Category Archives: Opinion

ජිවිතේ පොත!


මගේ කලින් සටහනට නැවත ගියොත් මා බ්ලොගය ලියූ කාලය ඇතුලත කාලෙන් කාලෙට කොමෙන්ටු දමපු කිහිප දෙනෙක් හිටියා. විශේෂයෙන් මුල් කාලයේ එවැනි කොමෙන්ටු නිසා යම් තල්ලුවක් නොලැබුණා කියා මා ලියුවොත් එය බොරුවක්. අද පවා ඕනෙම කෙනෙක් දමන කොමෙන්ටු වලට මා හද පිරි ආදරය පිරිනමනවා.

පසුගිය දිනෙක මා ගමනක් ගිහින් එත්දී, එක දුපතකින් ආපු  කෙනෙක්, එයාගේ ප්ලේ ලිස්ට් එක වාදනය කෙරුවා. ටිකකින් මිනිහා ඇහුවේ, උඹ හින්දි ගීත වලට කැමතිද කියා. වචන නොතේරුණත්, හින්දි ගීත මා ඉස්සර ප්‍රිය කරපු වග මිනිහට කියුවහම, එයා මෙන්න මේ ගීතය දැමුවා.

මා වගේම මිනිහත් ගීතයේ තේරුමක් දන්නේ නැහැ. අහන්නේ තනුවට කැමති නිසා. හැබැයි, ගීතය යත්දී මිනිහා ටිකක් ඉමොෂනල් වෙලා අතීත කතාවක් මට කියුවා. එය ගීතයේ තේරුම හා තදින් බැඳී තිබීම දෛවයේ සරදමක්.

පෙර දිනයක ඒ දුපතේ කාලය ගතකරන විට ඔහු තරුණියක් හා ආලයෙන් වෙලී තියනවා. ඇය ඉන්දියානු තරුණියක්. පෙම්වතුන් ලෙස ඔවුන් කරන්න හැකි හැම දෙයක්ම කර තියනවා. එකම ආයතනයේ වැඩ කරපු අර යුවතිය දිනක් ඔහුට කියා තියෙන්නේ, අනේ මට ගෙදරින් බඳින්න කෙනෙක් සොයනවා තාත්තට කතා කරන්නකෝ කියා.

එය ඇසීමෙන් ඔහු තිගැස්මට පත්වී තියනවා. පසුබිම කියුවොත්, ඉන්දියානු සමාජය (ඉන්දියාවෙන් පිට පවා) තදින් කුල හා සමාජ තත්වය සමග බැඳී තියෙන්නක්. ඔහුගේ නිගමනය වී ඇත්තේ පිට ජාතියකට හා ආගමකට අයත් ඔහුට, ඒ දෙමාපියන් කිසිදා කැමති වෙන්නේ නැතිය කියා.

ඔහුගේ පිළිතුර වී තියෙන්නේ කුමක්ද? මට බැහැ ඔයාගේ තාත්තට කතා කරන්න. ඔයාම කියන්නකෝ කියා. අන්තිමට අර දෙමාපියන් විසින් තරුණියට යෝජනා කළ, තරුණයා එයාව හමු වන්න ආයතනයටම පැමිණ තියනවා. එදා ඔහුගේ පපුව කඩා වැටුණා  කියා කියුවා. නමුත් කිසිවක් කර නැහැ.

අන්තිමට අර තරුණිය, ඒ යෝජිත විවාහය සමග ගොස් තියනවා. අපේ කතා නායක ඉන් දෙවසරකට පසු තවත් තරුණියක් සමග මිත්‍ර වී ඇය සමග විවාහ වී තියනවා.

තවත් වසරකට පසු අර යුවතිය, සිය පවුල සමගින් වෙන රටකට සංක්‍රමණය වී තියනවා. රැකියාවෙන් ඉවත් වන අවසාන දින, ඇය මේ කතානායකට කියා තියෙන්නේ මොකක්ද? මා වෙන කෙනක් බැන්දා වුණත්, මගේ ඇත්ත ආදරය තාමත් ඔබ සමගයි කියා.

මේ කතාවේ ග්‍රැපික් ඩීටේල් මා ඉවත් කෙරුවා. මගේ මුල්ම ප්‍රශ්නය වුණේ, මොකෝ යකෝ උඹ තාත්ත හමු වන්න නොගියේ, ඇයි සටනක් නොදී ස්ටේටස් කුවෝ පිලි ගත්තේ කියා. අනික් ප්‍රශ්ණය  වුණේ, අද නැවත හැරිලා බැලුවොත් සිද්දි දිගහැරුණු හැටි ගැන උඹට සතුටුද කියා. ඒ ගැන මගේ අදහස (ඔහුගේ පිළිතුරු ඇසුරින්)  කොමෙන්ටු වලට කෙනෙක් ඇහුවොත් කියන්නම්.

දෙවෙනි කතාවත් ඉන්දියානු යුවතියකට සම්බන්දයි. මේ කතාව ඇදී ආවේ අප කිහිප දෙනෙකු කතා කරමින් ඉන්න විට. ජිවිතයේ තියන සංකීර්ණත්වය කියන කතාවක් නිසා එයත් මා ලියන්නම්.

ඇය තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා වැඩ කරමින් ඉන්න විට, දෙමාපියන් විසින් ගෙන ආ යෝජිත විවාහයකට කැමති වෙනවා. ඉන්දියාවට ගොස්, කසාද බැඳ, මගුල් කා, යලින් උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්න ඇය එන්නේ, දරුවෙකුත් කුසේ දරාගෙන. ඉන් පසු පාස්ට් ෆොර්වර්ඩ් කෙරුවොත්, ඇයගේ  ජීවිතය අවුලෙන් අවුලට යනවා. මේ කිසිම වෙලාවක ඇයගේ  සැමියා කියන කෙනා, ඇය එක්ක නැහැ.

මගේ ප්‍රශ්ණය  වුණේ, උඹ කල්පනා කරන්න බැරි කෙනෙක් නොවේනේ, මොකෝ ඔහොම දෙයක පැටලුනේ කියා.

ලෝක විප්ලව ගැන සිහින මවන අපට, මිනිසුන් පෞද්ගලික ලෙස මුහුණ දෙන, පිළිතුරු සොයන්න අමාරු ප්‍රශ්න ගැන යම් වැටහීමක් තියන එක කෝකටත් හොඳා.

ඇයට නංගිලා දෙදෙනෙක් හා අයියෙක් ඉන්නවා. අයියා, තාත්තලා සොයා දුන්න විවාහයකට ගිහින් තියෙන්නේ වසර කිහිපයකට කලින්. එයිට පසුව ඉන්නේ මෙයා. තමන්ගේ හිතුමතේ තමන් කැමති කෙනෙක් (හිතමු වෙලා කුලයක හෝ වෙනත් සමාජ තත්වයක කෙනෙක් සමග  කියා), සමග යහළු වී බැන්දොත්, ඔවුන් අවුට් කාස්ට්  වෙනවා. එතකොට නංගිලා බඳින්නේ කොහොමද?

ඇය කියුවේ, අයියා එහෙම කළා නම්, ඇයත් කැමති කෙනක් සොයා බඳිනවා කියා.

මගේ ඊළඟ ප්‍රශ්නය වුණේ, උඹේ දියණියත් (හරිම කියුට් කියන්න හැකි ඇගේ දරුවා දියණියක්) අන්තිමට උඹ වගේම වෙයි නේද කියා. එයට ඇයගේ  පිළිතුර මා ලියන්නේ නැහැ. එය ධනාත්මක වුවත්, මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ.

Deeply superficial කියා අප හිතන සමහර කාරණා  යටින් තියන ඇත්ත දේවල් දැන ගන්නකම්, අප ඉක්මන් තීරණ වලට යනවා.

පසු වදන

මේ කතා ඇසීමේදී මට හිතුන දෙය තමා මා කොතරම් බොලඳද කියා. 🙂 මගේ මේ සටහනේ මුල් ඡේදය ඒ කියන බොළඳ කම හා බැඳී තියෙන්නක්.

පසුම පසු වදන

මා සිංහල සින්දු ඇහුවට ලංකාවේ ටෙලි නාට්‍ය හෝ වැඩ සටහන් නරඹන්නේ නැහැ. ජාතික රූපවාහිනියේ ගිය සිහිනයකි රෑ වැඩසටහන් එක දෙකක් මා යූ ටියුබ් එකේ බලා තියනවා. ඇත්තම කියුවොත්, හද  බැඳ ගන්න වැඩ සටහනක්.

කලින් සටහනේ නුවන් ගුණවර්ධන  ගී ගයන, ලකී  ඩයස් ඉන්න  වැඩසටහන මා නරඹා නැහැ. ඒ සින්දුව අහන ලකී ගේ මුහුණ කියන්නේ, තමන් ළඟ නැති, එනමුත් ආදරය කරන කෙනෙක් ගැන, හදවතේ ඇති බර සෙනේ ගැන නොවේද?

සිංහල ගීතයකුත් අහමු.

 

 

Advertisements

6 Comments

Filed under Opinion, Social