කවුරුවත් කියන්නේ නැහැ මා කරපු හැටි


ඉස්සර සිංහල බ්ලොග් ලියන සංක්‍රමණික පිරිස් අදට වඩා ටිකක් වැඩිපුර හිටියා (හෝ අදට වඩා වැඩිපුර සිංහල බ්ලොග් මා කියවන්න ඇති) කියා මට සිතෙනවා. තාවකාලිකව සංක්‍රමණය වී සිටි තවත් සමහරුන්, මැණිකේ මම ගෙදර යනවා කියා, ආපසු ලංකාවට ගිය පසු, පෙර සාංකාවට ලියමින් සිටිය පුරුද්ද තව දුරටත් අවශ්‍ය නොවෙන්නත් ඇති.

කොහොමත් ෆේස් බුක් වගේ වඩාත් පහසු අට්ටා ලයන් වෙතත් තව පිරිසක් ඇදී යන්නත් ඇති. ඒ අතර ඉස්සර ලී කෙලි සෙල්ලම්, දැන් වෙනත් සෙල්ලම් මගින් විස්ථාපනය වෙලාත් ඇතැයි අනුමාන කරන්න හැකියි. මිනිසුන් මොන දාර්ශනික ප්‍රශ්න ගැන කතා කළත්, බඩගින්න හෙවත් ජීවනෝපාය තමා වඩාත් ප්‍රමුඛතාවයක් ගන්නේ.

කෞශල්‍ය ලියා ඇති පරිදි, අනාගතය ගැන බලාපොරොත්තු කඩ වුන විටදීත්, මිනිසුන් අතීත ශ්‍රී විභූතිය ගැන සිහින මවමින් සන්තෝෂ වනවා. මෙතැනදී අතීතය කියන්නේ තමන්ගේ ජීවිත කාලයෙන් එහා ඈත අතීතය වෙන්නත් පුළුවන්, නැත්නම් තමන් පසු කරපු ජීවිතයේ පරණ දවස් වෙන්නත් පුළුවන්.

තවත් සමහරුන් අතීතයේ කරපු ක්‍රියා මෝඩයි කියා සිතෙන නිසා, ජීවිතය මුළුමනින්ම වෙනස් කර ගන්නවා. විශේෂයෙන් තරුණ ජිවිතයේ සමාජය වෙනස් කරන්න උත්සහ ගත්තවුන්. එවැනි පිරිස් වැඩිපුර ඉන්නේ දැනට දියුණු වෙමින් පවත්නා රටවල් වලයි. මොකද දැනට යන්තම් දියුණු යයි කියන රටවල් වල, එවැනි මහා වෙනස්කම් කරන්න උත්සහ කරන පිරිස් අඩු නිසා. අඩුමත් නැහැ, නමුත් ඔවුන්ට අරතරම් කැප කිරීම් කරන්න වෙන්නේ නැති නිසා, මග හැරෙන දේවල් අඩු කියා මා අනුමාන කරනවා.

අප පාසල් යන කාල වල මහා නායකයින් ලෙස සැලකුණු (සමහරවිට තවමත් සමහර පිරිස් සිතන) ගඩාපි, සදාම් හා තවත් එවැනි නායකයින් හැදුවා යයි කියැවුණු ආදර්ශමත් සමාජ එක රැයකින් නැතිව ගියා. සිස්ටම් ගොඩ නොනඟා, තනි මිනිසුන්ගේ ආදර්ශමත් සමාජ හරියට වැල්ලේ හැදුව මාලිගා වැනියි. ගොඩක් ලස්සන තමා, රැල්ල නොඑන කම්. රැල්ල ආපුවහම මොකුත්ම නැහැ.

මොක කෙරුවත්, මිනිසුන් වශයෙන් පමණක් නොවේ සතුන්ට පවා බඩගින්න තමා ජීවිතය මූලික වන්නේ. මොනවා කරන්නත් කාල ඉන්න ඕනි කියා අර කතාවකුත් තියනවනේ. සමහර පොර ටෝක් දෙන මිනිසුන් කියන දේවල්, සාමාන්‍ය ජනයාට දිරවන්නේ නැත්තෙත් ඒ නිසා. අද වේල කන්නේ කොහොමද කියා හිත හිතා ඉන්න විට, මූ එනවා අන්ඩර දෙමල කියන්න කියා ඔවුන් සිතනවා.

තමන්ගේ ජිවිතයේ පසුකරපු කාලයන් ගැන සිතීම නරක දෙයක් නොවේ. හැබැයි අදට වඩා ඒ සේරම කාල හොඳයි කියා සිතෙනවා නම්, එතැනත් පොඩි ප්‍රශ්නයක් තියනවා. එයටත් වඩා බයානක, අනාගතය, ඒ පරණ කාලයන්ට වඩා නරක වේවි කියා සිතෙනවා නම්.

මිනිහෙක් අවුරුදු හතලිහ-පනහ සීමාවන් පසුකරපු විට, ජිවිතයේ ඊළඟ ටික මොනවගේ වේවිද කියා යම් අවබෝධයක් තියනවා. මොකද ජිවිතයෙන් භාගයක් හෝ සමහරවිට එයිටත් වඩා කොටසක් දැනටමත් ගත කර ඇති නිසා. ලංකාව ගත්තොත්, විශාල සමාජ ආර්ථික විපර්යාශයක් වෙන්න තියන ඉඩට වඩා, තවත් තරුණ කැරැල්ලක් එන්න ඉඩකඩ තියනවනේ. මොකද අපේ ජිවිත කාලය තුල, පළමු කියපු එක එක වරක් හෝ සිදුවෙලා නැහැ. හැබැයි තරුණ කැරලි 3ක් වෙලා තියනවා. ඔය කියුවේ සිදුවෙන්න නියමිත දෙයක් නොවේ. හරියට හිතුවොත් වෙන්න වඩාත් ඉඩ තියන දෙය.

මා නම් විශාල ක්ෂණික විපර්යාස ගැන වැඩි බලාපොරොත්තුවක් නැහැ. මොකද ඒවායේ පැවැත්මත් ඒ වගේම ක්‍ෂණිකව නැතිව යන්න හැකි නිසා. ඒ වෙනුවට ක්‍රමයෙන් ගලායන වෙනස්වීම් වඩාත් තිරසාරයි.

ඉදිරි වසර පනහා හෝ සියය තුල මිනිසා අද භාවිතා කරන ප්ලාස්ටික් වලින් සදහටම සමු ගනු ඇතැයි මා අනුමාන කරනවා. ඒ වගේම ගල් අඟුරු කියන්නේ 2050 හෝ එයිට පසුව වටිනාකමක් නැති ද්‍රව්‍යයක් බවට පත් වනු ඇති. කෘෂිකර්මය ගත්තොත් අප වවන ධාන්‍ය, පළතුරු හා මෘෂ බෝග වලින් වැඩිහරියක් අනාගතයේදීත් පසේම වවන අතර, වඩාත් වාණිජ වටිනාකම් ඇති එළවලු වගේ එව්වා වඩාත් කාර්යක්ෂම වෙනත් මාධ්‍ය වල වගා කරන්නට යොමු වන්නත් ඇති ඉඩ වැඩියි. ඒ වගේම සත්ත්ව මස් වලින් අනාගත දියුණු මිනිසා ගොඩක් දුරට ඉවත් වේවි කියා මා හිතනවා. එය 2100න් එහාට යන දෙයක්.

අනාගත ලෝකයේ මිනිස් වර්ගයා කොයි වගේ වේවිද. අද වගේම සංක්‍රමණය දිගින් දිගටම වුණොත්, අද පවතින ජනවර්ග, හමේ පාට වගේ දේවල් මේ වගේ කළු-සුදු ලෙස වර්ග කරන්න හැකි වේවිද. මා මේ කියන්නේ අදින් වසර 10, 000 කට පමණ පසුව. එවිට සමහර විට, පෘථිවියේ මිනිසා කියා වෙනත්, ග්‍රහලෝක වලට හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ, අපගේ සේරම රටවල් වලට පොදු එකම සමේ පාටකින් යුක්ත මිනිහෙක් වන්නත් පුළුවන්.

ඔවැනි කරුණු ගැන කල්පනා කිරීමෙන් ලොකු ඵලක් නැත්තේ, ඒවා දකින්නට අප ජීවත් නොවන නිසා. ඒ වෙනුවට අප ජිවිත කාලය අත්පත් කර ගත්තු දේවල් ගැන හැපී නම්, එය තමා වඩාත් වැදගත්. සමහරුන් මව් රටින් සංක්‍රමණය වුණු නිසා දුක් වෙනවා, තවත් අය සංක්‍රමණය කරන්න තිබුන අවස්ථාව අතහැරීම ගැන දුක් වෙනවා. මේවා ගැන විවේචන ඉදිරිපත් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අප සියලු දෙනාම පාහේ, තීරණ ගන්නේ, ඒ අවස්ථාවට ගන්න හැකි හොඳම තීරණ කියා සිතලානේ.

ඉපදී හැදී වැඩි හැදුනු පරිසරයෙන් ඉවත් වීම, මාර චැලේන්ජ් එකක්. හැමෝම ජීවත් විය යුත්තේ මෙන්න මේ වගේ යයි යෝජනා කරන්න බැරි, එකිනෙකාගේ ජිවන අභිලාශ එකිනෙකට වෙනස් නිසා. හැබැයි මා සිතන්නේ, සංක්‍රමණය වගේ දෙයකදී, ආර්ථිකව වඩා හොඳ තැනකට යනවට වඩා, කෙනෙකුට වෙනත් අභිමතාර්ථයක් තියෙන්න ඕනි.

මොක වුවත්, මගේ බ්ලොග් ලිවීම් වලට දැන් වසර දහයක්. ඒ කියන්නේ මා වසර දහයකින් මහළුව ගිහින්. මොන අන්දමකින් බැලුවත් එය ලොකු කාලයක්. ඉස්සර දකින්න හිටි පිරිස් වලින් සමහරෙක් අද බ්ලොග් ලෝකයේ නැහැ. තවත් සමහරෙක් බ්ලොග් ලෝකයේ තියා මෙලොවත් නැහැ. එයම අපගේ ජීවිතයේ ඇති අස්ථිර භාවය ගැන යම් ඉඟියක් දෙනවා. මා ගැන පෞද්ගලිකව කියුවොත්, මේක ලියන්නට ගත්තු දිනට වඩා මා අද ශාරීරිකව ෆිට්. තවත් ගොඩක් දේවල් අතර, අන්තර්ජාලයෙන් ඉවත් වීමත් එයට එක හේතුවක්. එයම තමා අපේ ජිවිතයේ මා කියන පැරඩොක්සිකල් දෙය. එනම් ජීවත් (හරියට) වන විට, ජිවත් වන හැටි කියන්න වෙලාවක් නැතුව යනවා.

ආ මග ඔබ නැත, මා පමණකි අද….! 😀

2 Comments

Filed under Reflections

2 responses to “කවුරුවත් කියන්නේ නැහැ මා කරපු හැටි

  1. pajayatunga

    සිංහල බ්ලොගර්ස්ලා මීට වඩා හිටිය මං හිතන්නෙ. කමෙන්ට්ස්නම් මීට වඩා හුගාක් තිබුන. සමහර බ්ලොග් පෝස්ට්වලට සීයක් තරම්

  2. වයසින් මුහුකුරා යාමත් සමග සමහර දෙනෙක් ඉවත් වුණා. සතුට කියන්නේ මුදල් නොවේ කියුවට, මුදල් එනම් ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන දෙයකට කාලය වෙන් කරන්න අප කැමති නැහැ. බ්ලොග් ලියපු අය පමණක් නොවේ, නොලියන අනික් විශාල පිරිසත් ජිවිතය ගෙවන්න අවශ්‍ය මුදල් සෙවීමේ කටයුත්ත කෙරුවට පසුව මේ වගේ වැඩකට නැති දෙයකට කාලය යොදවන්නේ නැහැ. 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.