Category Archives: Education

කොත්තු!


දැනට වසර කිහිපයකට කලින්, මගේ මිතුරෙක් ලංකාවේ ඉන්න ළමයෙකුට පොඩි උදව්වක් කරන්න හැකි නම් කියා, විස්තර එව්වා. මා අම්මට හැකි හැටියට ගාණක් යවා එය ගිහින් දෙන්න කියුවා. ඒ ළමයා හදිසි අනතුරකින්, සම්පුර්ණයෙන් චාලක හැකියාව නැතිවුන කෙනෙක්. ඒ කියන්නේ පැය 24 ම කාගේ හරි උදව්වක් අවශ්‍යයි.

අම්ම ගිහින් ඇවිත් මට කියුව කතාව නිසා මා කළකිරුණා. ඒ ළමයාගේ තාත්ත තමයි ලමයව බලා ගන්නේ. ඔවුන් කොළඹට දුර බැහැර කට්ටියක්. දැන් ඉන්නේ බස්නාහිර පළාතේ. තාත්ත දැන් ගෙයක් කුලියට අරන් තව ගැහැණු මනුස්සයෙකු සමග ඉන්නවා. කසාද බිරියත් ඔවුන්ගේ ගමේ ඉන්නවා. මා හිතන්නේ ළමයා ගේ කටයුතු වලට කියා එකතු කරන මුදලින් තමා, මේ ලයිෆ්ස්ටයිල් එක නඩත්තු කරන්නේ.

මෙම කතාවේ ඇතුලත තවත් කතා ඇති. නමුත් සාමාන්‍යයෙන් වෙන දේවල් නේ. එකම දේ, අනුන්ගේ ෆන් ලයිෆ්ස්ටයිල් නඩත්තු කරන්න නම් මට දායක වෙන්න කිසිම වුවමනාවක් නැහැ.

දුප්පත්කමත් හැම වෙලේම නැති වුවත්, ජිවන විලාසිතා හා තදින්ම බැඳී තියන දෙයක්. අප වුවත් මහා පොහොසත් මිනිසුන් නොවේනේ. අපගේ ජීවිතය මේ අන්දමින් පවත්වාගෙන යන්න, අප හැමදාම යම් වීරියක් යොදනවා.

මිනිසුන්ට සුබසාධන විදිහට දිගින් දිගටම අත දෙන්න වෙනවා නම් එතන අවුලක් තියනවා. අතපය නැතිව වැඩ කරන්න බැරි කෙනෙක් නම් හෝ වෙනත් සෞඛ්‍ය හෝ මහළු වීම නිසා හෝ වැඩ කරන්න බැරි අයට, අප සමාජයක් වශයෙන් යම් දායකත්වයක් දෙන්න ඕනි නේ. ඒ වගේම තාවකාලිකව රැකියා නැතිවුන විට, රැකියා දිවිය පටන් ගන්න උත්සහ කරන තරුණ ළමුනට උදව් අවශ්‍යයි.

නමුත් ගොඩක් මිනිසුන් මේ වගේ දේවල් අපයෝජනය කරනවා. මා දන්නවා ළමුන්ගේ කටයුතු වලට කියා දෙන මුදල් අරන්, තමන්ගේ ලයිෆ්ස්ටයිල් නඩත්තු කරන, මෙහෙ සමහර අඩු අදායම් ලබන මිනිසුන්, දරුවා පාසල් එවන්නේ, පාන් කෑල්ලක් එක්කවත් නොවේ. ළමුන් ඉන්නවා කියන එකවත් ගානක් නැතුව ඇති. දරුවෙක් ලොකුමහත් වීමෙන් පසු දෙන ගාන, අඩුවෙන විට සමහරවිට තව ළමයෙක් හැදීමට මතක් වෙනවත් ඇති.

දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කිරීම මා දකින්නේ ආයෝජනයක් ලෙස. එමෙන්ම අප දරුවන්ටත් කියාදෙන්න ඕනේ, හැමදාම සුබසාධනයෙන්ම දිවි රැක ගන්න උත්සහ නොකරන්න ඕනි කියන එකත්.

නූගත්කම හා දුප්පත්කම ගොඩක් වෙලාවට එකටම යන දෙයක්. මා කලිනුත් ලියා ඇති, දරුවෙක් හෝ දෙදෙනෙක් හදන මධ්‍යම පාන්තිකයන්, ජාතිය බේරා ගනිව් කියා, දුප්පත් අයට පැටවූ ගහන්න කියා අඬබෙර ගසන හැටි. ඔවුන්ම සමහරවිට, දරුවන් හත් අට දෙනා ඉන්න දුප්පත් පවුල් වලට උදව් කරන්න කියාත්, ඊළඟට අඬබෙර ගහනවා. මේ බටහිර රටවල් වලට ඇවිත් ඉන්න, අපේම අයත් මෙය කරනවා.

මෙතැනදී ජාතිය බේරා ගන්න හැකි වැඩි වැඩියෙන් පැටවූ ගැහීමෙන් නම්, එයට වඩාත් සඛ්‍යතාවය තියෙන්නේ, මධ්‍යම පන්තියේ ඔවුන්ටමනේ.

අප සුබ සාධනයට යලි ගියොත්, ගොවියන්ට පොහොර මහජන මුදල් යොදා අඩුවට දීමෙන්, බලාපොරොත්තු වනවා ඇත්තේ, ඔවුන් සිතා බලා, විකුණා ගන්න හැකි දෙයක් වවල, ඉන් ජිවත් වෙන්න අදායමක් ලබා ගන්න අතරේ, රටේ ආහාර සුරක්ෂිතතාවයත් රැක ගනීවි කියන එකනේ.

මෙතැනදී සුබසාධනය ලබන්නා අතේ යම් වැඩ කොටසක් තියනවා. ඒ කියන්නේ තමන් නිෂ්පාදනය කරන දේ විකුණා ගන්න හැකි දෙයක් ද කියා, යම් ගණන් බැලීමක් කරන්න අවශ්‍යයි නේ. එතැනදී යම් නිර්මාණාත්මක බවක් අවශ්‍යයි.

මගේ ලින්කු බලන පිරිස අඩුවුවත්, මේ වීඩියෝවත් බැලීමට මා ආරාධනා කරනවා. මේ කතාව, මා කියන්න හදන දෙය වඩාත් හොඳින් කියනවා.

What a place to have a shop and what a view! 🙂

Advertisements

5 Comments

Filed under Careers/Employments, Education