Category Archives: Politics

සමන් මල් පියල්ලේ…..


IMG_5015IMG_5022IMG_5023IMG_5025IMG_5026

ලංකාවේ ලොකු වෙන්දේසියක් තියනවා කියා මා දුටුවා. මගෙන් සුද්දෙකු ඇහුව මොකෝ බන්, උඹලට වෙලා තියෙන්නේ කියා. උන් ඔය ඇහුවට, අපේ මව්බිමේ වගේ රටවල් වල කෙරෙන දේවල ඇත්ත තත්ත්වය  දන්නවනේ.

ඕස්ට්‍රේලියාව විරුදාවලිය ලබා තියනවා, ලෝකයේ දේශපාලන කෘමන්ත්‍රණ වල අගනුවර ලෙස. පසුගිය දශකය ඇතුලත මෙහෙ, අගමැතිලා 6ක් මාරු වුණා. අපට චන්දයෙන් කෙලින්ම පත්වන අගමැති කෙනෙක් නොවේනේ ඉන්නේ. පාර්ලිමේන්තු වේ බහුතර කණ්ඩායම හිමි පක්ෂයේ හෝ හවුලේ නායකයා අගමැති වෙනවා.

ඉතින් චන්දයක් නැති කාලයකත්, විවිධ කණ්ඩායම් වල අරමුණු අනුව, පක්ෂයේ නායකයා වෙනස් කර, අගමැතිව මාරු කෙරුවා. හැබැයි, ඒ හැම වාරයකටම පසුව එළඹුණු චන්ද වලදී, ඔවුනගේ ඒ තීරණ, ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර නොවුණු වග, මැතිවරණ ප්‍රතිඵල පෙන්නුවා.

ප්‍රජාතන්ත්‍රවාදය අර කවුද කියන්න වගේ, නරක තමා. හැබැයි අනික් ක්‍රම මෙයිට වඩා දහස් වාරයක් නරකයි කියා මාත් හිතනවා. මිනිසුන් තමන්ගේ කතිරය, මුලධර්ම හෝ වහල් හැඟීම් වලට ඉඩ නොදී, පවතින වටපිටාව හා වෙන්න හැකි දේ ගැන අවබෝධයකින් භාවිතා කරනවා නම්, සමාජයේ ප්‍රගමනයට යම් දායකත්වයක් සපයන්න පුළුවන්.

ඕවා කෙසේ වෙතත්, අත ලෙවකාන්න විතරක් බලාගෙන මී  කඩන්න යන්නේ නැහැනේ. ඒකත්  සිතේ තියාගෙන, මා අද හවස මල් වලට වතුර දමපු පසු ගත්තු පින්තූර ටිකවත් බලමු.

වනේ මල් නෙලලා ඔබේ ගෙල බඳින්නම් (ණයට අරන් හරි, 🙂 )

 

පසු වදන
අපගේ බොහෝ සංක්‍රමණිකයන් සිතන ආකාරයත් විමතියට කරුණක් යයි මා හිතනවා. අප ගොඩක් දෙනා නිරපේක්ෂ ක්ෂේම භූමි ගැන සිහින මවනවා. ඒ වගේම ගොඩක් වෙලාවට තැන දෙන්නේ කාලකන්නි සතුටටම තමා.

අප ජිවත්වන සමාජයේ මා දකින ධනාත්මකම දෙය නම්, සංස්ථාවන්ගේ ස්ථාපනයයි. ඒවත් යැපෙන්නේ මිනිසුන් මත නිසා නොයෙක් ප්‍රශ්න තියනවා තමා. කොහොමත් මිනිසුන් සිතන හැටි අනුව සංස්ථා වල පැවැත්මත් තීරණය වනවා.
සංස්ථා වසාගත් දූෂණ, අපචාර හා අවක්‍රියා ද ලෝකය විශාල වශයෙන් තියනවා. ඕස්ට්‍රේලියානු කතෝලික පල්ලි ආශ්‍රිතව සිදුවූ ළමා අපචාරත්, බැංකු හා රක්ෂණ සංස්ථා වල සිදුවූ දූෂණ ගැනත්, සමාජයේ මිනිසුන් දන සිටියත්, විධිමත්ව විමර්ශනයක් සිදු වුණේ, ඒවායේ ක්‍රියාකාරිත්වය සොයන්න පත්කරපු රාජකීය කොමිශන මාර්ගයෙන්.
නමුත්, තනි තනි මිනිසුන් මත ක්‍රියාත්මක වන ක්‍රමයන්ට වඩා, සංස්ථා ස්ථාපනයෙන් ක්‍රියාත්මක සමාජ වල ජිවත් වීම පහසුයි. එය මිනිසුන්ට ලෙහෙසියෙන් ඒත්තු ගන්වන්න බැහැ. මොකද නොමැති දෙයක් තේරුම් ගැනීම කොහොම කරන්නද? එවැනි සමාජ වල ජීවත්  වන, අපේ සංක්‍රමණිකයන් පවා, එය තේරුම් නොගන්නවා කියා පෙනෙනවානේ.

Advertisements

4 Comments

Filed under Opinion, Politics, Social