හවස ගෙදර එන විට තියන කරුවලත්, සීතලත් දැන් ඇති කියා සිතෙනවා. පෙරේද වැඩ ඇරිලා ගෙදර එත්දී, තඩාර් කැන්ගරුවෙක් වාහනේ වැදුන. මෙයිට පෙර දහ දොළොස් වතාවක් නොවැදී බේරා ගෙන තිබුණත්, මෙවර බැරි වූවා. හොඳ වෙලාවට අදාළ කිසිවෙකුට හෝ කිසිවකට බරපතල හානියක් වුණේ නැහැ.
කැලෑව අතරින් මහා මාර්ග හදල තියන එක, එනම් වන තීරු ඉතිරි කර නගරය නිර්මාණය කිරීම මාර ආකර්ශනීය දෙයක්. හැබැයි, වන සතුන්ට වන මරණ, මරණීය තුවාල විතරක් නොවේ, මිනිසුනට හා දේපොළ (වාහන) වලට වන අලාභහානි සැලකිය යුතු දෙයක්.
උදේ වැඩට යන විට, අප යන පාර අද්දර (හෝ සමහර විට මැද) මැරිලා ඉන්න කැන්ගරුවන් ගණන දිනපතා ගණන් කළොත්, එය සැලකිය යුතු ගණනක්. කුරුල්ලන්. වොම්බැට්ටන්, හිවලුන්, හාවන් ද මේ අතර ඉන්නවා (වාර්ෂිකව, කැන්ගරු ගහණය අඩු කරන්නට කියා, මරා දමන ගණන අමතක කළත්).
දැනට වසර දෙකකට පමණ පෙර මා කියවූ පර්යේෂණ පත්‍රිකාවකට අදාළ වී තිබුණේ, යුරෝපයේ කුරුල්ලන්, වාහන වල වේගය හඳුනා ගන්න ටිකින් ටික පරිණාමය වෙමින් තියන වග. මට මතක හැටියට යුරෝපයේ මෙසේ වාර්ෂිකව මියයන කුරුල්ලන් ගේ සංඛ්‍යාව මිලියන ගණනක්. වාහන වල වේගය, ස්වභාවික පරිසරයේ ඉන්න, විලෝපිකයන් ගේ වේගයට හෝ අනෙක් චලනය වන දේවල් වලට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා, උන්ගේ ප්‍රතික්‍රියා අවුරුදු මිලියන ගණනක් තිස්සේ විකරණය වී තියෙන්නේ, ඒ ස්වභාවික පරිසරයට අදාලව.
කුරුල්ලන්ට (හා සතුන්ට) වාහන වල වේගය හඳුනා ගත නොහැකි නිසා, උන් බලාපොරොත්තු නොවන අයුරින් වාහන වලට යට වෙනවා. දීර්ග කාලීන පර්යේෂණය කියන්නේ, උන් ටික ටික වාහන වල වේගය හඳුනා ගෙන ප්‍රතිචාර දක්වන්න පරිණාමය වෙමින් ඉන්න වග.
සතුන් පමණක් නොවේ, මිනිසුන් ද වාහන වල වේගය නිවැරදිව හඳුනා ගන්න හැකි විදිහට පරිණාමය වෙන්න තව කල් යාවි නේද?