Monthly Archives: August 2021

යොවුන් වසන්තය පාවී ගියපසු


මිනිසා හදන, ක්‍රමානුකුලව නඩත්තුත් කරන බෝයින්ග් වගේ ගුවන් යානයක ජීවිත කාලය සාමාන්‍යයෙන් අවුරුදු තිහකින් පමණ ඉවර වෙනවා. මේවා එක දිගටම දුවන්නෙත් නැහැනේ. විවේක කාල තියනවා. මිනිසෙක් අවුරුදු හැත්තෑවක් අසූවක් දිවි ගෙවනවා කියන්නේ, ටිකක් වැඩිපුර හිතුවොත් මාර ගේමක්. පැය විසිහතරේම දුවන මැෂිමක් නේ. විශේෂයෙන් හදවත. අප නිදා ගන්න කොට ඔය දණහිස්, කකුල් වලට සමහර විට, පොඩි විවේකයක් ලැබෙනවා. හැබැයි හදවත වැඩ.

දැන් මා කලින් සටහනේ ලියුවනේ, අවුරුදු හැට පහෙන් පසුව (ජීවත් වුවොත්) ජීවත් වන කාලයෙන් සියයට 40% ක් වගේ කාලයක් ගත වන්නේ ලෙඩ රෝග වලින් පිඩා විඳිමින් කියා. එතැනම ලියුවා, එයින් සමහර දේවල් අපගේ තේරීම් නිසා හදා ගන්න ඒවා කියා. ඒ කියන්නේ, ඒවත් හදා නොගෙන, උපතින්ම ගෙනා රෝගත් නැති නම්, පරමාදර්ශී නිරෝගී ජිවිතයක් ගත කරන්න කෙනෙකුට හැකිද?

සමාජයේ ඉතා කුඩා ප්‍රතිශතයක් උපතින් ගෙනා නිරෝගී කම, තමන්ගේ තේරීම් හා පවතින සෞඛ්‍ය පහසුකම් නිසා සාපේක්ෂව නිරෝගී ජීවිතයක් මරණය දක්වාම ගත කරනවා. හැබයි බොහෝ දෙනා අඩසියවස පසු කරපු පසු, මා කියපු, එංජිමේ ගෙවීම්, කෑලි හැලීම් නිසා ඇතිවන ප්‍රශ්න එන්න එන්නම වැඩිවීම බලාපොරොත්තු වන්නට හැකි දෙයක්.

එතකොට, බුලත්විට කෑම, සිගරට් බීම, අරක්කු ගංජා හා තවත් විනෝද ජනක දේවල් භාවිතාව, ඒ අවස්ථාවට ගොඩක් විනෝද ජනක වුවත්, මේවයින් ශරීරයට පොදුවේ දීර්ඝ කාලීනව අයහපත් බලපෑම් කරන වග අද වන විට රහස් නොවේනේ. ඒවාට යන්න අවශ්‍ය නැහැ. කන විට රසමසවුලක් නම්, ඕනි තරම් තියනවා නම්, සීමාව පන්නා කන්නත් පුලුවනිනේ. හැබැයි ශරීරය තර වන්න වන්න, එදිනෙදා ජීවිතය කොතරම් කරදර කාරී වන වනවාද කියා, සමහර දෙනා දුටුවිට පවා පෙනෙනවා. සමහරුනට හුස්ම ගැනීම පවා, සටනක් දෙන්න අවශ්‍ය දෙයක් නේ.

මා කලින් කියුවා වගේ, මේ සියලු දේ වලින් අයින්ව, ගතකරන ජීවිතයත් මොන ජිවිතයක් ද කියා ඔබ අප බොහෝ දෙනෙක් සිතනවනේ. හැබැයි වැඩේ තියෙන්නේ, මේ දේවල් වලට සීමා දමා ගැනීමට ඉතා අසීරු කරුණක් වීමයි. එහෙම නැති වුවත්, ජීවිතයේ වෙනත් ප්‍රමුඛතා නිසා, ශරීර සෞඛ්‍යය කියන දේ පහලට යාම නිතැතින්ම සිදුවන්නක්.

පසුගිය දිනෙක කෙනෙක් මාත්තෙක්ක කතා කරන විට කියුවේ, ඔහුට රුධිරයේ සීනි හා කොලෙස්ටරෝල් තියනවා කියා. එය දැන ගන්නට ලැබී ඇත්තේ, අධික තෙහෙට්ටුව, හුස්ම ගන්න අමාරුකම වැනි දේ වලට හේතුව මොකක්ද කියා දොස්තර හමුවීමට යාමෙන් පසු. තවම හතලිහ පසු කර නැහැ. ප්‍රධාන වශයෙන් ඔහුගේ දිවිය, රැකියාවටම යට වී ගිහින්. එහි කමිට්මන්ට් ටික ඉවර කරපු පසු අනික්වා කරන්න වෙලාවක් ඇත්තෙත් නැහැ. අනික පුරුදු කියන දේවල් නරකවා හෝ හොඳවා හෝ ඇති වන්නේ කාලයක් තිස්සේ කිරීමෙන් නේ.

දැන් හොඳ සමබර දිවියක් ගත කෙරුවොත්, ඔය කියන රෝගාබාධ වලින් අයින් වී, නිරෝගී දිවියක් අවුරුදු සියයක් විතර ගත කරන්න හැකියි කියා අපට ගණන් හදන්නට හැකිද?

මා ඉස්සර බ්ලොග් ගොඩක් කියවන කාලේ ටිකක් කණගාටුදායක වුවත්, කියවන්නට සිතෙන ඉංගිරිසි බ්ලොගයක් හම්බ වුවා. එය අවුරුදු තුනකට පමණක් සීමා වුන කෙටි බ්ලොග් ලියැවිල්ලක්. ඩෙනිස් රයිට් කියන ඕස්ට්‍රේලියානුවා තමා මේ බ්ලොගය ලියුවේ. ඔහු අද ජිවතුන් අතර නැහැ. ඔහුගේ බ්ලොගය මගේ බ්ලොග් ලයිස්තුවේ තියනවා. එහි සියලුම ලිපි මා කියවා නැතත්, බොහෝ එව්වා කියෙව්වා.

අනාරාධිත අමුත්තා නමින් ඩෙනිස් ලියා ඇති මේ බ්ලොගයේ ඔහු ලියු අන්තිම සටහන පළ කර තියෙන්නේ ඔහුගේ බිරිඳ. ඒ ඩෙනිස් වයස අවුරුදු හැට හයේදී මිය ගිය පසුව. එහි එක ඡේදයක ඩෙනිස් මෙහෙම කියනවා. // My life has been completed and fulfilled by some very special people. They know who they are and I won’t try to name them here. I’ve had an occupation all my life that I’ve loved and which made my work my play; and made my occupation my hobby. Not everyone can say that. After retirement from university life, I did things that have given me great pleasure and, I believe, pleasure to many other people. I have no great unfulfilled ambitions, except the trip to Europe that Tracey, Christian and I planned to do in 2010, and which became impossible when my illness came to light.//

වසර 2007 දී, එනම් තමන්ට අවුරුදු හැටක් වූ පසු, අවුරුදු තිහක් පමණ විශ්ව විද්යාල ආචාර්ය වරයකු ලෙස සේවය කර විශ්‍රාම ගත් ඩෙනිස්, මා අර කලින් කියපු වර්ගයේ පරමාදර්ශී සෞඛ්‍යමත් ජීවිතයට යන්තමින් කිට්ටු කෙනෙක් වගේ කියා පෙනෙනවා. ප්‍රීතිමත් පවුල් දිවියක් හා විනෝදාංශයක් වැනි රැකියාවක් සමග ලෙඩ රෝග වලින් වැඩිපුර පිඩා නොවිඳි එකක්.

සිංදුව අහල ඉතුරු ටික කියවමු…

6 Comments

Filed under Health, Lifestyle, Reflections