ගෙදරදීම තෙල් හිඳ ගැනීම පියවරෙන් පියවරට!


මාත් ගිහින් යාලුවෙකුගේ ගෙදර නැවතුනා. හපොයි උන් කන්න දුන්නේ මැලිබන් බිස්කටුයි, ලුණුමිරිසුයි කිරිබතුයි. ලංකාවෙන් ඇවිත් සංක්‍රමණික යෙකුගේ ගෙදර නැවතී, ආපසු ලංකාවට ගොස් ඔහොම කියපු කතා ගොඩක් තියනවනේ. හැබැයි, ඒ කවුරුන් හෝ මැලිබන් බිස්කට් උඹලම කාපල්ලා, කියා හෝටලයකට ගොස් නැවතී, එහි මෙන්න මෙව්වා කෑව කියා කිසි දිනක විස්තරයක් නම් දමල නැහැ.

ඔය වගේ කතා කියන අය කී දෙනෙකුට එයාල දන්නා දේශීය කෑම කොතරම් ප්‍රමාණයක් උයන්න හැකිද කියල ඇහුවොත්, සමහරවිට ගොළු වේවි. ලංකාවේ හෝ වෙන රටක හෝ තියන ආහාර කන්න නම් උයන්නත් ඕනිනේ. දැන් මෙයාල මේ බලාපොරොත්තුවන්නේ තමන් ජිවිත කාලය තුල නොවුගත් දේ, පිටරට ගිහින් වෙන කෙනෙකු කරාවි කියානේ. හැබැයි තමන්ගේ පිරිමි යාලුවා නම් නොවේ.

ලෝකයේ වෙනස් කරන්න බැරි දේවල් දවසෙම කතා කරන්න කැමති අප, අපට වෙනස් කරන්න හැකි දේවල් ගැන ගොඩක් වෙලාවට උනන්දු වන්නේ නැහැ. නුතන දිවියේ අප සාමාන්‍යයෙන් කරන හෝ නොකරන අයහපත් පුරුදු (මධ්‍යම පන්තික) ටිකක් මා මෙසේ පෙළ ගස්වනවා; ප්‍රමාණවත් තරම් වතුර නොබීම, සීනි කෑම (බිස්කට්, ටොෆි, චොක්ලට්, සීනි), එළවලු හා පළතුරු ප්‍රමාණවත් තරම් නොකෑම, ව්‍යායාම නොමැති අලස දිවිය, ආහාර වේල් අතර කෑම, ලුණු වැඩිපුර දමපු ආහාර ගැනීම, මත්පැන් හා සිගරට් පාවිච්චිය. ඔය අතරින් අන්තිම එක හැර අනික් සියලුම දේවල් හැමෝම වගේ කරන දේවල්. ඔබට නැවත සිතා බලන්න පුළුවන්.

ඔය අතරින් සීනි හා ලුණු කියන දේවල් වෙළෙඳපොළ විසින් බලෙන් අපේ දිවිය මත පටවපු දේවල් වෙන්නත් පුළුවන්. ඔය දෙකම එක අතකට ඇබ්බැහි කාරක වගේම, ඒවා වැඩියෙන් දමපු රසයට දිව හුරු වූ විට, ආපසු ගමන අසීරු වෙනවා. ඒ නිසා සමහර නිෂ්පාදන ආයතන, මිනිසුන් එයාලගේ නිෂ්පාදන වලට අද්ද ගන්නත්, බැඳ තබා ගන්නත් සීනි හා ලුණු භාවිතා කරනවා. එයිට අමතරව, ගෙදරදී මේ දේවල් වලට වැඩියෙන් හුරු වුනු පසු ආපසු ගමනක් නැහැ.

වතුර ඇති පමණ බොන එක ගැන ඔබ හිතා තියනවද? දිනකට වතුර විදුරු (300ml) අටක් හෝ දහයක් බොන්න ඕනිනේ. වෙනත් දියර වර්ගත් ඒ අතරට අයත් වෙන්න පුළුවන් කියා කියුවත්, මා හිතන්නේ වතුර විදුරු විතරක් හයක් – අටක් දිනකට බීම හොඳ පුරුද්දක් කියා. හැබැයි, ඔබ කොතරම් වතුර බොනවද කියා දිනක් ගණනය කර බලන්න. දිනකට වතුර විදුරු 10ක් බීම චැලේන්ජ් එකක්. රස්සාවක් කරනවා නම්, තවත් අමාරුයි.

එළවලු හා පළතුරු නොකෑම සමහර විට ඒවා ප්‍රමාණවත් අයුරින් මිලදී ගන්න නොහැකියාව හෝ වෙළඳපොලේ නැතිකම මතත් රඳා පවතින්න පුළුවන් වුවත්, මා කියන්නේ, මිනිසුන් මේවට කැමැත්තක් නැති නිසා නොකෑම ගැනයි. එළවලු හා පලතුරු ගත්තොත්, කිසිම ඉවිමකට භාජනය නොකරපුවා කන එකත්, අප කරන්නම ඕනි දෙයක් කියා මා හිතනවා.

අලස දිවිය නැතිනම් ව්‍යායාම් නොමැති කම ගැන කියන්න දෙයකුත් නැහැනේ. හැබැයි අලස නොවන කෙනෙක් පවා, ව්‍යායාම් නොමැති කෙනෙක් වන්න පුළුවන්. මා කියන්නේ දිනකට හෝ සතියකට තෝරා ගත්ත වෙලාවක් ඒ වෙනුවෙන් ගත කිරීමයි. වැඩට යන්න ඇවිදීම හෝ පඩිපෙළවල් නැගීම වගේ දේවල් මේ ගොඩට අයත් නැහැ.

දැන් ඔය සේරම දේවල් කරලා වෙලාව ඉතිරි වුණොත්, වංගෙඩි වලින් පිටි කොටා ගැනීම, හාල් ගරා ගැනීම, තෙල් හිඳ ගැනීම වගේ විනෝද කටයුතු වල නිරත වන්නට හැකියි. හැබැයි ඒවාත් ගෙදර ගැහැනුන්ට නොපරවා, තමනුත් කරනවා නම් තමා විනෝදය වැඩි වන්නේ.

6 Comments

Filed under Food

6 responses to “ගෙදරදීම තෙල් හිඳ ගැනීම පියවරෙන් පියවරට!

  1. pajayatunga

    මං මේක රයිට මීට ඉස්සර කියල තියනවද මතකනෑ.
    පිටරට යාලුවෙක්ගෙ ගෙදර ගියාම සමහරවිට මට බොහොම අමාරුවෙන් ඒගොල්ලන්ව වලක්වන්න වෙනවා මා වෙනුවෙන් ලංකාවෙ කෑම හදන එක. මං කියනවා මට තව සුමානෙකින් ආපහු ගියාම හැමදාම බතුයි සම්බෝලයි මාලු පිණියි කන්න වෙන්නෙ ඒ නිසා දැන් මෙහෙ කෑම කමු කියලා.
    ලංකාවෙන් එන සමහර විසිටර්ස්ලාට පුරුදු කෑම නොකා දවස් දෙකක් වත් ඉන්න බැරි නිසා වෙන්න ඇති එහෙම දෙන්න හදන්නෙ. මට නම් මාස ගාණක් වුනත් පුලුවන් වෙනස් ඉන්ටරෙස්ටින් කෑම කමින්. තව හේතුවක් එහෙ ඉන්න අය විසිටර්ස්ලා ආව එක හේතුවක් කරගෙන ලංකාවෙ කෑම හුගක් හදන්න ගන්නවලු තමන් ආස නිසා. ඒක නම් මට තේරුම් ගන්න පුලුවන්.

  2. ප්‍රාජේගේ කතාව නිසා සිහිවුණු හිනා යන කතාවක්.

    මගේ පුංචි අම්මලා දෙදෙණෙකු මීට වසර පහකට පමණ පෙර තවත් නඩයක් සමග චීනයේ සතියක හමාරක සංචාරයකට ගියා. ඒ කාලය තුල දී ගුවන් යානයේ දී ගත් ආහාර හැර සැම විටම කාලා තියෙන්නේ ලංකාවේ කෑම, බත් සහ හොඳි. එක වේලක්වත් චීන කෑම කාලා නෑ. (හැබැයි මේ අය ලංකාවේ දී ලන්කන් චයීනීස් කෑම කනවා). ඒ සංචාරය සංවිධානය කර තියෙන්නේම හැඟ වේලක්ම ලංකාවේ කෑම සහිතවයි.

  3. මෙහෙමයි ප්‍රා, ඔබ වගේ කෙනෙක් ටික කාලයකට වෙන රටකට යන එකයි, සන්ක්රමනිකයෙක් වෙන රටක ජිවත් වන එකයි හරිම වෙනස් දෙකක්. ඔබ වගේ කෙනෙක් එය තේරුම් ගත්තට අර මා කියපු මහා ප්‍රාඥයන් ට එය තේරෙන්නේ නැහැ. සමහරවිට මන්චි ටිකිරි මාරි වෙනම එයාලටම සංග්‍රහ කරන්න ගෙනත් තියන්නත් ඇති. හොඳම දේ කාල බීල ලංකාවට යලි ගිහින් ඔය වගේ කතා කීම නොවේ. මචන් මෙහෙ තියන මොනවා හරි කන්න බැරිද කියා කෙලින්ම අහන එක. එතකොට යාළුවගේ නෝනට උයන්න බැරිනම්, කඩෙන් හරි ගෙනත් දේවිනේ.

  4. හපෝ රසික, ලංකාවේ චයිනිස් කෑම, ඇත්ත චීනෙක් කෑවොත්, පික්ෂු පීකුදු වෙයි.
    අපේ අයට බත් නැතිව ඉන්න බෑනේ. ඔය කට පත්ත ඇද්දට ගොඩක් දෙනෙක් පිටරට අවොත්, ඒ ඒ රටවල තියන කෑම කන්න ඇති හැකියාව හරි අවමයි. ඒ තියා අහමු ලෙස තෝරා ගත් මධ්‍යම පාන්තිකයන් පිරිසක්, ලංකාවේ ලොකු හෝටලයක බටහිර හා පෙරදිග කෑම තියන බෆේ එකක ට එක්ක ගියොත්, 95% ක් වගේ විශාල බත් පිඟානකට, තමන් දන්නා කෙසෙල් මුවයි, සිනි සම්බෝලයි පරිප්පුයි තමා කන්නේ.

  5. ඇණයා රාජවිපක්ෂ

    //ඒ තියා අහමු ලෙස තෝරා ගත් මධ්‍යම පාන්තිකයන් පිරිසක්, ලංකාවේ ලොකු හෝටලයක බටහිර හා පෙරදිග කෑම තියන බෆේ එකක ට එක්ක ගියොත්, 95% ක් වගේ විශාල බත් පිඟානකට, තමන් දන්නා කෙසෙල් මුවයි, සිනි සම්බෝලයි පරිප්පුයි තමා ක// එහෙම බෙදාගන්නවා විතරක් නොවෙයි තමුන්ගේ රැලේ එකෙක් වෙනත් තේරීම් වලට ගියොත්, ඌ දිහා පුදුම බැලුමක් හෙලල ඇනුම් පදයක් කියා හිතසනසා ගන්න ඉඩ ලැබෙන තුරාවට මඟ හැර සිටින්නත් වග බලාගන්නවා.

  6. හපොයි, වසර දෙකක් යන්නටත් ප්‍රථම රාජපක්ෂ කෙනෙක්, විපක්ෂ වී තියන හැටි!
    සංක්‍රමණික කෑම ගැන විවේචනය කරන පිරිස් වලටත් පොදු ගුණාකාරය තමා, එයාල මානව නිදහස, සත්ව නිදහස හා තවත් සුවහසක් නිදහස් වෙනුවෙන් පෙනී සිටින අය යයි එයාලගෙම අඳුන්වා දීම. මැලිබන් බිස්කට් කන්න නොලැබුන කෙනෙක් සමහර විට රටින් ඉවත් වී එව්වා කනවා ඇති. කිරිබත් කන්න මව් රටේදී බැරිවුණ කෙනෙක් ඇමෙරිකා ගිහින් කිරිබත් හා ලුණුමිරිස් කනවා ඇති. සංක්‍රමණය කියන්නේ එක අතකින් තමන්ට අත් විදින්ට නොලැබුන නිදහස සොයා යාම. මානව නිදහස ගැන තමන්ම පෙනී ඉන්න අය, ඇත්තටම මෙවැනි සංකල්ප ගැන කොතරම් දුප්පත් මතයක් දරනවද කියා ඔබ ලංකාවේ අත්දැකපු දෙයිනුත්, මා කියන දෙයිනුත් ඔබටම සිතා බලන්න හැකියි.