවෙයි දැන් නම් ඹවුන්ගේ භාවිතාවන් ගැන දොස් දකින්නට මට බැහැ. අක්කරය 4-5ක යායක ගොවී පවුල් දහයක් දොලහක් භෝග පහක් හයක් අල්ලක් තරමේ ලියදි තුන හතර ගනෙන් හදන්න වෙලා තියෙද්දී මොනව කියන්නද? අල්ලපු කොටුවේ කොළපාට අතුරුන් කහපාටට උසට අෑතටමම පේන බෝංචිවැලුත් තියෙද්දී මෙහා කොටුවේ ගොවියා ට කෘෂිරසායන අඩුවෙන් යොදන්න හැකිද? හැබැයි ඉතින් නෑදෑයා උනත් මම පිටස්තරයෙක් නිසා මට කීවේ නම් තවම බෙහෙත් ගැහුවේ නෑ කියලයි. උෟරෝ රිලවුන්ගෙන් උස්බිමේ හේනේ වගාව බේරගන්න බැරිනිසා කුබුරේ ඒළවළු හිටවන ගොවියෝ උනත් සිරිමගෙ කාලේ මංඤොක්කා බතල හීනත් දකිනවා.

  7. පොස්ට් එකට අදාලා නැති කමෙන්ට් එකකි…:)

    සති කිහිපයකට පෙර දිගු කලකට පසු රයිගම් නැවතත් ලියා තිබෙන බව දුටු විට කමෙන්ට් එකක් දමන්න සිතා සිටියත් ඒ සඳහා අවස්ථාවක් ලැබුනේ නැහැ.මේත් කුමන හෝ බ්ලොග් සටහනක කමෙන්ට් එකක් දමන්නේ මා මාස කිහිපෙකට පසුවයි. පොඩ්ඩක් හරි ලියන එක චුට්ටක් හරි කියවන වටිනවා.

  8. කොහොමද මනෝජ්? නැවත කොමෙන්ටුවකින් දැකීමත් සතුටක්!

  9. ඔව්, ලංකාවේ ගොවිපොළ කියන්නේ ඉතා කුඩා එකක් නිසා අප හිතන තරම් ප්‍රශ්න විසඳන්න ලෙහෙසි නැහැ. හැබැයි, දිගින් දිගටම මිනිසුන්ට කියා දෙනවා නම් එයාල වෙනස් වෙනවා කියා මා විශ්වාස කරනවා. මේ දියුණුය කියන රටවල පවා, සියලු දේවල් දැනට අප සතුව තියන දැනුමට අනුව කෙරෙන්නේ නැහැ. නමුත් බටහිර ලෝකයේ පසුගිය දශක කිහිපය තුල, එක දිශාවකට ඔය කියන යහපත් තේරීම් කෘෂිකර්මයේ කර තියනවා. උදාහරණයකට, ඕස්ට්‍රේලියාවේ නිපදවන කෘෂි නිෂ්පාදන මා පෞද්ගලිකව, මට තෝරා ගන්න හොඳම ඒවා යයි මා හිතනවා විතරක් නොවේ, වෙනත් විකල්පයක් නැති අවස්ථාවක පමණයි මා, ආනයනය කරන ආහාර නිෂ්පාදන මිලදී ගන්නේ.

  10. ඔව්, එය ශිෂ්ටාචාරගත වීමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි ප්‍රා, මේ කියන ශිෂ්ටාචාරගත වීම කියන දෙයත් සාපෙක්ෂයිනේ. අපගේ ලංකා ශිෂ්ටාචාරය ගත්තම, සුද්දන් අමුඩ ගහගෙන ඉන්න කාලයේ, අප වැව් දාගැබ් හැදුවා කියනවනේ. ඒ කාලයේ සාමාන්‍ය මිනිසෙකු ජීවත් වූ එකම නිවසක හෝ නටබුන් දකින්න නැහැ නේද? මාලිගා, පන්සල් වල නටබුන් තියනවා. ඒකෙන් අපට යම් අවබෝධයක් ලැබෙනවා, සාමාන්‍ය මිනිසුන්ගේ ජිවිත තත්වය. ඔවුන් නිකම් පැල්පත් වල දුක්කිත ජිවිතයක් ගත කරන්න ඇති. වහලුන් වගේ ඔය මාලිගා හදන්න ශ්‍රමය වැය කරන්නත් ඇති.
    සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය, අද තරම් හොඳ කාලයකුත් මෙලොව තිබී නැහැ.
    අර සිවිලයිස් කතාවට යලිත් ආවොත්, සමාජයේ norms කියා දෙයකුත් තියනවනේ. එක සමාජයක් හොඳය කියන නොර්ම්ස් තවත් සමාජයක් බැහැර කරනවා. මා උදාහරණයකට ගත්තොත්, ඉස්සර හොදයි කියා පුරුදු වුනු දේවල්, මේ සමාජයට ආවහම වෙනස් වූවා. මොකද ඔය කියන නොර්ම්ස් වෙනස් නිසා. නැවත ලංකාවට අපුවහම ගොඩක් දේවල් වෙනස් වුනා නම් හොඳ නේද කියා සිතෙනවා. හැබැයි, ඒ මටනේ. ජීවිත කාලයම ලංකාවේම ඉපිද, ඒ සමාජයෙන් පිට ගිහින් ජීවත් නොවුන කෙනෙකුට එය වෙනස් නේ. ඔබ පවා වෙනස්ව හිතන්නේ, වෙනත් සමාජ දැක තියන නිසානේ.
    අද ලංකාවේ ඉන්න දේශපාලකයන් හා සසඳන විට, ඉස්සර අප පාසල් කාලයේ සල්ලාල මෝඩයෙකු ලෙස අපට කියා දුන් ජෝන් කොතලාවල කොතරම්, බුද්ධිමත්, දාර්ශනික දැක්මකින් යුතු මිනිසෙක්ද කියා, ඔහුගේ හඬින් අසන්නට තියන සුළු කතා ටික පෙන්වනවා. හැබැයි, එදා ඔහු අවට සිටියේ එයිටත් වඩා (සමහරවිට) දැක්මකින් යුතු පිරිසක් වෙන්න හැකියි. එතැනදී පවා ඔවුන් වෙනස් මිනිසුන් වුයේ බටහිර ශිස්ටචාරයේ, නැත්නම් සුද්දන්ගේ බලපෑම නිසා. අද ඇමෙරිකාවේ දශක ගණන් ජිවත් වී ඇවිත්, මහජන මුදල් වලින් ගසා කන විට, අම්මල තාත්තලාගේ සොහොන් හදන විට, කොතලාවල තමන්ගේ මුළු දේපොලම මහජන සුබසිද්දිය වෙනුවෙන් ඉතිරි කර ගියා. කොතරම් වෙනසක් ද? එයින් කියැවෙන්නේ, අර කියන බලපෑමත් සිදු වන්නේ වෙනස් අයුරකින්. මා කියුවනේ මේ සමාජ වලින් “හොඳය” කියන දේවල් වගේම, මේ සමාජත් ප්‍රතික්ෂේප කරන “නරක” දේවලුත් උකහා ගන්න පුළුවන් කියා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.