මා කොතරම් කියුවත් කියවන දෙතුන් දෙනාගේ අදහස් කෙලින්ම කුණු කුඩයට දාන්නේ නැහැ. මගේ කුඩා පාඨක පිරිස නැත්නම්, මගේ බ්ලොගයට පැවැත්මක් ද නැහැ. ඒ විතරක් නොවේ, පදනමක් නැත්නම්, සහායක් නැතුව කිසිම දෙයකට පැවැත්මක් නැහැ. දැන් නැහැ කියල ඉවර කරන වාක්‍ය ගාණ වැඩිවෙමින් යන හින්දා ඇත්තම කතාවට යමුද? දේශපාලනය ගැන ලියන්න එපා කියලනේ මට කියන්නේ. මා කැමති මාතෘකාවක් වන ආහාර ගැන ලියන්නම්.
පොඩි කාලේ අම්ම හදන අච්චාරු මුට්ටිය වහන්නේ පත්තර කොළයකින් නැත්නම් කෙහෙල් කොළයකින්. මෙය ඉවත් කරන විට මුහුණ ඒ අසලින් තිබුනොත් නාසය කඩාගෙන යන සැරක් දැනෙනවා. එයට මුලිකවම බලපෑවේ, අඹරපු අබ හා විනාකිරි වල මිශ්‍රණයයි.
හැබැයි මා ජිවිතයේ මුල් වරට හරියට අබ සරණ ගියේ එක්තරා රටක අගනුවරක, පදික වේදිකාවක කාපු අබ සෝස් සහිත “උණු බල්ලෙක්” ගෙන්. අර කලින් කියපු ලංකාවේ අච්චාරු වලින් යම් අබ සරණක් ගිහින් තිබුනත්, එය කොයි වගේ ද කියල හරියටම දැන ගත්තේ එදා. දැන් නම් අබ සරණ මොනවගේද කියල හරියටම දන්නා නිසා (පෙර සුදානම නිසා) එදා තරම් අමාරුවක වැටෙන්නේ නැහැ.
යේසුස් වහන්සේ නම් කියල තියෙන්නේ අබ ඇටයක තරම්වත් විශ්වාසයක් නැතුව, දෙවියන්ගෙන් උදව්වක් නම් ලබන්න බැහැය කියලා. මට මතක හැටියට අර ළමයෙක් සුව කරන්න බැරිවුන එකට හේතුව වුනේ, එයාට අබ ඇටයක් තරම්වත් ස්වාමින් වහන්සේ ගැන විශ්වාසයක් නොතිබුන නිසා.
බුදු හාමුදුරුවන් නම්, ඔය විශ්වාස නොවේ, නිරීක්ෂණය හා විශ්ලේෂනය කර ගත යුත්තක් තියනවා කියලා තමන්ම තේරුම් ගන්න පුළුවන් කියන දේවල් ගැන තමා වැඩිපුර බරක් යෙදුවේ. එතුමා කියල තියෙන්නේ, “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it” කියා. මෙවැනි තේරුම් ගැනීම් වලට යම් කිසි ඥානයක් අවශ්‍යයි. අබ ඇටයක නොවේ, අබ මල් රේණුවක වත් ඥානය නොමැති හෙවත් ඥාන-අසාර පිරිස් වලට බුදු දහම නැත්නම් බුදු හාමුදුරුවන්ගේ දේශනා ආගන්තුක දෙයක් වීම පුදුමයට කරුණක් නොවේ.
ඒ කතා පැත්තක දමමු. ඔය පොල් සම්බෝලයක් හෝ පරිප්පුවක් තෙම්පරාදු කර ගන්න විටත්, උණු තෙල් වලට අබ ඇට දමලා පුපුරවා ගන්නවා. තරහ ගිහිං ඉන්න වෙලාවට, මුහුණට අබ ඇට දැම්මත් පුපුරවා ගන්න පුළුවන් කියන්නේ ඒකයි. මේ අබ පුපුරවා ගැනිල්ලෙන් අමුතු රසයක් ව්‍යංජනයට හෝ සම්බෝලයට එකතු වෙනවා.
අබ ඇටයක් කියන්නේ ඉතා කුඩා බීජයක්. මේවා කුළුබඩුවක් විදිහට පාවිච්චියට ගැනීම ඉතා ඈත අතීතයට යනවා. අබ අයිති වෙන්නේ Brassicaceae පවුලට. මේ පවුලටම තමා අප එළවලු ලෙස කන ගෝවා සහ බ්රොකලිත් අයිති වන්නේ (බ්රෝකලි මලවල ගන්න විදිහක් මා පසුව ලියන්නම්-ඔබේ අවසරය ලැබෙනවා නම්). හැබැයි අබ හා මිරිස් මගින් අපට ඇතිකරන සංවේදනා වෙනස්. මිරිස් කෑවොත්, සැර දිවට හා උදරයට දැනෙනවා. මා කලින් ලියුවා මිරිස් වල අපට දැනෙන සැර ඇති කරන්නේ කැප්සයිසින් කියන රසායනයයි.
හැබැයි අබ එහෙම නොවේ. අබ සරණ ගියොත් මුලින්ම දැනෙන්නේ නාසයට. අබ විතරක් නොවේ, wasabi සහ horseradish යන ශාක වලින් හදන සෝස් වර්ග වලිනුත් ඇති වන්නේ එකම වගේ සැරක්. හැබැයි අබ ඇට වගේ නොවේ, වසාබි හා හෝර්ස්රැඩිශ් ශාක වල කෑමට ගන්නේ ඒවායේ අලයි. මෙයිනුත් වසාබි කියන්නේ ජපානයෙන් පැවතෙන ශාකයක්. හෝර්ස්රැඩිෂ් පැවතෙන්නේ යුරෝපයෙන් කියා කියවෙනවා.
අබ ඇට හෝ වසාබි අල නිකම් තිබුනට අපට කිසි සැරක් දැනෙන්නේ නැහැ. මේවා වතුර හෝ විනාකිරි සමග අඹරා ගත්ත විට තමා මේ නාසය කඩාගෙන යන සැර දැනෙන්නේ. මෙම ශාක කොටස් වල තියන සමහර රසායනයන්, ඇඹරීම හෝ කැපීම නිසා එන්සයිම සමග මිශ්‍ර වී ජලවිච්චේදනය වීමෙන් අයිසෝතියෝසයනේට් රසායන කාණ්ඩ බවට පරිවර්තනය වෙනවා. “අබ තෙල්” නැතිනම් isothiocyanate කියන රසායන කාණ්ඩයන් වාෂ්පශීලියි. මෙම වාෂ්ප අපගේ නාසයේ හෝ ඇසේ පටක මත පතිත වුනහම තමා අර කඩාගෙන යන සැර ඇති වන්නේ.
මේ අබ තෙල් වල බැක්ටීරියා නාශන ගුණ තියනවා. ඒ වුනත්, මේවා සාමාන්‍ය තත්ත්ව යටතේ ඉක්මනින් වියෝජනය වනවා. ඒකට ප්‍රතිකර්මයක් තමා මෙවැනි සෝස් වර්ග ආම්ලික මාධ්‍යයක ගබඩා කිරීම. ආම්ලික මාධ්‍යයකදී මේවා ස්ථාවරයි. අබ අඹරල විනාකිරි සමග මිශ්‍ර කිරීමේ රහස එයයි. අබ සෝස් හා හෝර්ස්රැඩිශ් ක්‍රීම් වල මාධ්‍යත් ආම්ලිකයි.
මිරිස් වගේ දිව මත ඇතිකරන දැවිල්ලක් වෙනුවට නාසය කඩාගෙන (ඉස්මොල්ලේ) යන සැරක්, මේ “අබ තෙල්” වලින් දැනෙන්නේ ඉහත කරුණ නිසා.
වැඩි දුර කියවීම් http://homecooking.about.com/od/foodhistory/a/mustardhistory.htm
ප ලි
කෙනෙක් අබ සරණ යවනවා කියන්නෙත් මේ වගේ වාෂ්ප කරනවා කියන අර්ථයෙනුත් වෙන්න පුළුවන්. අතීතයේ මනුෂ්‍යයා ගෝත්‍රික ජනයා ලෙසින් ජිවත් වුන වකවානු වල ‘අබ සරණ මංගල්‍යයය’ නමින් වතාවත් කර ඇති වග, ගල් ගුහා වල ඇඳ තිබෙන ප්‍රාථමික චිත්‍ර වලින් පෙනී යන වග ඉතිහාසඥයන් කියනවා. මධු පානයෙන් ඇරඹුන මේ උත්සව, රසමසවුළු වලින් පිරිණු ආහාර සංග්‍රහයකින් පසුව, දේපොළ හා ජිවිත ගිනි දෙවියාට පුද කරපු වතාවත් වලින් අවසන් වූ වග තමා ශිලා ලිපි වලින් දැන ගන්නට තියෙන්නේ.
හිමාලයේ ගල් ගුහාවක ඇඳි චිත්‍රයක්. මෙහි දැක්වෙන්නේ අබසරණ මංගල්‍යයයේ මුල් අවස්තාවක් විය හැකි බවයි ඉතිහාසඥයන්ගේ මතය.