Category Archives: Anniversary

එක හිත දෙතැනක නතර වෙලා?


මා සටහනක් ලියා ඇති වැඩිහිටියන් විසින් තමන්ගේ ළමා කාලය, අද ළමයින්ගේ ජීවිතය හා සසඳා හොඳ හෝ නරක කියන හැටි. ගොඩක් වෙලාවට නරක. එනම්, එදා ගත්තු ආතල් අද ළමයිනට නැහැ කියා. ඔය කුරුම්බැට්ටි මැෂින්, පොල් පිති හරක් හා වලකජු ගැහීම වගේ දේවල් නැතුව, ස්මාර්ට් ෆෝන් බලමින්, කොම්පියුටර වල කරක් ගහමින් ඉන්නවා කියා.

අන්න එවැනිම සැසඳීමක් තමා මා හිතන්නේ, මා වැනි සංක්‍රමණිකයෙක්, ඉපදුන පරිසරයේ ඉන්න කෙනෙක් ගේ ජීවිතය හා තමන්ගේ ජීවිතය සැසඳීම හා එහි අනෙක් පැත්ත වන, ඉපදුන රටේම දිගටම ඉන්න කෙනෙක්, තමන්ගේ ජීවිතය හා සංක්‍රමණික ජීවිතය සැසඳීම. සසඳා එකක් හොඳයි, අනික නරකයි කීම. මේ අවස්ථා දෙකේදීම, අර ළමා කාලය වගේ, දෙවගයක වැඩ කරන්නේ එකම මිනිහා නොවන නිසා, එවැනි දෙයක තියන ඵලදායිත්වය හරි අඩුයි.

ඒ වෙනුවට කොහේ හිටියත්, අප අත්දකින දේවල් වල සමානත්වය, මුහුණ දෙන ප්‍රශ්න වල තියන සමානත්වය හෝ දේවල් රසවිඳින හැටියේ තියන සමිපකම ගැන සිතීම වඩාත් ඵලදායකයි. ඒ මගේ සිතිවිල්ලක් විතරයි.

මේ දිනවල හඳට ගිය පළමු ගමනේ අර්ධ ශතකය සමරන නිසා ඒ කතා හැම තැනම ඇසෙනවා. අද මා බලපු බ්‍රයන් කොක්ස් ගේ ඉන්ටර්විව් එකක, එයා කියුව දෙයක් තමා, ඔහු හැමවිටම වෙහෙසෙන්නේ ස්වභාව ධර්මය කියන්නේ මොකක්ද, එය හැසිරෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න උත්සහ කිරීම කියා.

ඔහුත්, විශ්වය තේරුම් ගන්න (අපට වඩා හැකියාව ඇති) තවත් මිනිසුන් කියන දෙයක් තමා, මිනිසා හැමවිට උත්සහ කරන්නේ තමන්ගේ වටපිටාව තේරුම් ගන්නය කියන එක. ඔවුන්ම කියන දෙයක් තමා, මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ නොනැසී පැවැත්මට, අනිවා ඩෙපා මේකෙන්, ඒ කියන්නේ පෘථිවියෙන් එළියට යන්න වෙනවා කියන එක.

අපගේ ජිවිතයම හරියට සිතා බැලුවොත්, ඉබේ එහෙම නිර්මාණයක් වුනේ කොහොමද? අපගේ ශරීරය කොතරම් සංකීර්ණ පද්දති ගණනාවකින් ගොඩ නැගෙන්න අවුරුදු බිලියන ගණනක් ගියා තමා. නමුත්, ඉබේම එහෙම දෙයක් නිර්මාණය වීම කොතරම් ආශ්චර්ය ජනක දෙයක් ද?මෙහෙම සිතන්නට හෝ අපට ඉඩක් එන්නේ නැහැ. බ්‍රයන් ලා වගේ ඒ ගැන සිතීම තමන්ගේ ජිවිකාවත් හා විනෝදාංශයත් කර ගත් අය වගේ නොවේ, සාමාන්‍ය අපට එවැනි දේ සිතන්නට හැකි බුද්ධියත් එපමණට නැහැ, අනික් අපගේ ජීවිතය පවත්වාගෙන යන්න පොරබැදීම යන කරුණ තියන නිසා, ඕවට වෙලාවකුත් නැහැ.

සංක්‍රමණික ජීවිතය ගැන මා යලි ලියුවොත්, එහෙම නොවන කෙනෙකුට දැනෙන ගොඩක් අඩුපාඩු නැත්නම් මිස් වෙන දේවල් ගොඩක් තියෙන්න හැකියි. මේවා එකිනෙකාට දැනෙන්නේ වෙනස්ව. මගේ සටහන් වල යන්තමින් මට දැනෙන හැටි ලියා ඇති.

මේ සටහන් ලිවීමට පටාන් අරන් දැන් වසර අටක් ගෙවී අවසන්. මෙහි අද මා සිතන විදිහට එකඟ නැති ගොඩක් සටහන් තියනවා.

3 Comments

Filed under Anniversary, Lifestyle, Migration, Nature