Tag Archives: අනාගතය

ඒ සිහිනේ සැරි සරමු අපි…………!


අදත් ඔන්න ඔහේ සටහනක් ලියා දමනවා. මේක අද ලියුවේ නැත්නම්, වෙන කිසිදා නොලියවේවි. මේ බ්ලොගය පටන් ගත්ත මුල් කාලේ (මැස්සෙක්වත් නොකියවපු කාලේ) මා බිරිඳට කොම්පියුටරේ මේක දමල, කියවන්නට දුන්න. මොකද මේවා කියවන කෙනෙකුට තේරෙන්නේ නැත්ද කියල බලන්න. ඇය මට වරදක් කියුවේ නැහැ. ඉන්පසු ටික කලක් මේවා කියවපු ඇය, ඒවා නතර කෙරුවා (කොලා තමයි, ඉතිං අනික් අය කියවයිද 😀 ).

එයට ප්‍රධාන හේතුව ඇය “ගැජට්” භාවිතා කරන්නියක නොවීමයි. මේ තිරයේ කල්ගත කරනවා කියා මටත් අනෙක් දෙදෙනාටත් ඇය නිතරම සිනා සෙනවා. මේකේ කරක් ගහන එක එක්තරා විදිහක ඇබ්බැහියක්. මේකෙන් අනෙක් කියවීම් විස්ථාපනය වනවා. එක අතෙකින් එය හොඳ දෙයක්. තවත් විටක නරක දෙයක් කියාත් මට සිතෙනවා.

දැන් මේ මොනවාද ලියන්නේ කියා ඇය අහනවා. මා කියුවේ මේවා නිකම් ඉන්න විට කියවා බලන්න කියල.

අපේ අම්ම කාලෙකට පස්සේ ලියුමක් එවා තිබුණා. දුරකතනයකින් කතා කරනවා වගේ නොවේ ලියුම් වෙනස් වගේම, ඒවාට අදාළ කරුණුත් හරි වෙනස්.

ඔබට එක පාරටම නොතේරුණාට, තමන්ගේ සිතිවිලි සටහන් කිරීම හා නිකම් සිතීම කියන්නේ දෙකක් වගේම, මේ දෙකෙන් සිදුවන අපට බලපෑම හරිම වෙනස්. මේවා ගැන ලියවී තියනවා. මාත් ලියන්න බලන්නම්.

ඉස්සරත් මා ලියුවේ මටම තමා. හැබැයි අනුන්ද එතන සිටියා. එනම් මට අවශ්‍ය නොවන, අනුන්ට අවශ්‍ය දේවල්ද ඒවා අතර තිබුණා. මේ සටහන් අතර අදත් එවැනි දේවල් තියනවා. නමුත් අද මා ප්‍රධානව ලියන්නේ මට. මගේ අතිජාත පාඨකයෙක් මේවා අප්‍රබංශ බවට පත්වී තියන වග වෙනතැනක සටහන් කර විට, මා පුදුමයට පත් වුනේ නැහැ.

අම්මගේ ලියුමේ තිබුණේ, මා ලංකාවේ සිටියා නම්, වෙනස්ව සිදු වන්නට හැකියයි ඇය අනුමාන කරන දෙයක්. මා අද අම්මට කතා කරන විට කියුවේ, ඒ අදහස වැරදියි, අම්ම එහෙම සිතන්නේ, මා ලංකාවේ නොසිටින නිසා, මා ලංකාවේ සිටියත්, එය එයිට වඩා වෙනස් විදිහකට කෙරෙන්න තිබුණ ඉඩකඩ හරිම අඩුයි කියල.

ජිවිතයේ මෙන්න මේ වගේ වෙනස්ව වෙන්න හැකිව තිබුණා යයි අප සිතන දේවල් ගැන පසුතැවීම පලකට ඇත්ද?

කෙනෙකුට මෙන්න මේ වගේ සිතන්න හැකි නම් කොතරම් හොඳද? “මං හැම දවසකම අවදිවන්නේ අලුත් දවසකට. මං ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්නැහැ”. අතීතයේ කුණු කන්දල් අපට හලා ගන්න හැකි නම්, අද කියන දිනය මෙයට වඩා සොඳුරු දිනයක් වේවි. නමුත් කරන්නටත් අමාරු අන්න ඒ දෙයම නේද?

පසු වදන
මේ ගීතයට මා කැමතියි. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මා කැමති ගායකයෙක්. හැබැයි ඔහු ගයපු ගීත වලින් මා කැමති මේ ගීතයට විතරක් ම වගේ. තරුණ සේවා සභාවේ ෂර්ලි වයිජයන්ත සංගීතය උගන්නපු කාලයේ බිහිවුණ දක්ෂ ශිල්පින් අතර චන්ද්‍රසේනත් එක අයෙක්. ෂර්ලිත් කියපු ගීත නරකම නැහැ.

ගායකයෙකුට “ලස්සන” කටහඬකට අමතරව සංගීත පරිචයක් තිබීම සාර්ථක කැරියර් එකකට වඩාත් වැදගත් බව මා කලින් ලියුවා. අන්න ඒ වගේම ගායකයෙකුට තමන්ට ගැලපෙන “සුසංයෝජන” හමු වීම හෝ නොවීමත් “සාර්ථක හෝ අසාර්ථක” බවට බලපාන දෙයක් (සාර්ථක, අසාර්ථක බව සාපේක්ෂ නිසා උදෘත පාඨ දැමුවා). මෙන්න මේ දෙය ගායකයන්ට පමණක් නොවේ, අප හැමටම පොදු දෙයක් කියාත් කියන්න හැකියි. එනම් ගැලපෙන සුසංයෝජන හමුවීම හෝ නොවීම. එය මගේ කලින් සටහනටත්, මේ සටහනටත් අදාලයි. චන්ද්‍රසේනට නැවත ආවොත්, එවැනි සුසංයෝජනයක් හමු වූවා නම්, ඔහුත් මෙයට වඩා මා ප්‍රියකරන ගායකයෙක් වන්නට ඉහල ඉඩකඩක් තිබුණා.

සටහනත් එක්තරා විදිහක ඉලක්ක ගත කර ලියූවක්. මට කැමති කෙනෙකු, අකමැති දහස් ගණනකට වඩා මා අගය කරනවා. වැරදි වීම/කිරීම අපේ ස්වභාවයක්. වැරදි පිලි ගැනීම එයිට වඩා අමාරුයි. මා නැවත නැවත “වැරදි” කරපු කෙනෙක්. ඒ සියල්ල නොසලකා මා සමග ඉන්න කෙනෙකු හමු වීම මගේ “වාසනාවක්”. ඔබත් එහෙම කෙනෙක් ද? සමහරවිට මුහුණට කියන්න අවශ්‍ය දේ, කියන්නට අවස්තාවක් නොලැබීම මහා ටෝචර් එකක්. 😦

…….ආසයි ආ මග ආයිත් එන්නට “අප පෙම” බිඳුණු තැනින්….?

Advertisements

10 Comments

Filed under Lifestyle