Category Archives: Reflections

අප්‍රේල් 30!


අද අම්මට කතා කරපු විට කියුවේ, හෙට බස් වලින් කොළඹ යන්න කට්ටිය ලේස්ති වෙනවා කියා. එතකොට තමා අද අප්‍රේල් මස අන්තිම දිනය කියා මට අවබෝධ වූයේ. පසුගිය දින වල, දවස් ගෙවෙනවා එතරම් සිතට දැනුනේ නැහැ.

කාර්ය බහුල විට, කාලය ගෙවෙන වග තේරෙන්නේ නැතිය කියනවනේ. වැඩ කිරීම අපව ජිවත් කරවනවා. එකක් මුදල් සොයන්න වැඩ කිරීම. අනික තමා වැඩ කිරීම මගින් අපගේ මාංශ පේශීන් යාවත්කාලීනව තබා ගන්නට උදව් වෙනවා. මුදල් සොයන්නට වැඩ කිරීම කියන්නේ, දවසෙම පුටුවක වාඩි  වෙලා කරන දෙයක් නම්, මාංශ පේශීන් යාවත්කාලීනව තියා ගන්න, වෙනම වැඩ කරන්න වෙනවා.

වැඩකරන ජනතාව සමරන්න යොදන් තියන මැයි  පළමු වනදා අපට නම් නිවාඩු නැහැ. ලෝකයේ එදින මහජන නිවාඩු දිනයක් බවට පත් කරපු රටවල් ගණනාවක් තියන වග නම් අප කවුරුත් දන්නා දෙයක්. ලංකාවත් මන් හිතන්නේ මේ දිනය සමරන විදිහ ඇති ලෝකයේ අනෙක් බොහෝ රටවල් වලට වඩා විශේෂයි*.

මිනිසුන් ජිවිත කාලයක් තිස්සේ පුටුවල වාඩි  වෙලා වැඩ කර විශ්‍රාම ගත්තු විට මුහුණ දෙන ප්‍රශ්න ගැන අහන්න ලැබෙනවා. සමහරුන්ට එක පාරටම වාඩිවී (ශරීර කෘත්‍යය වැනි දෙයකට පවා) නැගිට ගන්න පවා බැරි වීමත් එයින් එක සිද්දියක්. එයට එක හේතුවක් ලෙස දක්වන්නේ, නැගිට ගන්නට උදව් දෙන මාංශ පේශීන්, වසර ගණනාවක් තිස්සේ ක්‍රියාකාරී නොවීමෙන් නිලීනව ගිය නිසා, නැගිට ගන්නට බැරි වීම. මෙතැනදී මතක් කරන්නට අවශ්‍ය, වැරැද්ද කන්තෝරු රැකියා කිරීම නොවේ, එයින් පිටත ක්‍රියාකාරී දිවියක් ගත නොකිරීමයි.

ඇඟ වෙහෙසවන රැකියා වලට කැමති නැති පිරිසකුත් සමාජයේ ඉන්නවනේ. මොනම රැකියාවක් කලත්, අලස දිවියක් ගත කිරීම, එනම් අයිස් ගහන එක නම් හොඳ දෙයක් නොවේ. වෙන දේවල් කරන්නට තියනවා නම් (හා නිකම් කාල ඉන්න තියනවා නම්), ඇඟ  වෙහෙසෙන රැකියා වලට (ගෙවීම් හොඳ වුවත්) පිරිස් නොමැති වන වග මේ පරිසර වලින් පෙනෙනවා.

උදේ පොඩි වෙලාවකට මා බලපු රූපවාහිනී ප්‍රවුත්ති වැඩසටහනක ගියේ, ඇමෙරිකාවේ ඇලබාම වලද කොහෙද කේල් වවන ගොවියෙකුගේ කතාවක්. ඔහු කියුවේ, වවපු කේල් කඩන්න වයිට්, බ්ලැක් හෝ කහ එවුන් (ඇමෙරිකානු) මොකෙකු වත් නැතිය කියා. හදිසියේ ඕකුන් ආවත් එක්කෝ පැයක්, නැත්නම් වරුවක් අල්ල හිටියි එයිට වඩා නම් නැතිය කියා.

ඔහු වසර විස්සක් පමණ තිස්සේ වගා කරන අයෙක්. කේල්  කොළ ශාකයෙන් කඩන්නේ (වෙන්කර ගන්නේ) අතින්. ඒවා හතර පහක් එකතු කර නටු අගට, රබර් පටියක් දමල, පෙට්ටි වල අඩුක්  කරන්නේ මිනිසුන් විසින්. ඔහුගේ ගොවිපොළේ මේවා නෙලන්න එන්නේ, ලතින් අමෙරිකානු රටවල් එන නීති විරෝධී සංක්‍රමණිකයන්.

අලුත් පාලනය අනුගමනය කරන ක්‍රියා මාර්ග නිසා, ඔවුන් දැන් එළිපිට මේ වගේ රැකියා වලට එන්න බය වගයි ප්‍රවුර්තියෙන් කියවුනේ. මේ ගොවියා කියුවේ, මේ වගේ අතින් නෙලන දේවල් වගා කරපු බොහෝ දෙනා, ඒවා වගා බිමේම කුණු වෙන්නට ඇරලා කියා.

ඕස්ට්‍රේලියානු රජයත් පසුගිය කාලයේ බැක්පැක් ශ්‍රමිකයන්ට විශාල බද්දක් (32.5%) පනවන්නට ගියා. එයට ගොවියන්ගේ සමිති හා වෙනත් දේශපාලන පක්ෂ වලින් ආපු විරෝධය නිසා, එය අන්තිමට 10.5% දක්වා අඩුවී පාර්ලිමේන්තුවේ සම්මත වුනේ.

මෙතන මේ බැක් පැක් ශ්‍රමිකයන් කියන්නේ, රටවල් බලාගෙන යන්න එන තරුණ පිරිස්. ඔවුන් රටවල් වල ඇවිදින ගමන් ම තමා වියදමත් සොයා ගන්නේ. අතින් නෙලන පලතුරු හා එළවලු වගාවන් වලට ඔවුනගේ ශ්‍රමය අත්‍යවශ්‍ය, දේශීයව ඒවා වලට ඉදිරිපත් වන පිරිස් නැති නිසා. මෙතැනදී රැකියා වෙළඳපොල සන්තෘප්තව ගොස් ඇති නිසා පිරිස් නැතුව නොවේ. කෙටිකාලීනව මෙවැනි රැකියා වලට, ජනගහනය බහුල නගර වලින් යන පිරිස් සොයා ගන්නට නැහැ.

ලංකාවේ පවා පුරප්පාඩු තියන රැකියා 20, 000 ක් පමණ තියනවා කියුවේ මගේ සහෝදරයෙක්. මන් හිතන්නේ එතැනදී පවා රැකියා වෙළඳපොල සන්ත්රුප්තව ගොස් නැතිව ඇති.

මාත් ගෙදර වැඩකට මේ වගේ ප්‍රොෆෙෂනල් කෙනෙකුට කතා කෙරුවහම මිනිහා කියුවේ, මටම කර ගන්න පුළුවන් නේ කියල. ඒ කතාව මන් කලින් ලියා ඇති. එතැනදී මිනිහාට අවශ්‍ය තරමට (අඩු මහන්සියෙන් කරන්න හැකි) වැඩ තියන නිසා තමා, මගේ වැඩේ බාර නොගත්තේ.

ගෙදර තව වැඩකට අත්තිකාරම  දීලා දැන් මාසයකට වඩා වැඩි වුනත්, තවම වැඩේ පටන් ගන්න දිනයක් නම් හම්බ වුනේ නැහැ. මේ වැඩ (මේසන්, ප්ලම්බින් වගේ) කරන අයගේ හිඟයක් තියනවා කියා බැලු  බැල්මට පෙනෙනවා.

කොහොම වුණත්, මා තනිවම කරන්න ගත්තු වැඩේ මන් ටිකක් වවා ගත්ත. ඒ කියන්නේ වැඩේ කරගෙන යන විට, තව දේවල් කරන්න හැකිය කියා සිතුන නිසා මා දේවල් එකතු කෙරුව. ඇත්තටම ගෙදර දොර වැඩ කර ගැනීම සඳහා අතේ හුරුවක් තිබීම හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් දෙයක් කියා මා හිතනවා. නමුත් මේක අප එකිනෙකාට අනුව වෙනස් වන දෙයක් නේ.

සුද්දන් පොදුවේ ගත්තොත් ගෙදර දොර වැඩ කර ගැනීමට තරමක් සූරයි (අපත කට්ටියත් ඉන්නවා තමා). අනික තමා වැඩක් කරන එක ගොඩක් දෙනා ඇප්රිශියේට් කිරීම. එය මා දන්නේ, මට ඔය පාරේ ඇවිදින්නට යන මිනිසුන් කියපු කතා නිසා. කොහොම වුවත් මගේ වැඩේ අතේ හුරුව පමණක් නොවේ, ශාරීරික ශක්තියක් උරගා බලන දෙයක් වුනා. දැන් ඉතින් මැයි දිනේ සමරන්න විතරයි ඉතුරු.

*මා දැන් වසන පරිසරය අනුව එහෙම ලියුවත්, එය නිවැරදිම ප්‍රකාශයක් නොවේ. ඔවැනිම තත්වයක් ලෝකයේ රටවල් ගණනාවක තියන වග මට හමුවූ මිනිසුන් කියා තියනවා. එක මොරිෂෂ් පොරක් කියුව විදිහට, එහෙ මැයි  දිනය සැමරීම, ලංකාවට ගොඩක් සමානයි. බස් වලින් සෙනග ඇදීම, දවල්ට බිරියානි  පැකට්ටුව හා බොන්නට මධ්‍යසාර වගේ දේවල් එහෙත් වෙනවා. ලංකාවේ මෙන්ම බොක්කෙන් සහභාගී වන පිරිසකුත් ඇති. හැබැයි, ඔහු කියුවේ නිවාඩු දිනක් වන මැයි  පළමු වනදා, නිකමට හෝ වෙරළට පවුලත් එක්ක යාම භයානකයි කියා. එකක් නොමිලේ බොන්න හම්බු වුන පිරිස් වෙරිමතින් විකාර කිරීම. අනික මේ වගේ කට්ටිය පක්ෂ දෙකක නම්, මේ වගේ වෙලාවට රණ්ඩු  කර ගත්ත විට, ගෙදර එන්න පාරවල් සොයා ගන්න බැරි වීම.

18 Comments

Filed under Agriculture, Australia, Lifestyle, Opinion, Reflections