Category Archives: Lifestyle

අහිමිවීම් හා උත්තර සොයා යාම්!


ඉරිදා උදේට මා සහභාගී වෙන එක්තරා පන්තියක් කියන්න හැකි එකක, සිහින් නමුත් ශක්තිමත් ශරීරයක් තියන සුද්දෙකු හිටියා. සාමාන්‍යයෙන් කාන්තාවන් වැඩි, එම පන්තියේ පිරිමි පක්ෂයේ කට්ටියෙන් ඔහුත් නිතරම එන අය  අතර සිටියා. හැබැයි දැන් මාස හයක පමණ සිට, ඔහු පෙනෙන්නට සිටියේ නැහැ. ගිය වසරේ ඔහු ගෙදර වෙනස් කර ටිකක් ඈත සබර්බ් එකකට ගිය නිසා කියා මා හිතුව.

අද මට කෙනෙක් කියුවේ, ඔහු මෙයට සති හයකට පමණ පෙර මෙලොවින් සමු අරන් කියා. වයසින් ගත්තොත් ඔහු ගොඩක් මහලු කෙනෙක් නම් නොවේ. මා කියුව පරිදි ඔහු සාමාන්‍යයෙන් සෞඛ්‍යමත් තේරීම් කරපු කෙනෙක් වග බැලූ  බැල්මට පෙනෙනවා.

දකුණු අතේ හටගත් අස්ථි පිළිකාවකට, බෝන් මැරෝ ප්‍රතිකාරත් කර, එයින් සනීප වෙමින් ඉන්න විට හටගත් වෙනත් ආසාදනයක් දරුණු වීමෙන් ඔහු මිය ගිය වගයි දැන ගන්නට ලැබුණේ. වසර ගණනාවක් හමු වුන හා කතා කරපු කෙනෙක් ලෙස, ඔහුගේ මරණය මට එකවරම කම්පාවක් ඇති කෙරුව. නමුත් එය හිතේ කාලයක් තිස්සේ තිබෙමින් රිදුම් දෙන එකක් නම් නොවේ.

ජීවිතය කියන්නේ අප කොතරම් බලාපොරොත්තු සහගත ලෙස, හරිය කියන තේරීම් කරමින් ගත කළත්, අපට පාලනය කරන්නට බැරි බලවේග වලින් පිරුණු එකක්. ඉහත පිළිකාව හා ඔහුගේ ජිවන විලාසිතා අතර සම්බන්දයක් ඇතැයි  මා සිතන්නේ නැහැ.

අනික තමා මා කලින් කියපු කරුණ. එනම් අපට ගොඩක් සමීප නැති, නමුත් අප දන්නා කෙනෙක් නැත්නම් එතරම් පෞද්ගලිකව නොදන්නවා වුවත් සමාජයේ කැපී පෙනෙන කෙනෙකු සමුගත් විටත්, අපට යම් කණගාටුව දැනෙනවා. හැබැයි ඒ තාවකාලික කණගාටු.

ගිය වසරේ දෙසැම්බර් මස අවසාන සතියේ දිනක මා වැඩට නොගියේ අසනීපව දොස්තර කෙනෙක් හමු වන්න අවශ්‍ය වුනු නිසා. උදෙන්ම ඒ වැඩේට ගිහින්, ගෙදර ඇවිත් රූපවාහිනිය දමුවහම ඒබීසී  නාලිකාවක ගියේ, මා කැමති වන් ප්ලස් වන් කියන වැඩ සටහන.

එයට සහභාගී වුණේ, ජුලියෙට් ඕ’බ්‍රයන් කියන තරුණිය. ජුලියෙට් ගේ තාත්ත ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් පිළිකා රෝග විශේෂඥයයෙක් වූ දොස්තර ක්‍රිස් ඕ’බ්‍රයන්. ඔහු වසර 2009 දී ජිවිතයෙන් සමු ගත්තේ මොලයේ හටගත් ටියුමර් එකකින්. එයින් වසර දෙකකට පමණ පසු, ජුලියෙට් ගේ තරුණ සහෝදරයත් හදිසියේ ජිවිතයෙන් සමු ගන්නවා.

ඒ වැඩසටහනේ ඇය කතා කරපු ගොඩක් දේවල් අතර, තමන්ගේ තාත්තා හා සහෝදරයගේ මරණ වලට සමාජයේ ප්‍රතිචාර සමග, ඇයගේ  ප්‍රතිචාරය ගැන කියනවා. දොස්තර ක්‍රිස් ගේ අවමගුල රාජ්‍ය ගෞරව සහිතව සිදුවුණ එකක්. සහෝදරයා ප්‍රසිද්ද කෙනෙක් නොවේ. ඇය කියන්නේ, සමාජයට එම මරණ දෙක දෙවිදිහකට දැනුණත්, තමන්ට ඇති කරපු බලපෑම දෙකක් නොවේ, එකක්ය කියා  (මා එම වැඩසටහන නරඹා ගොඩක් කල් නිසා එහි කියවුන වචන මතකයට එන්නේ නැහැ). එය අප කවුරුත් දන්නා සරල දෙයක් නේද කියා ඔබ හිතාවි.

මා එදා උදේ දොස්තර හම්බ වෙලා, තව වැඩකට කල් මරන්න, තේ කඩේකින් බර්ගර් එකක් කමින් හා කෝපි එකක් බොමින් ඉන්න විට, එතැනින් ඇවිද ගිය පවුලක් මගේ සිතේ ඇඳිලා තිබීමත්, ජුලියෙට් ගේ වැඩසටහන සිත් ඇද  ගන්න එක හේතුවක්.  මිනිසුන් බහුල නොවූ, ඒ උදේ පාන්දර සිනාවෙමින් හා කතාකරමින්  මා අසලින් ගියේ අම්ම, තාත්ත හා තරුණ දුවණියක් යයි සිතිය හැකි පවුලක්. ඒ තාත්තා ගියේ රෝද පුටු සයිකලයක.

පසු වදන

මේ මා කියවන සිංහල බ්ලොග් අතලොස්සේ පවා පළ වන දේවල් වලට අනුව, අනුන් ගේ මරණ වලින් සිනා සී  සැනසෙන්නට බලාපොරොත්තු වන අය ගැන දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම, තමන්ට සමීප යයි හිතෙන කෙනෙක්ගේ අවමංගල්‍යයට සහභාගී වීමත් විහිළුවක් කර ගන්න පිරිස් ගැන අහන්ට ලැබෙනවා. අප සරල දෙයක් යයි සිතුවත්, ජුලියෙට් කියන කරුණ ගැන මා වැඩිපුර සිතන්න යොමු කෙරුවේ, ඒ කරුනුත් නිසයි.

 

6 Comments

Filed under Lifestyle, Opinion