Category Archives: Social

ගණන් හා චොක්ලට්!


මා ලියපු පරණ සටහනක් වන මල් හා චොක්ලට් යම් කෙනෙකු අද කියවා තිබුණා. මා ලියපු පරණ සටහන් කියවීම සමහර වෙලාවට මාත් කරන දෙයක්. මේවායින් මාත් සිතන හැටි කොතරම් වෙනස් වෙලාද, නැත්නම් නැතිද යන්න මටම මතක් කර දෙනවා. එපමණක් නොවේ, කියවීමෙන් මොලේ (සිත) කුරුවල් වන බොහෝ ප්‍රවුර්ති හා කතන්දර තියන මේ ලෝකයේ, මගේ සටහන් කියවීම මටත් සතුටක් ගෙන දෙනවා. මොකද, එව්වා ලියා තියෙන්නේ, මා විවේකීව ඉන්න වෙලාවට නිසා.

මේ සතියේ දිනක උදේ පුතත් එක්ක වාහනේ යනවිට එයා එයාගේ ගණිත ගුරුවරයා ගැන මට කතන්දරයක් කියුව. එනම්, එයා පාසලේ ඉගැන්වුවත්, කලින් කරපු වෙනත් අදහස් ආයෝජනයක් නිසා දැන් ලක්ෂපතියෙක් වී ඇති වග, එයාම කියුවා කියා. ඒ ගුරුවරයා ඉරාන සංක්‍රමණිකයෙක්.

ඉංජිනේරු විෂයයන් යටතේ ආචාර්ය උපාධිය දක්වා උගත් ඔහු,  කලක් සරසවියකත් උගන්වා තියනවා. පසුව පාසල් ගුරුවුර්තියට මාරු වී තියෙන්නේ සමහරවිට රැකියා වල තියන චංචල ස්වභාවය නිසා වෙන්න ඇති. තමන්ගේ දැනුමෙන් ඒ කාලයේ කරපු ආයෝජනයකිනුයි දැන් ඔහුට මුදල් ලැබෙනවා කියන්නේ.

එය නොවේ මගේ සිත් ගත්ත කරුණ. පුතා කියුවේ ඔහුගේ පැහැදිලි කිරීම් වලට සිසුන් කැමතියි කියන එක. ඒ නිසාම සිසුන් අතර ඔහු ජනප්‍රියයි. වාර පරීක්ෂණ නැත්නම්, සිසුන් ඉන්න තැන මනින්න කරන පරීක්ෂණ වලදී ඔහු කරන අපූර්ව දෙයක් දරුවා මතක් කළා. එනම් සිසුන්ගේ ආතතිය අඩු කරන්න චොක්ලට් එකක් හැමෝටම ඒ වෙලාවේ දෙනවා කියන එක. මට මතක් වුන, අපේ පාසල් කාලයේ සිටිය ගණිත ගුරුවරුන් දෙදෙනෙකු ගැන පුතාට මා කියුව. සමහර අය  විශයෙන් ඉහලටම උගත් වුවත්, වෙන කෙනෙකුට කියා දෙන්න දක්වන සමත්කම වෙනස්.

මේ සතියෙම වුන දෙයක් තමා වැඩ කරන තැන, මා භාවිතා කරන උපකරණයක් කැඩුන නිසා, එය මිලදී ගත්තු ආයතනයෙන් ක්ෂේත්‍ර ඉංජිනේරුවෙකු සිඩ්නි වල ඉඳන් මා ගෙන්වා ගත්ත. ඔහු මගේ අදහසේ හැටියට වියට්නාම් ජාතික සංක්‍රමණිකයෙක් වෙන්න ඕනේ. මා ඇහුවේ නැහැ. ඔහු ඒ ආයතනයේ දැනට වසර 16ක් තිස්සේ සේවය කරනවා.

එයත් එක්කම වෙළඳ කලමනාකරුවෙකුත් ආව. මෙයාල සාමාන්‍යයෙන් එන්නේ එකම වැඩක් කරන්න නොවේ. මාත් කියුවේ වෙන දෙයකට එන විට එන්නය කියා. මොකද ගෙවන්න වෙන ගාණ  නැත්නම් වැඩිනේ. මගේ අතින් යන්නේ නැති වුවත්, ‘අතින්’ යන ගාණ ගැන මා හැමවිටම සැලකිලිමත් කියාත් කියන්න ඕනේ.

අර දෙවෙනි කෙනා ඉන්දියන් ජාතිකයෙක්. මොකද මා ඔහුගෙන් කොහෙන්ද ආවේ කියා ඇහුව. එයට කලින්ම, ඔබ ලංකාවෙන් නේද කියා ඔහු මගෙන් අහලයි තිබුණේ. ගොඩක් වෙලාවට අප කියනවනේ, තමන්ගේ රටෙන් ආපු කෙනෙක් මේ විදිහට මුණ ගැහුණම කතා කරන්නේවත් නැතිය කියා. එහෙම අත්දැකීම් මටත් තියනවා. හැබැයි, කතා කරන, ‘තමන්ගේ’ කෙනෙක් කියන එකට යම් කිසි බැඳීමක් තියන, අපේ සබ් කන්ටිනෙන්ට් එකෙන් මෙහෙට ආපු බොහෝ දෙනා මට හමු වී තියනවා.

මිනිසුන්ගේ තියන මෙවැනි බැඳීම් නරකද? එවැනි දේවල් නරක වන්නේ, එවැනි ආකල්ප මගින් අනෙක් අයව තලා පෙලා දැමීමට උපයෝගී කර ගන්න තාක් කල් පමණයි කියා මා හිතනවා. මනුෂ්‍යයයන් සියල්ලම (ඉපදුන තැන, ජන වර්ගය, හමේ පාට, ගැහැණු-පිරිමි වග, ලිංගික ආකර්ෂණය වගේ ලක්ෂණ සිතට ගන්නේ නැතිව) එක හා සමානයි කියල අපගේ සිතට නිසඟයෙන් දැනෙන දිනයක්  කවදා හරි ඒවි  කියා සිතමු.

අනික් කෙනා උපකරණය හදන්න වෙහෙසෙත්දී, මාත් අර ඉන්දියානු සංක්‍රමණිකයත් වෙනත් වල්පල් කතා කෙරුව. එක තැනකදී අපේ දරුවෙක් ගැන මා කියපු කරුණකදී, ඔහු කියුවේ ‘ ආ උඹලයි අපියිද, එක්කෝ අපේ දරුවෙක්…..කරන්න ඕනි නැත්නම්…… කරන්න ඕනිය කියල සිතන මිනිසුන් නේ’  කියා.

මට මා ජිවත් වන හැටි අනුන්ට පැහැදිලි කර දෙන්න අද වෙනකොට කිසි උනන්දුවක් ඇති වන්නේ නැහැ. මේ වගේ අනායාසයෙන් ලියන බ්ලොගයකදී මා සමහරවිට ඒ ගැන ලියන්නේ මටමයි. මුලින් කියුව වගේ, වෙනත් අයටත්  ප්‍රයෝජනවත් වෙන්න හැකි වුවත්, ජීවිතය වෙනස්වීම (හෝ නොවීම) ගැන නැවත සිතීමෙන් මා සතුටක් ලබනවා.

අර ඉන්දියානු සංක්‍රමණිකයා හා එක්ක කරපු කතාවේ සියල්ල මා ලියන්නේ නැහැ. ඕනෙම කෙනෙක් සමාජයේ සාමාන්‍යයෙන් වන දෙයට අනුව, කෙනෙක්ව තක්සේරු කරන එක ගැන මගේ බලවත් විරෝධයක් නැහැ. දරුවන් වෙනුවෙන් අප යම් මැදිහත්වීමක් එදාත් අදත් කරන නමුත්, ඔවුනට අනාගත වෘත්තීය හෝ සහකරුවා හෝ සහකාරිය හෝ, ජිවත්වන රට හෝ ප්‍රදේශය ගැන හෝ කිසිම බලපෑමක් කිරීමට අපට අදහසකුත් නැහැ.

අනුන්ගේ තෝරා ගැනීම් ගැන සමාජයක් ලෙස මැදිහත් වීම් ගැන මා නිතරම ලියනවා. එතැනදී මා කියන්නෙත් බහුතර කැමැත්තයි. සියලු දෙනා එකසේ කැමති විසඳුමකට හෝ හැම දෙනාටම ගැලපෙන විසඳුමකට අපට කිසිදා යන්න බැරි වේවි. විවිධ දුර්වලතා යටතේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී කියන පාලන ක්‍රමය, අදත් අනෙක් පාලන ක්‍රම වලට උඩින් තියෙන්නේ ඒ නිසාමයි.

එවැනි සමාජ ක්‍රමයකදී වුවත්, තමන් කැමති හැටියට ජිවත් වීමට හැකි තරම් අවස්ථාව සලසාදීම අවශ්‍යම දෙයක්. මා මැදිහත්වීම් කියා කියන්නේ, සමාජයේ අනෙක් අයට වඩා ඉහලින් ඉන්න බලගතු කණ්ඩායම් වල බලපෑම අඩු කිරීම. එයට අප වගේ සාමාන්‍ය ජනතාවගේ ආකල්ප, ඉගෙනීම්, තේරුම් ගැනීම් තමා තීරණාත්මක වන්නේ.

Advertisements

12 Comments

Filed under Lifestyle, Migration, Opinion, Social