අද සැණකෙළියේ වල්මත්වීලා


සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව ගියෙත් හදිසියෙන් වගේ. කොටින්ම ඔවුන්ගේ බර කාලතුවක්කු වගේ එව්වත් නිකම් පාරේ වගේ අත හැරලා ගියා කියල තමා මා ඒ දිනවල කියෙව්වේ. සමහර සෝවියට් සොල්දාදුවන් නම්, එහෙ නතර වුවා. ටික දෙනෙක්. එයාල ගමක කසාදයක් එහෙම කරගෙන, සාමාන්‍ය ගතමනාවක් එන වැඩකුත් කරගෙන නතර වුණු කට්ටිය. එයාලට අන්තිමට වුනේ මොකද කියා, කතා කියවන්නට තිබුණා නම් හොඳයි. ඒත් ඔව්ව සොයන් කියවන්න ඉස්සර වගේ ගායක් එන්නේ නැහැ.

ලෝක ආධිපත්වය පවත්වා ගන්න තමන්ගේ යාන්ත්‍රණයේ (මූල්‍ය හා මනෝමය) ප්‍රධාන සම්පත් යොදවන්නට යාම නිසා සෝවියට් සංගමය අනපේක්ෂිත අයුරින් කඩා වැටුණා කියා මා සරලව සිතනවා. එහෙම නොවන්නට, අභ්‍යන්තර සමාජ හා සංස්කෘතික පුරස්න එහෙමම තියෙත්දී පවා එම සමාජයට තව කල් පවතින්නට ඉඩ තිබුණා. මා ආර්ථික පුරස්න කියන එව්වා එයට දැමුවේ නැත්තේ, ඒවා අර කලින් කියපු ලෝක ආධිපත්වය පවත්වාගෙන යන්නට වැඩියෙන් අවධානය යොමුකරපු නිසා ගැට ගැසුණු හා දරුණු වුණු පුරස්න නිසා. මිනිපෙට්ටියේ අවසාන ඇණය වූයේ ඇෆ්ගනිස්ථානයයි.

“We spent over $US1 trillion over 20 years. We trained and equipped with modern equipment over 300,000 Afghan forces. We lost thousands to death and injury, thousands of American personnel. They’ve got to fight for themselves, fight for their nation.” ඔය තියෙන්නේ ඇමෙරිකානු ජනාධිපති පසුගිය අඟහරුවාදා කරපු ප්‍රකාශයක්. එයිට කලින් හිටපු ට්‍රම්පච්චි මෙයට සමානම ප්‍රකාශයක් කෙරුවේ සිරියාවෙන් ඉවත් වෙන්නට තීරණය කරපු වෙලාවේ. ඔහු කියුවේ, “අපට මේ විකාර නොනවතින යුද්ධ වලින් ඉවත් වන්නට කාලයයි මේ. මේවයින් ගොඩක් ගෝත්‍රික සටන්, අපේ සොල්දාදුවන් ගෙදර එක්කන් එන්නට ඕනේ. අප ඉදිරියට සටන් කරන්නේ අපට වාසි තැන්වල” කියා.

වසර විස්සකට පසු අද, ඇෆ්ගනිස්ථානයේ බිම් වලින් තුනෙන් දෙකක් යලිත් තලේබාන් පාලනයේ කියා කියවෙනවා. කාබුල් නගරයේ වැටීම නිකම්ම කාලයේ පුරස්නයක් පමණක් යයි කියවෙනවා. අල්ලා ගත්තු රජයේ සොල්දාදුවන් වධදී මරා දමනු ලබන වාර්තා දිනෙන් දින ලැබෙනවා. ඒ අතරේම ගෙයින් ගෙදරට යන තලේබාන් අයියලා කුඩා ගැහැණු ළමුන්ගේ පටාන් වයස හතලිහ පනහ දක්වා ගැහැණුන් ඔවුන්ගේ, ලිංගික වහලියන් ලෙස අරන් යනවා යයි ද වාර්තා පළ වෙනවා.

ලෝක ගනු දෙනු වලදී එනම් බලවතුන් විසින් කරන අතපෙවීම් වලදී යම් මැදිහත්වීමක් කරන්න පිහිටුවා තියන ලොම් නොමැති බළලෙකු එක්සත් ජාතින් ගේ සංවිධානයේ වර්තමාන ලේකම් අන්තෝනියෝ ගුටරෝස් ඊයේ කියා තිබුණේ, “Even for a country that has tragically known generations of conflict, Afghanistan is in the throes of yet another chaotic and desperate chapter – an incredible tragedy for its long-suffering people,”.

අපට ඕනි විදිහට ජිවත් වෙනවා යයි කියුවට, අපගේ ජීවිතය පාළනය කරනු ලබන කොතරම් බලවේගයන් මේ ලොව තියනවාද? ඔබ හෝ මා අද ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියෙකු නම්, තෝරා ගැනීමට විකල්ප කියා මොනවාද ඉතිරිව ඇත්තේ? තමන්ගේ දුවණිය ලිංගික වහලියක් ලෙස අල්ලාගෙන යන විට, ඕනි නම් එකෙක් දෙකෙක් මරාගෙන මැරෙන්න හැකියි. සමහරවිට එයට අවස්ථාව ලැබෙන එකකුත් නැහැ. නිකම්ම මැරුම් කන්න පුළුවන්. සද්ද නැතිව ඉන්න හැකියි. අරුන් ගියපු පසුව හමුදාවට බැඳී සටාන් කරන්න පුළුවන්. හැබැයි දුවණියගේ ඉරණම ඒ කිසිවකින් වෙනස් වන්නේ නැහැ.

ඒ අතින් කොම්පියුටරයේ ඉස්සරහා ලියන අප වගේ මිනිසුන්ට ඇති පුරස්න මොනවාද? පුරස්න නැතුවා නොවේ, අප හැමෝටම අඩු වැඩි ලෙස කරදර වන්න දේවල් තියනවනේ. නමුත් සාපේක්ෂ ලෙස බැලුවාම මොනාද?

කොවින් නිසාත් ලෝකය පුරාම ජන ජීවිත උඩු යටිකුරු වී තියනවා. සමහරුන්ගේ රස්සා නැතිවුණා. තවත් සමහරුන්ගේ ව්‍යාපාර නැති වූවා. කර්මාන්ත, හෝටල, ආපන ශාලා වැසී ගියා. ඒ අතරේම සෑහෙන පිරිසක් මෙලොවත් අතහැර ගියා. එයින් මෙලොව අතහැර ගිය පිරිස්, තමන්ගේ කරදර වලින් මිදී ගොස් ඇති නමුත්, ඔවුන්ගේ සමීපතමයන්ට සමහර විට, විශාල කරදර ගොඩක් ඉතිරි කර ගොස් ඇති. මෙලොව හැර ගොස් ඇත්තේ ගෙදර බත සපයන එකම කෙනා වගේ නම්, අනික් යැපෙන සියලු දෙනාගේ ඉරණම ඔබට හිතා ගන්නට හැකිනේ.

කොහොම වුණත්, මට නම් ඇති හිටියා, මා මේ ලෝකෙට ඕනි තරම් දේවල් කර තියනවා කියා, පොර ටෝක් දෙන මිනිසුන් පවා, මෙවන් අවස්ථාවක මෙලොව අතහැර යන්නට සුදානම් නැහැ. ගොඩක් දෙනා මිනිසුන්ට බනිනවනෙ, මේ වසංගත කාලේ ගෙදර ඉන්නේ නැතිව, තෙරපෙන්නට එනවා කියා. හැබැයි, ඒ පිරිස් වලටත් තෙරපෙන්නට ඕනි තරම් හේතු ඇති. නොදැනුවත් කමත් ඉන් එක හේතුවක්. හැබැයි අනික් හේතුන් එයිටත් වඩා කියලයි මා සිතන්නේ. එයත් හරියට අර තමන්ගේ දුවණිය, තලේබාන් කාරයින් ගෙන යන්නට ආපු වෙලාවේ, තාත්තට තිබුන විකල්ප වගේ. ඒ එකකින් වත්, සැබෑ ප්‍රශ්නයට විසදුමක් නැතිය කියා දන්නවා වුවත්, වෙන කරන්නත් දෙයක් නැහැනේ.

ඕස්ට්‍රේලියාව වගේ දූපතකත්, එයිට අමතරව විශාල ජනගහණයක් නොමැති නගරයක ජීවත් වෙන්නට හැකි වීමත් නිසා, කොවින් වල තත්වය නම් මා දන්නේ පුවත්පත් හා අනෙක් මාධ්‍ය වලින් දැන ගත්තු එව්වා. මොකද වසංගත සමයේ මුල මාසයක් දෙකක් මිසක්, ඉන්පසු ඊයේ පෙරේදා වන තෙක් අවුරුද්දම මෙහෙ රෝගීන් සිටියේ නැහැ. ආර්ථිකව පසු බෑමක් වුණා තමා, හැබැයි ඕස්ට්‍රේලියාවේ තත්ත්වය, සසඳන්න හැකි (යන්තමින් හෝ සසඳන්න හැකි) අනික් රටවල් වල තත්වයට අනුව ගණන් ගන්න දෙයක් වත් නැහැ. අනික චීනයට වයින් ඕනි නැති වුණත්, යපස් තාමත් ඕනේ.

දූපතක් නිසා රටේ දේශ සීමා පාලනය කරන්න ලෙහෙසියි. එයට ආර්ථික වන්දියක් තියනවා තමා. නමුත් ගොඩබිම් බෝඩරයන් ඇති රටවල් වලට, මේ ආර්ථික වන්දිය දීලත්, එන හා යන පිරිස් පාලනය ලෙහෙසි නැහැ. ඔව් ඉතින් විසා ඕනි තමා. හැබැයි විස නැතුව කොතරම් පිරිසක් ලෝකයේ සංක්‍රමණය වෙනවද?

අනික තමා මා හැමදාමත් කියන, පෘථිවියට දරා ගන්නට අමාරු ජනගහන ඝනත්වය. මේ ඝනත්වය ඉදිරිදි තවත් වැඩි වනවා යයි ගණන් බලා තියනවා. එදා මෙන්, අද මෙවැනි වසංගතයකින් විශාල පිරිසක් (එනම් ලෝක ජනගහණයේ සැලකියයුතු ප්‍රතිශතයක්) මිය ගිහින් තුලිතයකට යාවි කියා, සමහරුන් කරන උපකල්පණ නිකම් මනස් කල්පිතයන් විතරයි. මා සිතන්නේ නැහැ එහෙම වෙන්න ඉඩක් අද ඇතිය කියා.

එහෙම වුවත් තනි මිනිසුන් වශයෙන් හා සමූහ වශයෙන් අපගේ ඉදිරි අනාගතය ගැන සිතන්නට මිනිසා පෙළඹෙයිද? හරි නම් එහෙම සිතන්නට මෙය හොඳ අවස්ථාවක් නේ. හැබැයි එහෙම වන්නේ නැහැ. ගොඩක් දෙනා සුපුරුදු ජීවිතය ගෙවන්නට එන දිනය මොකක්ද කියා ඇඟිලි ගණන් කරනවා.

ඒ අතරේම සමහර පිරිසක් වෙනස්ම ජිවන විළාසිතා සොයා නගර වලින් ගමට සංක්‍රමණය වනවා යයි ප්‍රවුර්ති වෙනදට වඩා අසන්නත් ලැබෙනවා. අඩුම වශයෙන් මෙහෙ වත්. තාක්ෂනය අනුව, වැඩ කරන තැන කොතන වුවත් සමහර රැකියා වලට ප්‍රශ්නයක් නොවීම එක හේතුවක්. අනික මෙවැනි තත්වයකදී වුවත්, තමන්ගේ සුපුරුදු ජිවන රටාව එවැනි පරිසරයකදී වුවත් පවත්ව ගෙන යන්නට හැකි වීම. එයිට අමතරව තමන්ගේ ඥාතීන්ට සමීප, අඩු වියදම් පරිසරයක ජිවත් වෙන්න හැකි කම යනාදී වශයෙන් එකිනෙකට වෙනස් ගොඩක් හේතු තියෙන්න පුළුවන්. ඇමෙරිකාවේ ගුගල් වැනි සමාගම් ගෙදර ඉඳන් වැඩ කරන්නට තෝරා ගන්න අයට, පඩියෙන් කොටසක් අඩු කරන්න යෝජනා කර තියෙන්නේ, අර සාධකත් සැලකිල්ලට අරන්.

ලෝකයේම රටවල් අතරින් ඕස්ට්‍රේලියාව වැනි රටක ජනගහන තුනීකමත්, දුපතක් වීමේ වාසියට එකතු වූවා කියා අප දන්නවා. පහත ප්‍රස්ථාරයේ ඇති රටවල් විස්සෙ තියෙන්නේ, සාපේක්ෂව වැඩි ජනඝනත්වයක් ඇති ඒවා. එතන උඩම තියෙන්නේ ඕනි, චීනය විස්සට නැත්තේ මොකද කියාත්, ඉන්දියාව සාපේක්ෂව පහල තියෙන්නේ මොකද කියා ඔබ හිතනවා ඇති. මෙතැනදී අප බලන්න ඕනේ, වාර්තා වන කොවින් මරණ හා ඇත්ත කොවින් මරණ අතරත් යම් පරතරයක් තියෙන්න පුළුවන් කියා. ඇමෙරිකාවේ වගේ නියම දත්ත රුසියාව හෝ චීනය වගේ රටක එලියට වැටෙනවා යයි මා විස්වාස කරන්නේ නැහැ. අනික තමා සංචරණයට ඇති පහසුකම්, හේතු, දේශසීමා අතර තියන බැඳීම් හෝ ලිහිල් කම් රටවලින් රටවලට වෙනස් වනවා. එසේ වුවත්, එම ප්‍රස්ථාරය ප්‍රවණතාව පෙන්වනවා යයි නම් මා හිතනවා.

අනික් කරුණ නම්, මෙවැනි වසංගතයකදී ලෝකයේ එකිනෙක රටවල් සංසන්දනයත් ගොන් පාර්ට් එකක් විතරයි. විචල්‍ය ගොඩාක් තියනවනේ. දෙකම දූපත් වන, ජනගහණය නිකම්ම සංඛ්‍යාවක් ලෙස ගත්තොත්, ලංකාව හා ඕස්ට්‍රේලියාව එක වගේ. ඒත් ජනඝනත්වය බැලුවොත්, මේ රටවල් දෙක අහසයි පොලවයි වගේ. එතකොට අනික් විචල්‍යයයන් වන ආර්ථිකය, මිනිසුන් හැසිරෙන හැටි හා සමාජයේ සංචරණය වන්නට තියන හේතු කාරණා, මිනිසුන්ට තියන ප්‍රවාහන හා වෛද්‍ය පහසුකම්, කන්න තියන ආහාර, ඒවා ලබා ගන්නට තියන අතේ හැකියාව, රජයේ සුබසාධන පියවරයන් හා ඒවාට වියදම් කරන්න තියන හැකියාව, දේශපාලන හා පරිපාලන නායකත්වයේ තේරීම් වගේ දිග ලැයිස්තුවට තවත් දේවල් එකතු කරන්නට හැකියි.

ඉතිං ඔය ලයිස්තුවේ ඕස්ට්‍රේලියාව ඉන්නේ අගට තියන රටවල් ටිකේ. මෙහි මරණ සංඛ්‍යාව ගත්තොත්, එතරම්ම ජනගහනයක් ඉන්නා ලංකාවේ, ලක්ෂයකට මරණ වලට වඩා හය ගුණයක් වගේ අඩුයි. මෙවැනි සංඛ්‍යා ලේඛන වලින් ආතල් ගැනීමෙන් හෝ කනගාටු වීමෙන් සාමාන්‍ය ජනයාට ඇති සුගතියක් නැහැ.

හැබැයි එහෙම කියුවත්, බංග්ලාදේශය වගේ රටක් එක්ක සංසන්දනය කරත්දී, ලංකාව ඉන්න තත්ත්වය එතරම් හොඳක් නැහැ. අප පොඩි කාලයේ, ලෝකයේ දියුණු රටවල් හා එක්ක සංසන්දනය කරන්න හැකි සෞඛ්‍ය සේවාවක් හා සෞඛ්‍යය ගැන දැනුමක් ඇතිව සිටියා යයි කියූ ජනකායක්, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී අවට රටවල් සමග පමණක් නොවේ, ලෝකයේ ඕනිම රටක් එක්ක සංසන්දනය කෙරුවත් ඉදිරියෙන්ම හිටි රටක් නිසා, අද තත්ත්වය ගැන වඩාත් කණගාටුවක් ඇතිවනවා.

අපගේ පාසල් අවසාන කාලයත් ලංකාව දරුණු වසංගතයකට මුහුණ දී තිබුණා. සිය දහස් ගණන් පාර දෙපස බලු කපුටන් මෙන් මිය ගියා (මරා දැමුණා). සමහර ඥාතින්, තමන්ගේ සමිපතමයාගේ පිච්චෙන දේහය හඳුනා ගත්තත්, එය ගෙදරට අරන් ගිහින්, වත් පිලිවත් අනුව භුමදානය කරන්න අවසරයක් තිබුනේ නැහැ. හරියට අද කොවින් හැදිලා මැරෙන පිරිස් වගේ.

මෙම මියයාම් (මරා දැමීම්) ගැන සංවේදී නොවූ ජනකායක්, වෙනත් වසංගතයකට සංවේදී වේවිද? සංවේදී වීම කියා මා කියන්නේ, ඒවාට සෘජුවම සම්බන්ද පුරසිද්ද කිසිවෙකුට එරෙහිව හෝ මහජන මතයක් ඇති නොවීම. ඔවුන්ගෙන් අදත් සමහරුන් තමන්ගේ නියෝජිතයන් ලෙස පත්කර ගන්න, ජනතාවකට කොවින් කරන හෝ කරපු හදියක් මතක හිටීවිද?

අන්තිමට කවදත් වගේ සටහන ලංකාවෙන්ම ඉවර වූවා. මගේ ඥාතීන් පමණක් නොවේ සියලුම දෙනා, තමන්ගේ ආරක්ෂාව, තමන්ම සොයා ගන්න හැකි අයුරින් කටයුතු කරාවි යයි මා සිතනවා. එයට අවශ්‍ය දේශපාලන හෝ පරිපාලන හා විද්‍යාත්මක නායකත්වයක් නැති වීම නම් මෙවැනි මොහොතක හරිම අවාසනාවක්.

ප්‍රස්ථාර ගත්තේ: https://coronavirus.jhu.edu/data/mortality

3 Comments

Filed under Health, Social

3 responses to “අද සැණකෙළියේ වල්මත්වීලා

  1. Anonymous

    මේක කියවන්න පටන් ගත්තා.
    https://en.m.wikipedia.org/wiki/The_Afghan_Campaign

    ඊට ඉස්සෙල්ලා කියෙව්වෙ
    https://en.m.wikipedia.org/wiki/Flashman_(novel)
    පලවෙනි එක සීරියස් ෆික්ශන්, දෙවනි එක a humorous take. දෙකම එක සබ්ජෙක්ට් එක හැබැයි හුගාක් වෙනස් කාලවල

  2. pajayatunga

    https://stevenpressfield.com/books/the-afghan-campaign/
    කියවන්න පටන් ගත්තා .
    ඊට ඉස්සෙල්ල කියෙව්වා
    https://en.m.wikipedia.org/wiki/The_Flashman_Papers
    එකක් සීරියස් ෆික්ශන්, අනික a humorous take.
    දෙකම එකම සබ්ජෙක්ට්, හුගාක් වෙනස් කාලවල.
    ඊටත් හුගාකට පස්සෙ සෝවියට් රුසියාවයි, ඊට පස්සෙ ඇමරිකාවයි got in to the same mess.
    Alexander came off a bit better than the subsequent guys.

  3. කළකට පෙර මා කියෙව්වා, අර මා කියපු ඇෆ්ගනිස්ථානයේ නැවතුන සෝවියට් සොල්දාදුවෙකුගේ ජිවිත කතාව. එය නම් සත්‍ය කතාවක්. හැබැයි ඔහුගේ කතාවේ අවසානය මොකක් වුණාදැයි දන්නේ නැහැ. ඉතිහාසය කොහොමත් නැවත දිග හැරෙනවනේ ප්‍රා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.