Category Archives: Agriculture

අ-කාබනික ලෝකය!


තමන් ළඟ ඉන්න සතුරන් අමතක කර ඈත, නොපෙනෙන ලොවක ඉන්න බිල්ලන් මවා ගැනීමට අප වැනි සාමාන්‍ය මිනිසුනුත් කැමතියි. වෙනත් අරමුණු ඉටු කර ගන්න බිල්ලන්,  අපට මවල දෙන වෙනත් කාණ්ඩයන් ද සමාජයේ ඉන්න නිසයි මා එහෙම ලියුවේ.

ලෝකයේ ආහාර නිෂ්පාදනය වැඩිවීම නිසා, ඇතිවුණු අතුරුඵලයක් තමා අධික ජනගහණයක්  බිහිවීම. එයට එනම් ජනගහණය විශාලව වැඩිවීමට හේතුවූ අනික් කරුනුත් ආහාර නිෂ්පාදනය වගේම මනුෂ්‍යයා ගේම වැඩ. ඒ වගේම සමාජයේ ඉන්නා, ඉහල මධ්‍යම පාන්තිකයන්ගේ ගණනද පසුගිය දශක කිහිපය තුල ඉහල ගියා. අන්න ඒ කාණ්ඩයේ  ඇතිවූ ඉල්ලුමක් සපුරාලීමට බිහිවූ එක කර්මාන්තයක් ලෙස, කාබනික කෘෂිකර්මාන්තය සලකන්න පුළුවන්.

එමගින්, කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසකටත්, වෙනත් විදිහකට ලබා ගන්න නොහැකි විදියේ ආදායමක් ලබා ගැනීමටත් අවස්ථාව උදා වුණා. මෙවැනි නිෂ්  මාර්කට් වලට අදාළ සීමාවක් තියනවනේ. අප වැනි සාමාන්‍ය ජනයා මේවා ගැන ලතැවීම නිකම් ගොන් පාර්ට් එකක් විතරයි.

මෙවැනි මාර්කට් ඇස්බැන්දුම් වලින් කනා වැටුණු සාමාන්‍ය ජනයා, අධික නිෂ්පාදන වියදමක් සහිත, කුඩා පරිමාණයෙන් කරන, දැන ගන්නට තරම් පෝෂ්‍ය ගුණාංග වලින් ඉහලත් නැති, අඳුරේ ඉන්න කළු බල්ලෙක් වැනි කාබනික ආහාර පසුපස සිහිනයෙන් වගේ හඹා යන්න තැත් කිරීම් අපට විවිධ රටවලින් අහන්නට ලැබෙනවා. මා හිතන්නේ උපන් රට වන ලංකාවත් ඉන් එකක්. එවැනි පිරිස්, මට සිතෙන අන්දමට පස්ස බිම ඇනගත් පසු පියවි සිහියට එනු ඇති.

ලෝකයේ කාබනික යයි කියන ආහාර වගා කරන හෙක්ටයාර මිලියන පනහක් වගේ ගණනින් භාගයක්ම වගේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. හැබැයි ඕස්ට්‍රේලියාවේ මුළු වගා වපසරියෙන් එය ඉතා කුඩා කොටසක්. ලෝකයේ මුළු වගා වපසරියෙන් කාබනික යයි කියන කෘෂිකර්මාන්තයේ නියැලෙන වපසරිය ගත්තොත් එය 1% වගේ කුඩා ප්‍රමාණයක්. ඕස්ට්‍රේලියාවේ කාබනික යයි කියන වගා බිම් වලින් වැඩිහරිය, මනුෂ්‍යයාගේ ආහාර සඳහා වවන බෝග වලට නොවේ, එව්වා තණබිම්.

තව දත්ත වලට යන්න හැකියි. එය තේරුමක් නැහැ. මා එදිනෙදා ජිවිතයේ කාබණික  ආහාර සොයනවද නැතිද? මා නම් කිසිදා කාබනික යයි කියන ලේබල් වලින් එන ආහාර මිලදී ගන්නේ නැහැ. මිලත් අධික, සොයන්නත් අමාරු, ගෙවන අමතර මිලට, ඇති අමතර ප්‍රයෝජනයකුත් නැති, ඔවැනි දේවල් ගැන මා වෙහෙසෙන්නෙත් නැහැ. කරන්නත් බැහැ.

සම්ප්‍රදායිනුකූලව වවන, එනම් කෘෂි රසායන, පොහොර භාවිතා කරන නිෂ්පාදන වල, එම දේවල් වල ශේෂ තියෙන්න හැකියි. විශේෂයෙන් එම දේවල් අවභාවිතා කරන විට. අද කෘෂි රසායන අවභාවිතා කරන රටවල් අතර දියුණු වෙමින් පවතිනවා යයි කියන රටවල් මුලින්ම ඉන්නවා.

පසු වදන

ෆේස් බුක් එකේ හුවමාරු වන දේවල් අතර තිබුණු බටහිරින් ලංකාවට එවන ඇපල්  ගැන සඳහන් කරුණක් ගැන කෙනෙක් මගෙන් ඇහුව. එය නම් එම ඇපල් වල ඇති කුඩා ස්ටිකරයේ සඳහන් සංඛ්‍යා ගැන කර තියන දැනුවත් කිරීමක්. කෙටියෙන් සඳහන් කලොත් අංක හතරෙන් පටන් ගන්න සංඛ්‍යා තියන්න එව්වා අධිකව රසායන ගහපුවා, කන්න හොඳ අංක නමයෙන් පටාන් ගන්න එව්වා විතරයි කියා.

මේ අංක වල කතාවක් තියනවා. එම අංක PLU කෝඩ් යනුවෙන් හැඳින්වෙනවා. මේ ඛේත හඳුන්වා දී තියෙන්නේ The International Federation for Produce Standards (IFPS)  යන ආයතනයයි. මොකටද කියනවා නම්, //PLU codes are 4 or 5 digit numbers which have been used by supermarkets since 1990 to make check-out and inventory control easier, faster, and more accurate.//

එතකොට අර කියන විදිහට හතරෙන් පටන් ගන්න ඇපල්  කන්න හොඳ නැතිද? නමය  තියන එව්වා සොයන්න යන්න ඕනිද? මුල ඉලක්කම නමය දමන්නේ මා මුලින් කියපු කාබනික යයි කියන ක්‍රමයට වවපු ඇපල් වලට. සාමාන්‍ය පළතුරක් වන අප කන ඇපල්  ගන්න සුපර්මාකටයට ගියහම, ඔය කියන කාබනික ඇපල්  මෙහෙ වත් ලොකුවට තියනවා මා දැකල නැහැ. තියන එව්වාත් සාමාන්‍ය ඇපල් වලට වඩා ගණන්. කාබනික කියන්නේ එයනේ.

සාමාන්‍ය එළවලු, පළතුරු වලට අත පොවන්න බැරි, ජනයා වැඩිපුර ඉන්න රටක, තව එයටත් ඉහළ ආදායම් ඇති උදවිය සොයන කාබනික දේවල් වවා, විකුණා ගන්න බැරිව අඬන පිරිස් ඔබත් දැක ඇති.

 

 

Advertisements

6 Comments

Filed under Agriculture, Opinion