Category Archives: Media

තවත් බුරුසු තිබේද?


අද සෙනසුරාදා උදේ, හරිම ප්‍රණීත කාලගුණයක් තිබුණේ. අහසේ වලාකුළු තිබුනත්, ගොඩක් දුරට නිල් පැහැයයි. උදේ අට වන විට හොඳටම හිරු පායා අවසන්. 

කලින් කලින් සටහනේ තියන, රතු බෝතල් බුරුසු වලට අමතරව තවත් බුරුසු තියනවනේ. ඉහතින් හා පහතින් තියෙන්නේ, ලෙමන් බෝතල් බුරුසු යයි හැඳින්වෙන තවත් වර්ගයක්. ඔය දෙක විතරක් මා දමන්නේ, අපගේ ගෙවත්තේ තියන නිසා. මේ අද ගත්තු පින්තූර  දෙක තුනක්. 

ගස්, වැල්, සතා සීපාවන් ගැන සිතන, මනුෂ්‍යයන් සිටීම හොද දෙයක්. වැඩේ තියෙන්නේ, අප ගොඩක් දෙනා, එවැනි දේවල් ගැන වොරි වෙනවා කියල කියන්නේ, අනුන් විසින් ඒවා රැක දේවි යන සිතිවිල්ලෙන්.

පිපීමට පෙර 

මේ බොට්ල් බ්‍රෂ් පඳුරු වලට නම් මා පොහොර හෝ වතුර දමන්නේ නැහැ. ඒවායේ මුල් දැන් හොඳට ස්ථාපිත වී ඇති නිසා, වියලි කාලය වුවත් අපගේ උදව් නැතිව ජිවත් වෙන්න හැකියි.

උදේ තිබුණු පැහැදිලි අහස නැතිවී, දවල් වන විට වලාකුළු වලින් බර වූවා. ඒ නිසාම පරිසර උෂ්ණත්වය ලොකුවට ඉහල ගියෙත් නැහැ. මා වියලී ගිය තණකොළ කැපුවා. මේ බුරුසු පඳුර ළඟ තියන, සුදු මල් හට ගන්නා ගනකම් පඳුරේ, කුරුල්ලන් කුඩුවක් හදා, දැන් පැටවුන් ඉන්නවා. මව් පියන් දිනය පටාන් ගන්නේ මහා ගෝෂාවකින්.

සතුන් ඉබේම දන්නවා, අප ඔවුන්ට කරදර කරනවද, නැතිද වග. මේ කුරුල්ලන් අප ඒ අවට සිටියාට බයක් නැහැ. නිහඬ පරිසරයකට වඩා, කුරුල්ලන් වගේ සතුන් කෑ  ගහන, මී  මැස්සන්ගේ නාදය තියන පරිසරයේ යම් ජීවී බවක් තියනවනේ. 

තණකොළ කපා ඉවරවී, මගේ කුඩා මඩුවට බඩු ටික දමන්න ගියහම, ඒක ඇතුලේ කුරුල්ලෙක්. බලපුවහම මයින් පැටියෙක්. මන් සිතන්නේ, කෘමින් කන්න ඇතුලට යන්න ඇති. දැන් එළියට එන්න බැරුව ඇතුලේම තටු ගහනවා. 

මා හිතුවේ කූඩුවකින් වැටුණු එකෙක් කියා. අල්ලන් එළියට ගෙනහම, උගේ මව් පියන් යයි සිතිය හැකි දෙදෙනෙක් ඇවිත් කෑ ගහන්න ගත්ත. පැටියා සද්ද නැතිව ඉන්නවා. ගහකින් තිබ්බහම, ටික වෙලාවක් ඔල්මොරොන්දම් වෙලා, ගෙදර ජනේලෙක වහල ඉඳල, මව් පියන් එක්කම ඉගිලී ගියා. මා හිතන්නේ අද ඉගිලෙන්න පටාන් ගත්තු මයින් පැටියෙක්. 

මා කුරුල්ලන්ට වතුර පවා තිබ්බට, ගෙවත්තේ ඉන්න සියලුම සතුනට එකසේ සලකන්න බලාපොරොත්තුවක් නැහැ. කෘමින් ගෙන් කරදරමකාරයන්ට ඉඳ හිට බෙහෙත් ගහනවා. ගොළුබෙල්ලන් හා හන්ගොල්ලන්ගේ ජනගහණය, අවම මට්ටමක පවත්වාගෙන යනවා. 

පරිසරය රැක ගැනීම, සතුන්ට සැලකීම යනාදියේත් ඇත්තටම තියෙන්නේ, අප අපව සතුටු කර ගැනීම් ම තමා. 

4 Comments

Filed under Media, Nature, Photography