Category Archives: News

The secret recordings සහ යුධ අපරාධ යට ගැහීම!


නාසි ජර්මනිය පරදවා වසර 70 වක් ගත වීමේ සංවත්සරය රුසියාව සැමරූ හැටි ඊයේ රූපවාහිනියේ පෙන්නුවා. චීන ජනාධිපති සහභාගී වී සිටියත්, බටහිර එය වර්ජනය කර තිබුණා. සහභාගී වී හිටපු ප්‍රංශ විදේශ ඇමති ගැන කියුවේ, ප්‍රංශය පුටින්ට ජෙට් ටිකක් විකුණා ගැනීමේ අදහස අත්හැර නැතය කියා. දෙවෙනි ලෝක යුද්ධය සෝවියට් රුසියාවේ මිලියන 27 ක ජනයා බිලි ගත්තා. ඕස්ට්‍රේලියාව වගේ රටවල් අනුන්ට ගොට්ට අල්ලපු යුධ සහභාගිත්ව ඉහලින් සමරත්දී, රුසියාවේ මේ සැමරුම යම් අවමානයකට ලක් කරමින් තමා මේ වාර්තාව ගෙන ආවේ. මෙවැනි දෙපිටකාට්ටුකම් එක රටකට ආවේනික නැහැ.

ඊය හවස SBS චැනලයේ ටිකක් පරණ, චැනල් 4 හදපු Spying on Hitler’s Army නමැති වාර්තාමය වැඩසටහන ගියා. මෙය දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යය විසින් ජර්මනියේ තොරතුරු ලබා ගත් එක උපක්‍රමයක් ගැන කියවෙන වැඩසටහනක්. අල්ලා ගත්තු දහදාහක් පමණ වූ යුධ සිරකරුවන්ට නොදැනෙන ලෙස, ඔවුන්ගේ සංවාද පටිගත කරමින්, යුද්ධයේ තොරතුරු හා මේ සොල්දාදුවල් කරපු යුධ අපරාධ දැනගත් හැටි මේ වැඩසටහන කියනවා.

එහිදී හිට්ලර්ගේ SS හමුදා කාණ්ඩ විතරක් නොවේ, සාමාන්‍ය ජර්මන් යුධහමුදා වත් හරිහරියට යුධාපරාධ වලට හවුල් වුන හැටි මේ යුධ සිරකරුවන්ගේ කතා වලින් හෙළි වෙනවා. මේ කතා වල තැටි පසුව විනාශ කර තිබුණත්, ඒවායේ මුද්‍රිත පිටපත් සුරැකිව තබල. පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මේවා නිදහස් කර තිබෙනවා. චැනල් 4 මේ වාර්තාමය වැඩසටහන හදන්නේ ඒ දෙබස් ඇසුරෙන්.

ඒවා ජර්මන් බසින්, ඉංගිරිසියට පරිවර්තනය කර තිබෙන්නේ, යුද්ධයෙන් බේරී බ්‍රිතාන්‍යයට ආපු යුදෙව්වන්ගේ බඳවා ගත් පිරිස්. යුද්ධයේදී අල්ලා ගත ජර්මන් හමුදාවේ ඉහල ඇවරියේ පිරිස් වලින් ලබාගෙන තියන තොරතුරු විතරක් නොවේ, සොල්දාදුවන්ගේ කතාත් මගින්, මිනිසුන්ගේ ම්ලේච්ච කම පිලිබඳ පැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ මවනවා.

කොහොම වුනත් මේ ලබා ගත් කිසිම තොරතුරක්, මේ මිනිසුන් වැරදි කරුවන් කිරීමට යොදාගෙන නැහැ. චර්චිල්ගේ නියමය අනුව, මේ ක්‍රමවේදය සීතල යුද්ධයේ ප්‍රයෝජනයට ගනු පිණිස, ඒ තැටි විනාශ කර, තොරතුරු සියල්ල පෙට්ටගම් වල අගුලු දාල.

බින් ලාඩන් මරා දමන විට, ඇමෙරිකාව කලින් කියූ පරිදි, වෙඩි තියන්න පැන්න මිනිසෙකු නොව, රෝගී අඩපණව සිටි මිනිසෙකු වගත්, ඔහුගේ ගෙදරට කඩා පැනීම, පකිස්ථානය දැනුවත්ව සිදුවූ දෙයක් වගත් අලුත්ම ගවේෂණ නිබන්ධයක් කියනවා. මේවායේ ඇත්ත නැත්ත හෙළි වීමට හෝ නොවීමට ඉඩ තියනවා.

මහා බලවතුන්ගේ (පමණක් නොවේ, පොඩි බලවත් නොවන අයගෙත් යුධ අපරාධත්), ඔවුන්ගේම වචන හා එළිපිට කියන හා පෙනී සිටින ප්‍රතිපත්ති වලට සම්පුර්ණයෙන් පටහැනි දෙපිටකාට්ටු බවත් ඉහත ගෙනහැර දැක්වූ සියලු අවස්ථා අපට පෙන්වා දෙනවා.

හැකි නම් මේ වාර්තා වැඩසටහන නරඹන්න (ටිකක් දිගයි තමා). එහි කියැවෙන එක්තරා ම්ලේච්ච වැඩක් ගැන තව විස්තර මා වෙනමත් පසුව අමුණා ඇති.

http://www.channel4.com/info/press/programme-information/spying-on-hitlers-army-the-secret-recordings

http://www.scrapbookpages.com/Buchenwald/Atrocities.html
http://www.scrapbookpages.com/DachauScrapbook/DachauTrials/IlseKoch.html

Advertisements

10 Comments

Filed under News