Tag Archives: අපේ ආකල්ප

අප නොවන අප!


IMG_2955

ජීවිතය ගෙවෙන්න, ගෙවෙන්න මා අකමැති දේවල් වල අලි ගැලී ඉන්න එකින් අයින් වූවා. දැන් ඔබ හිතාවි අප හැමෝම ඕක කරනවා නේද කියා. එය එහෙමද කියා සිතන්න ඔබටම පුළුවන්. එයින් එකක් තමා ආගමික වත් පිළිවෙත්. අපගේ දරුවන්, කිසිම ආගමක් ජිවිතයට සම්බන්ද කර නොගනිවී කියා මා හිතනවා.

මිනිසුන් විවේචනය කරන බොහෝ දේවල් වලින් ඇත්තටම අයින් වෙන්න නොහැකි වීම, අප වැඩිය සිතන්නේ නැති දෙයක්. නැතිනම්, මේ විවේචන තියන හැටියට මේ සමාජය මෙයිට වඩා වෙනස් වන්න ඕනේ නේ.

IMG_2957

අප සමහර විට කියන දෙයක් නේ, ධනාත්මක සිතිවිළි වලින් ජිවිතය පුරවා ගන්න කියා. ලාංකික අපගෙන් (මේ සංක්‍රමණිකයන්ද ඇතුළුව) 50% කට ආසන්න ප්‍රමාණයක්, (කුමන මොහොතක් සැලකුවත්) ලංකාවේ පාළනය කඩා වැටෙන කම් බලා ඉන්නවා. සමහර වෙලාවට පුදුම හිතෙනවා එහෙම මිනිසුන් සිතීම.

රටේ පාලනය වකූර් වී, ආර්ථික කටයුතු හොම්බෙන් ගියත්, තමන්ට ම කෙළ වුවත්, තමන් අකමැති දේශපාලකයන්ට බනින්න අවස්ථාවක් උදා වීම, එයිට වඩා සතුටක් වග මේ අපේම අය, දිනපතා හුවමාරු කර ගන්න දේවල් වලින් පෙනෙනවා. මා හිතන්නේ සමාජ ප්‍රගමනයට අකමැති විශාල පිරිසක්, විවිධ ප්‍රතිශත වලින්, ලෝකයේ විවිධ රටවල ඉන්නවා. එය නොවේ කරුණ, මිනිසුන් සතුට සඳහා සොයා යන දේවල් වල තියන පරස්පරත්වය.

IMG_2968

ඉහතින් ලියුවේ එතරම් ධනාත්මක නොවන සිතිවිලි ටිකක්. මේ කියන්නෙත් ඒ වගේම දෙයක්. අද උදේ රේඩියෝවේ මට ඇහුනේ, මෙහෙ එක ප්‍රතිචක්‍රීකරණ සමාගමක වෙයාහවුස් වල තවත් ඉඩ නැතිය කියා. එයට හේතුව නම්, චීනය තව දුරටත් ‘කුණු’ බාර ගන්නේ නැති වීම. මා කුණු කියුවේ, යළි  ප්‍රතිචක්‍රීකරණය කරන්න හැකි, ප්ලාස්ටික් වැනි දේවල්.

ඒ කතාවේදී කියවුනේ, චීනය ඇත්තටම කුණු බාර ගන්නේ නැතුවා නොවේ, කලවම් කුණු බාර  ගන්න එක නවතා කියා. උදාහරණයකට, ප්ලාස්ටික් වල, බෝතල්, මූඩි හා මූඩි කර එක්ක එකට කලවම් වීම 0.5% කට අඩුවෙන් තියෙන්න ඕනෙය කියා.

ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකුණු බඳුනට දමන විට, මූඩි ගලවා දමන්න කියනවා. එයට හේතු දෙක තුනක් තියනවා. ප්‍රධාන දේ නම්, බෝතලය හා මූඩි හදල තියෙන්නේ වෙනස් ප්ලාස්ටික් වර්ග දෙකකිනුයි. එව්වා එකට ප්‍රතිචක්‍රීකරණය කරන්න නොහැකියි. එම බඳුනට දමන්න ඕනේ නැති දේවල් ගොඩක් දමන මිනිසුන් ඉන්න විට, මූඩි ගැලවීම ගැන කවර කතාද?

මට කියන්න ඕනේ එය නොවේ, ‘පළමු ලෝකය’ සමහර විට කරන දේවල්. කුණු ටික චීනය ගන්නේ යම්කිසි ආර්ථික ලාභයක් තියන නිසා කියමුකෝ. නමුත් බලන්න, මෙහෙ පරිසරය පිරිසිදුව තබනවා කියුවට, ලෝකයේ වෙනත් තැනක සිදුවන පරිසර දූෂණය.

කලකට ඉහත මෙහෙ රාජ්‍ය රූපවාහිනියේ ගිය වැඩසටහනකදී, මා දැනගත් කරුණක් තමා, ඕස්ට්‍රේලියාවේ නිපදවන කෙසෙල් වලින් 40% ක් පමණ අස්වැන්න නෙලා, ඒ කියන්නේ කැන් කපා වෙළඳ පොලට එවන්න පෙර කුණු ගොඩට යවනවා.

සුපර්මාර්කට් වල කොස්මෙටික් නිර්වචන වලට අයත් නොවන, විශාල ගෙඩි, කුඩා ගෙඩි, නැවිච්ච, එකට ඈඳීච්ච යනාදී වශයෙන් ඉවත් කරපු විට, එය මුළු අස්වැන්නෙන් භාගයක් පමණ. බලන්න ඇත්තටම කියුවොත්, මෙය මිනිස් කමට එරෙහි අපරාධයක්. එවැනි දේවල් වෙනස් කරන්න පාරිභෝගිකයාට හැකිද කියන එක තව ප්‍රශ්නයක්.

සාමාන්‍ය මිනිසුන් වශයෙන් අපගෙන් බොහෝ දෙනෙකු සමාජ ක්‍රියාකාරීන් නොවේ. සමාජ ක්‍රියාකාරීන්ගේ ජිවිත වලින් සමහරක් එලිවී ඇති පරිදි, ඔවුන් පෙනී සිටින දේවල් වලට අනුව ජීවත් වූ එව්වා නම් නොවේ. හැබැයි, ආගම් වල ඉඳන් කෙසෙල් දක්වා අපට හිතට දැනෙන පරිදි ගන්න හැකි තීරණ, ගැනීම තමා අපට කරන්න හැකි ප්‍රශස්තම සමාජ ක්‍රියාකාරිත්වය වන්නේ.

අනෙක් කරුණක් නම්, පෘථිවියේ පැවැත්මට හානිදායක, එමගින් අපගේ පැවැත්ම අනතුරේ හෙලන,  මිනිසා විසින් කරලා තියන හැම දෙයක්ම මෙතෙක් කර තියෙන්නේ අප සාමාන්‍යයෙන් බුද්ධිමත්ය කියන, ඒබල් ශරීර තියන අයම  තමා.

 

Advertisements

7 Comments

Filed under Opinion, Reflections