Category Archives: Reflections

නිසල දිය!


අදට යෙදී තියන නත්තල වෙනුවෙන් ඕනේ තරම් පණිවුඩ නිකුත් කෙරෙනවා ඇති. අසල් වැසියාට ප්‍රේම කිරීමේ ඉඳාන්, ලෝක සාමය හා නොයෙක් කාරණා ගැන සුබ ප්‍රාර්ථනා ඒ අතර ඇති. එය අනෙක් ආගම් වල වැදගත් යයි කියන දින වල ද එකසේ සිදුවන්නක්. මේ ආගමික සංස්ථා වලින් අගතියට පත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, මෙවැනි අරුත් සුන් ප්‍රකාශන ගැන සිතමින්, ලත වෙනවාත් ඇති.

උදෙන් නැගිට කළබල කරනව කියා, ජනතාව චෝදනා කරන නිසා, මා ගියා කැමරාවත් අරන් ඇවිදින්න. උදේ නිසාත්, නත්තල නිසාත් පාරේ වාහන ගොඩක් තිබුනේ නැහැ. ඒ වුණාට, නැග එමින් තිබුන හිරු නම්, එතරම් සෞම්‍ය වගක් පෙන්නුවේ නැහැ.

කුඩා කළ, අයියලා කියන කතාවක් තමා, මිදුලට එන ඉබ්බන්ගේ පිටේ ඉටිපන්දම් ගහලා හැටි. එක්තරා අතකින් සත්ත්ව හිංසාවක් වුවත්, කුඩා දරුවන් ලෙස එය කරන්න ඇත්තේ අහිංසක දෙයක් ලෙස. මට නම්, ඉබ්බන් ගැන මතකයක් නැහැ. හැබැයි, කුඹුරු අද්දර තිබුණ ගල් තලාවක, ඉබි කටු තිබුණා යන්තමින් මතකයි.

එයිට දශක එකහමාරකට පසු, කුඹුරු වල ඉන්නා කොරවක්කුන්ට හෝ යහතින් ඉන්න හැකි වූයේ නැහැ. ලංකාවේ ගම් වල තියන ප්‍රෝටීන ගැටළුව ගැන යම් ඉඟියක් මේ සිදුවීම් වලින් ගන්න පුළුවන්.

අද පවා සමහර මධ්‍යම පාන්තිකයන් ඉදිරිපත් කරන පරිසර සුරැකීම් විසඳුම් හා ආහාර නිෂ්පාදන විසඳුම්, ප්‍රයෝගික තලයේ තියන ප්‍රශ්න තවත් උග්‍ර කරන වග, හෝ එව්වා විසඳුම් වලට වඩා ප්‍රශ්න ම වග ඔවුන් දන්නේ නැහැ.

මිනිසුන්ට තියන ප්‍රශ්න වලට විසඳුමක් නැති විට, පරිසර සෞන්දර්යය නිකම්ම ද්විතියික වෙනවා. හැබැයි, මිනිසුන්ගේ දුප්පත්කම නැතිවුන පමණින්, මිනිසුන්, පරිසරය හෝ පෘථිවියේ අනාගතය ගැන සිතන්නේ නැහැ. විශාල පිරිසක් සිතනවා, හැබැයි සමාජයේ බලවත් කණ්ඩායම් ලෙස ගොනුවන පිරිස් හැමවිටම එහෙම නැහැ.

මා කලිනුත් ඇති, අනුන් කරන නිසා අප බොහෝ දෙනෙක්, සමහර “කුඩා” දේ සුපුරුදු පරිදි කරනවා. නගරයට ගියාම දැවටුම් විසි කිරීම, කෙල ගැහීම, නරඹන්න යන තැන් වල කාපු-බීපු එව්වා ඔතාගෙන ගිය දැවටුම් තබා ඒම, ගස් වැල්, ගල් උගුල්ලගෙන ගෙදර ගෙන ඒම වැනි දේවල්.

මෙවැනි මිනිස් චර්යා වලට දේශ සීමා හෝ සමාජ-ආර්ථික තත්ත්ව හෝ සමහරවිට බලපාන්නේ නැහැ. හැබැයි කලින් කියුව පරිදි, මිනිසුන්ගේ සමාජ-ආර්ථික තත්වය හා පරිසරයේ පිරිසුදුකම ගොඩක් වෙලාවට, පැහැදිලි හේතූන් නිසා, ප්‍රතිලෝම ව තමා බද්ද වී තියෙන්නේ.

සාමාන්‍ය ජනයා ගත්තොත්, සමහර චර්යා ඇත්තටම නොසිතා කරන ජීවිත පුරුදු. තවත් එව්වා කරන්නේ, එයින් ඇති බලපෑමක් නැතිය කියන සිතිවිල්ලෙන්. පොඩි කාලෙ ඉඳන් කට පාඩම් කරන කුඩා දිය දහරවල් එක්වී, මහා ගංගාවක් වී මුහුදට ගලා බසිනවා කියන එකේ, ඇත්තම තේරුම සමහරවිට අප මිය යන තුරු සිතන්නේ නැහැ.

3 Comments

Filed under Lifestyle, Nature, Photography, Reflections