Category Archives: Australia

ජීවිතයේ “ඉතිරිය” හා තවත් කතා!


IMG_2039 (2).JPG

නිවසේ දොරට තට්ටු කළ  විට, අපට දොර ඇරියේ ගෘහයේ කාන්තාවයි. ඇය මාත් එක්ක ගිය අයගේ ඥාතියාට හග් එකකුත්, මගේ අත්දෙක අල්ලලාත්, වරෙල්ල ඇතුලටම කියමින් අපව පිලි ගත්ත.

මට කලින්ම කියා තිබුන පරිදි විසිත්ත කාමරයේ බිත්ති පුරාම තිබුණේ, ඔවුනගේ ජිවිතයේ විවිධ අවස්ථාවල ගත්තු ඡායාරූප. පිටත තිබුන ගරාවැටීමේ පෙනුම ඇතුලත නැහැ. නිවස පරණ වුවත්, මා කැමතිවට වඩා බඩු (ගෘහභාණ්ඩ හා තවත් දේවල්) වලින් ගහණ  වුවත්, කැපී පෙනෙන ලක්ෂණයක් වුනේ, ක්‍රමවත් බව හා පිරිසිදු කමයි.

නිවසේ පිරිමියා, එනම් මාත් එක්ක ගිය කෙනාගේ ඥාතියා, කරපු සැත්කමකින් සුවය ලබමින් ඉන්නේ. ඔහුට එතරම් දුරක් තවම ඇවිදින්නට බැරිය කියුව. නමුත් සීග්‍රයෙන් නැවත, තම පුරුදු දිවියට යන්න උත්සහ කරන වග ඔහු කියුව. නිවසේ කාන්තාව, ඉතා ප්‍රියමනාප කෙනෙක්. දෙන්නම වයස අසුගණන් වල කියා, ආපසු එන අතරමග මා දැන  ගත්ත.

IMG_2034 (2)

ඉන්න, මා තේකක් හදන්නම් කියා, පොඩි කතා බහකින් පසු අපට තේ මේසයට එන්න කියන ගමන් කාන්තාව කියුව. තේ මේසයේ තිබුණේ, පළතුරු කේක් එකක්, චොකලට් රෝල්, චීස් සමග බිස්කට්, චීස් තක්කාලි යොදා, ඇට සහිත පාන් වලින් හදපු සැන්ඩ්විච්, මිදී, කපපු කොමඩු වගේ දේවල්.

තේ බොන අතරේ ඔවුනගේ පරණ විස්තර වලින් සමහරක් කියුව. එකක් තමා ඒ කුඩා නගරයේ ඉස්සර තිබුන බේකරිය ඔවුනගේ කියන එක. ඒ කාලේ පාන් හැදීම අද වගේ, නොවේ කලාවක් කියා කියුව. ඒ කියන්නේ ඉස්සර පාන් හැදීම කියන්නේ, කාලය ගතවන, කෙනෙකුගේ අනන්‍ය ලක්ෂනයකුත් පාන් ගෙඩියේ තියන, පැය අටක් හෝ එයිට වැඩි කාලයක් පිටි අනල තියා හදන දෙයක් කියා.

දැන් එන කම්හල් පාන් වල පිටි ඇනීමෙන් පැයකට පසු පාන් පිළිස්සීම නියම පාන් හැදීමක් නොවන වග තමා ඔහුගේ මතය වුනේ. අද පැය 24ම ගන්න තියන පාන් කියන්නේ, ඔහු කියන කතාව විතරක් නොවේ, ඔහුගේ කාලයෙන් පසු සමාජයේ හා මිනිසුන්ගේ  ජිවන විලාසිතාවේ පොදු වෙනස්වීමයි.

IMG_2040

ඔවුනගේ කෑම මේසය ඉදිරියෙන් වීදුරු කැබිනෙට්ටුවක්.  එම කාමරයේ සෙටප් එක, අප ලංකාවේ දකින සාමාන්‍ය නිවසක දකින දසුනට ගොඩාක් සමීපයි. හැබැයි එතන තිබුන පිරිසිදු කම වෙනස් එකක්.

ඔවුන් දරුවන් දෙදෙනෙකු ලොකු මහත් කර තියනවා. දැන් පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන දුව, ගෙදරින් ගිහින් තියෙන්නේ වයස 18-19 කාලේ. ය දැන් සේවය කරන්නේ, ඇබෝරිජිනල් ජනතාව බහුල දුර පළාතක. කුඩා කලේ ඉගෙනීමට දක්ෂ පුතා ගේ ජීවිතය එයිට වෙනස්. ආතතිය හා වෙනත් හේතු නිසා, ඔහුගේ ජීවිතය එතරම් “සාර්ථක” වෙලා නැහැ. ඔහු ඉන්නේ, ගෘහනියගේ නංගිගේ නිවසේ කියා දැන  ගන්න ලැබුණා.

තව මාස දෙකින් දුර ඉන්න දුව බලන්න යන්න ගමනක් යොදාගෙන තිබුනත්, ගමේම ඉන්න පුතා සමග ඔවුනගේ සඹදතාවය ගොඩක් හොඳ නැහැ. මා දැන  ගත්තු පරිදි, එම පියා දරුවනට කුඩා කළ තරමක් “තදට”හිටිය කෙනෙක්.

IMG_2035 (2)

මෙය වෙනම කියවන්න හැකි වුවත් පෙර සටහන ඉතිරිය පසුව යන මැයෙන් පළවිණ.

පසු වදන

මා මේ කතාව ලියුවේ, ලෝකයේ කොතැනක ඉපිද හැදී වැඩුනත්, මනුෂ්‍යයන්ගේ ජිවිතයේ තියන පොදු ප්‍රශ්න, එනම් අප ජිවිතයේ මුහුණ දෙන දේවල් වල තියන සමාන කම පෙන්වන්න.

ලෝකයේ සමහරුන් බලාගෙන ඉන්නවනේ කඩා වැටෙන කම්. මා මේ කියන්නේ ලිබරල්වාදය, බටහිර ප්‍රජාතන්ත්‍රවාදය, වෙළඳපොල හා තවත් දේවල්. මේවා කවදද කඩා වැටෙන්නේ කියල විතරක් නොවේ, කවද හරි කඩා වැටේවි යයි සිතමින් පිරිසක් ඉන්නවා.

හැබැයි අහල බලන්න, එයාල හිතන ගොඩ නැගීම මොකක්ද කියලා. එයට උත්තර ඔවුනට නැහැ. හා හේ හූ  ගගා ඉඳීවි. මේක නියම කාලකන්නිවාදයක් කියල තමා මා හිතන්නේ. ඔය සමාජය කුණු වෙලා කඩා වැටෙන කම් බලා ඉන්න පිරිස් වලට අවශ්‍ය, උත්තර නම් නොවේ. උත්තර ඔවුන් ගාව ඇත්තෙත් නැහැ. ඔවුනට අවශ්‍ය, තොරොම්බල් කරන්න ප්‍රශ්න පමණයි.

බටහිර පවුල් ජිවිත කඩා වැටිලා, දෙමාපිය-දූදරු  සම්බඳතා නැහැ, පවුල් සංස්ථාව බිඳ වැටිලා කියමින් මෝඩ ආතල් ගැනීම ගැන අප කනගාටු හෝ පුදුම වන්නට අවශ්‍ය නැහැ. මේ කතා  කියන මොවුන් ගොඩක් දෙනාගේ ජීවිතවල වත් එහෙම දේවල් නැතිය කියාත් උපකල්පනයක් කරන්න මා පැකිලෙන්නේ නැහැ. පැදුරේ ඉන්න කොට වැටෙන්නට තැනකුත් නැහැනේ.

පසුම පසු වදන

පින්තූර  හෙට ඔබන්නම්.

අද අප්‍රේල් 12 හවස දමා ඇති ඉහත පින්තූර සියල්ල, ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශික  කුඩා නගරයක දී ගත්තු, ඒවායේ පොදු ස්වභාවය පෙන්වන ඒවා. කලින් සටහනේ ඉකෝ ගේ කොමෙන්ටුවෙන් පසු යොදන්නට හිතුන. මේ නගරයත්, ඕස්ට්‍රේලියාවේ දාහත් වන සියවසේ, මැද  භාගයේ පටන් වගේ පටන් ගත්තු ගෝල්ඩ් රෂ් එක කාලේ, සමුර්ධිමත්ව පැවති, අද ඉතා කුඩා ජනගහනයක් ඉන්න එකක්.

පළමු චායාරූපයේ වම් කොනට තියන ගොඩ නැගිල්ල, තනලා තියෙන්නේ 1878 දී.

 

 

 

6 Comments

Filed under Australia, Opinion