Category Archives: Health

ප්‍රණීත බද්දක්?


උදේ හතහාමරට වාහනයෙන් බහින විටම, එතනින් ගියේ අල්ලපු ගෙදර නෝනා. එයා බල්ලන් දෙදෙනා සමග ඇවිදින්නට ගිහින් එන ගමන්. බල්ලන්ව ඇවිද්දුවේ නැත්නම්, උන් තරබාරුව ගොස් ලෙඩ හදා ගන්නවා. බල්ලන් සමග ඇවිදින්නට යාම මගින්, මිනිසුන්ද ව්‍යායාම් කර ගන්නවා. නිකම් තනිවම යනවාට  වඩා බල්ලෙකු සමග යාම ආරක්ෂාවටද හොඳයි. තනියටද හොඳයි.

බල්ලන් තියා, තමන්ව බලා ගන්න වෙලාවක් නොමැති කට්ටිය අතර ඔබත් ඉන්නවද? උදේ වැඩට යන අතර රේඩියෝවේ ගියේ ඕස්ට්‍රේලියානු ජාතික සරසවියේ මෙන්න මේ පර්යේෂණය ගැන ප්‍රවුර්තියක්.  කියවෙන්නේ වයස අවුරුදු 25 ත් 54 ත් අතර ඕස්ට්‍රේලියානුවන්ගෙන් පහකින් එකෙක්ට ව්‍යායාම වලට හෝ සෞඛ්‍යමත්ව කෑමට වෙලාවක් සොයා ගන්න බැරිය කියා.

දුප්පත්කම හා සෞඛ්‍යය අතර තියන බැඳීම ගැනත් මේ අධ්‍යයනය කියනවා. එයට අමතරව සතියකට පැය 70ක් ඔබට වැඩ සඳහා බැඳීම් තියනවා නම්, ඔබ වේලාවෙන් දුප්පත්. මේ කියන්නේ වැඩ කරන, ගමනාගමනයට හා වෙන අය  වෙනුවෙන් ගත කරන්න වෙන වෙලාවල් සේරම ඇතුලත්ව.  ආර්ථික දුප්පත්කම බොහෝ විට වෙලාවේ දුප්පත්කම හා බැඳී තියනවා. නමුත් මුදල් සෙවීම කියන්නේ වෙලාව ගත වන වැඩක් නිසා, එය සැමවිටම එසේ වන්නේ නැහැ.

හැබැයි මිනිසුන්ගේ තේරීම් වලට සමහරවිට මුදල් හෝ වෙලාව බලපාන්නේ නැහැ. ඒවාට බලපාන වෙනත් බොහෝ දේ තියනවා. වැඩිහිටියන්ට සෞක්‍යමත් ජිවන රටාවක් තෝරා ගන්නට බැරි වීමත්, ස්ටීවන් හෝකින්  කියන පරිදි මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ගමන මේ පොළොවෙන් අයින් වෙන්නට එක හේතුවක් වන්නට බැරි නැහැ.

මෙල්බර්න් වල තියන තින්ක් ටෑන්ක් එකක් වන ග්රැටන් ආයතනය  යෝජනා කරන්නේ සීනි  බද්දක් පැනවීමෙන්, ඕස්ට්‍රේලියාවේ පවතින අධික තරබාරුකමට යම් පිලියමක් සොයන්න හැකිය කියා. ඔවුන් කියන පරිදි ඕස්ට්‍රේලියානුවන් තුන් දෙනෙකුගෙන් එකෙක් තරබාරුයි. තරබාරුකම නිසා මහජන මුදල් ඩොලර් බිලියන 5.3ක් වසරකට වියදම් වෙන වගත් ඔවුන් ගණන් හදනවා.

සක්‍රීය ජනගහනය, එනම් වැඩ කරන්නට හැකි ජනගහණය  විවිධ රෝග වලින් පිඩා විඳීම මගින් ආර්ථිකයට වන බලපෑම ගණන් හදල තියෙන්නේ ග්රැටන් ආයතනය පමණක් නොවේ. මෙවැනි ප්‍රශ්න මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණක් විසඳන්න බැරි වග තමා, බටහිර ලෝකයේ වසංගතයක් ව පවතින අධික ස්ථුලතාවය හා ඒ හා ආශ්‍රිත රෝග වලින් කියන්නේ.

සීනි  බද්ද ලෝකයේ රටවල් ගණනාවක තියනවා තමා. නමුත්, නියෝජ්‍ය අගමැති ජොයිස් කියන පරිදිම, මනුෂ්‍ය පෝෂණයේ සංඝටකයක් වන සීනි වලට (මේ කියන්නේ පැණි බීම  වලට පමණක් වුවත්) බද්දක් පැනවීම මටත් එතරම් යෝග්‍ය යයි පෙනෙන විසඳුමක් නොවේ.

මෙතැනදී මහජන මුදලින් මූලික  ලෙස නඩත්තු වන සෞඛ්‍ය සේවයක් තියන ඕස්ට්‍රේලියාව වැනි රටක  ක්‍රියාමාර්ගය විය යුත්තේ කුමක්ද? තමන්ට තේරීම් තියන අවස්ථාවල, හිතකර එව්වා මගහැර අහිතකර තේරීම් කරා යොමු වන මනුෂ්‍යයන්ගේ කැමැත්තට අප දෙන විසඳුම තමන්ගේ ආරක්ෂාව, තමන්ම සලසා ගන්න සමාජ ක්‍රමයක් වෙත යොමු වීමද? මේ ප්‍රශ්න ගැන හිතන්නට ඔබට බාර කර, මේ බයිලාවෙන් සටහන නිම කරමි.

 

 

 

http://www.abc.net.au/news/2016-11-23/sugar-tax-‘could-cut-soft-drink-consumption-by-15-per-cent’/8048974

http://www.news.com.au/lifestyle/health/barnaby-joyce-shuts-down-grattan-institute-calls-for-sugar-tax/news-story/20d7b162ce104b5bcc79a455129382ae

17 Comments

Filed under Food, Health, Lifestyle, Opinion, Research & Development, Social