අද මා දුටුව පුවතක් තමා ඒබීසී මාධ්‍යවේදියෙක් කියපු කතාවකට අසන්නෙක් දුන්න පිළිතුර. කතාව තමා වී ඕල් ආ ඉන් දිස් ටුගෙදර් කියා තොරතොන්ච්යක් නැතුව ඇසෙන දෙය. ඔය කතාවට කේන්ති ගිහින් තිබුණේ, කොවින් නිසා තමන්ගේ රැකියාවත් ගෙදරත් අහිමිව කාරයේ දිවි ගෙවන අයෙක්. උඹ දන්නවද, මට රස්සාවත් නැහැ, ගෙදරත් නැහැ, ඉන්නේ මේ කබල් කාරෙකේ. උඹල වගේ ලොකු පඩි ගන්න එවුන් ඔය වගේ කතා කියාවී. උබලගේ එකෙක් වත් පඩියෙන් භාගයක් බෙදා ගන්න කැමතිද? ඔය වගේ ගොන් කතා කියන්නේ දේශපාලකයනුයි, උඹල වගේ ජනමාධ්‍ය වේදියනුයි. සේරම මෙතන එකට නැහැ. ඔය කතාව නම් අපට කියන්න එන්න එපා කියා.
ඔය කතාව කියාගෙන යන විට අර මනුස්සයව කට් කරලා දැම්ම. මිනිසුන්, විශේෂයෙන් දේශපාලකයන්, ජනමාධ්‍ය කාරයින් හා වෘත්තීය වේදීන් මෙවැනි අල්ලා ගත්තු (සටන්) පාඨ කියන වග අපට නිතර ඇසෙන දෙයක්. ගොඩක් වෙලාවට කිසිම තේරුමකුත් නැහැ. ඉතිං අර මනුස්සයට කේන්තියාම අරුමයක් නොවේ.
කොවින් නිසා තමන්ගේ රැකියාවට කිසි හානියක් නැති, රජයේ හා වෙනත් සේවා සපයන සේවකයින්, ගොඩක් ජනමාධ්‍ය වේදීන් ඉන්නේ වෙනම ලෝකයක. වසා දැමුණු හෝටල්, සංචාරක කර්මාන්තයේ නියුතු අය, වැසීගිය කම්හල් වල පිරිස්, අනියම් සේවකයින් ඉන්නේ වෙනත්ම ලෝකයක. ගොඩක් වෙලාවට අර දෙවෙනි අයට මෙහෙම කරපල්ලා යයි උපදෙස් දෙන්නේ, ප්‍රථමයෙන් හඳුන්වා දුන්නු පිරිස.
සමහර වෛද්‍ය උපදෙස්, ජිවන විලාසිතා වලට උපදෙස් දෙන විශේෂඥයවරුනුත් අර වගේ ප්‍රසිද්ද හෑලි ගොඩක් වෙලාවට කියනවා ඇසෙනවා. අරක්කු බිව්වොත් ප්‍රතිශක්තිකරණය නැති වනවා, අරව බිවුවහම මලානික වෙනවා වගේ කතා. සමහරුන් වෘත්තීය වේදීන් කරන නිග්‍රහාමත්මක කතා ගොඩක් වෙලාවට අප්‍රසන්නයි.
එතනදීත් මේ කතා කියන පිරිසයි, එයාල ඉලක්ක කරන පිරිසයි ඉන්නේ ලෝකවල් දෙකක. දවස පුරා ඇඟ වෙහෙසමින් වැඩ කරන කෙනෙක්, හවසට අඩියක් ගහල ගෙදර යනවිට, මිනිහට කියුවහම ඕකෙන් ප්‍රතිශක්තිය නැති වනවා කියා මල පනින්න ඉඩ තියනවා. වෙනත් විනෝදාස්වාද තේරීම් ගොඩක් තියන මිනිසුනට, ඒවා තමන්ගේ රුචිකත්වය හා ශරීර සෞඛ්‍යට අනුව තෝරා ගන්න තියන නිදහස වැඩියි.
මේ සතියේ අසුන තව පුවතක් තමා චීන රජය වයස අවුරුදු 18 ට අඩු කට්ටියගේ ඔන්ලයින් ගේම් ගහන කාලය සති අන්තයේ පැය 3කට සීමා කිරීම. ඒ කියන්නේ සිකුරාදා, සෙනසුරාදා ඉරිදා හවස 8 ඉඳන් 9 දක්වා කාලයේ පමණයි සෙල්ලම් කරන්න හැකි. රජය මේ ගේම් හඳුන්වා තිබුණේ opium for the mind කියලයි. මේ වගේ වාරණයන් කරන එක චීනයේ ලෙහෙසියි. එහි ජීවත් වන වරුනිලා, ලංකාවේ කට්ටියට ෆේස් බුක් එකෙන් සිංහලෙන් කෑම හදන හැටි පෙන්වන විට, චීනුන්ට නම් තියෙන්නේ වෙනම ෆේක් බුක් එකක්.
ඒ අතරේම ලංකාවේ දකුණු පළාතෙන්ද ඉතා කණගාටුදායක සිදුවීමක් අහන්නට ලැබුණා නේ. දරුවන් සම්බන්ද එවැනි කතා එයාලගේ දෙමාපියනට විතරක් නොවේ, එම දරුවන්ගේ යාළුවන්ට ද තදින් දැනෙන, වේදනාකාරී දේවල්ය යන්න අමුතුවෙන් කියන්නවත් අවශ්‍ය නැහැ.
අප සරසවි යේ අවසන් වසරවල් (යට ග්‍රජුවෙට්) ගත කරන විට ඔය සිකරට් පෙට්ටි වගේ කුඩා ඉලෙක්ට්‍රොනික ගේම් වගයක් ආව. ඒ එම සෙල්ලම් වල මුල් අවධිය වගේම, සෝවියට් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ මුල් අවධිය. ඔය බැලුම් වලට වෙඩි තියන ඒවා, කාඩ් සෙල්ලම්, වලාකුළු වලින් වැටෙන එව්වා වගේ සරල සෙල්ලම්. ඒවා සමහරක් ඒ දිනවල හරිම ඇබ්බැහි කාරක. නවත්වල තියනවා, ආයිත් විනාඩි පහකින් ගන්නවා. හැබයි ජීවිතය වණ වන්නට තරම් දෙයක් වුයේ නැහැ.
දැන් අපගේ දරුවන්ට, අපට තිබුණ ඇල දොළ නැහැ, ගොයම් නියරවල් නැහැ, පොල්පිති ගොන්නු නැහැ කියන කරුණු හැම සමාජයකින්ම ඇහෙනවා. මා බටහිර සමාජයක කුඩා කාලයේ ගත කර නැති නිසා මෙහෙ උදාහරණ ගත්තේ නැහැ. කොයි රටවලත් ඔය වගේ ලැයිස්තු තියනවා. මා කලින් සටහනක ලියා ඇති පරිදි, මේ සන්සන්දන කරන්නේ පරම්පරා දෙකක් ගැනයි.
ඔන්ලයින් ගේම් කියන්නේ මාර ඇබ්බැහි කාරක කියා අප අවටින්ම පෙනෙනවා. මේවා නිසා දරුවන්ගේ සමාජ ආශ්‍රය, ශරීරික ක්‍රීඩා කෞශල්‍යය, මනසේ සමබරතාවය යනාදියට එල්ල වන අයහපත්ඔ බලපෑම ගැන තොරතුරු තියනවා. ඒ ඕනි නැහැ, වැඩිහිටියනුත්, යු ටියුබ්, ටික්-ටොක්, ෆේස්බුක් වැනි අට්ටාල වලට ඇබ්බැහි වෙලා ඉන්න විට, දරුවන් ගේම් වලට ඇබ්බැහි වීම ගැන කවර කතාද? විශේෂයෙන් පාසල් වසාලා, ඉගැන්වීම අට්ටාල වලින් කරලා, දරුවන්ගේ සමාගමය නැති වෙලා තියන මෙවන් කාලයක, එවැනි දෙයකින් වත් මිතුරන් ආශ්‍රය කිරීම, කාලය ගත කර ගැනීම,විනෝදය ලබා ගැනීම ගැන වරදක් කියන්නට හැකිද?
මෙවැනි විනෝද කාරක වලට ඇබ්බැහිවීම හා පාලනයක් කර ගැනීමට ඇති නොහැකියාව විශාල පුරස්නයක් තමා. එය වැඩිහිටියන්ටද දරුවන්ටද එකසේ පොදු කරුණක්. හැදෙන කාලයේ අරක්කු, මත්ද්‍රව්‍ය වැනි දේවල් වලට දරුවන්ට අතපොවන්නට බැරි සේ නීති පනවා තියෙන්නේ කරුණු ගණනාවක් නිසා නේ. ඒ අතරට දැන් ඔන්ලයින් ගේම්ද එකතු වී තියනවා.
මෙවැනි අතපෙවීම් දුරදිග නොබලා හා ක්ෂණිකව කිරීමෙන් ඇතිවන යහපතට වඩා එහි අනර්ථය වැඩිවන්ට හැකි වගට උදාහරණයක් මා කලින් ලියපු සටහනක දැමුවා.
https://edition.cnn.com/2021/08/31/tech/china-ban-video-games-minor-intl-hnk/index.html