




ගිය සතියේ කැන්බරා වල තිබුණ, මොරිෂස් කට්ටියගේ පොඩි එකතු වීමකට මාත් ගියා. එළිමහනක තිබුණ මේකට, එයාලගේ සේගා කියන සංගීතය හා එයට නටන යුවතියනුත් එක් කර තිබුණා.
අපේ බයිලා වලට අතිශයින් සමීප මේ සංගීතය, පැන නැගී ඇත්තේ උක් වතු වලට වැඩ කරන්න ගෙනා වහල් පිරිස විනෝද වීමේ මාධ්‍යයක් වශයෙන්. ලංකාව වගේම බටහිර රටවල් කිහිපයක යටත් විජිතයක් වශයෙන් පැවතිලා, නිදහස ලබා ගත්තු රටක්.
ලංකාව වැනිම නිවර්තන රමණිය දූපතක් වීම නිසාම පමණක් නොවේනේ, මුරුසිය අපට සමීප. ලංකාව සුද්දන් අල්ලා ගත්තු (හෝ පවා දුන්) පසු, උඩරට ප්‍රභූ වරුන්ගෙන් සෑහෙන දෙනෙක් එයාලගේ ජිවිතයේ අවසානය ගත කරපු රටත් හැටියට එය අප දන්නවා. මා යම් දිනක බලන්න යන්න කැමති රටක්.
මුරුසි ජාතිකයන් කියන්නේ අප්‍රිකානු, ඉන්දියානු හා යුරෝපීය ජාතීන්ගේ සංකලනයක් වුවත්, ගොඩක් අය අපට හරි සමානයි. මුරුසි නිෂ්පාදන විකුණමින් හිටි යුවතියගෙන් මා යමක ගාණ ඇහුවම, ඇය මට උත්තර දුන්නේ, ඔවුනගේ ක්රියෝල් භාෂාවෙන්. ඒ මා ඔවුනගේ කෙනෙකු යයි සිතා.