Tag Archives: ඉල්ලුම්පත

Boxing Day thoughts – That’s the way I like it!


ආහාර පුරුදු වගේම වැඩ කරන හැටිත් එක එක රටවල වෙනස්. ඒ වගේම අපේ ආකල්පත් වෙනස්. අධ්‍යාපන සහතික තිබුනත් මුල් බැස තියන සමහර ආකල්ප නිසා රැකියා අවස්ථා නැති වෙලා යනවා කියා නොයෙක් වෙලාවට කිය වෙනවා. පසුගිය දා දිවයින පත්තරේ තිබුන  මේ පුවත පලවෙන්න  කලින් මා පහත සටහන ලියුවේ.

ලංකාවේ දේශපාලකයන් හා ඒ අධ්‍යාපන ක්‍රමය තුලින්ම  බිහිවුන නිලධාරින් හැමදාමත් මේ ආකල්ප කතාව කියනවා. නමුත් ආකල්ප හදන්න විදිහක් සොයන්නේ නැහැ. හමුදා පුහුණු ගොන් පාට් වලින් මේ කියන ආකල්ප හදන්න පුළුවන් කියා මා නම් විශ්වාස කරන්නේ නැහැ. එය කුඩා පන්ති වල ඉඳන්ම විෂය නිර්දේශයේ කොටසක් විය යුතුවා වගේම, සමාජයෙන්ද ලැබෙන ආදර්ශය  වැදගත්.  ඒ වගේම දෙමාපියන් හා සිසුනුත් බලාපොරොත්තු වන්නේ, තමන්ගේ ආකල්ප දේශපාලකයන් විසින් වෙනස් කරනු  ඇතැයි කියා. ඒ වෙනුවට අපට වෙන  මාර්ගයක් නැත්ද?

සරසවි වලට තේරෙන සිසුන් සඳහා පෙර පුහුණුවක් දීම නරක අදහසක් නොවේ. හැබැයි එවැනි පුහුණුවක ප්‍රධාන කොටස් කරුවන් විය යුත්තේ රටේ විවිධ ක්ෂේත්‍ර වල කුසලතා පෙන්වූ වෘත්තිකයන්. ඔවුන් අතර  උපාධිධාරීන්, අට පාස් වුන  කට්ටිය, කුඩා කාලයේ පන්තියේ අන්තිමයා වුන අය ආදී වශයෙන් නොයෙක් දෙනා ඉන්න පුළුවන්. කඩයිම් විභාගයකදී ඉහල ලකුණු නොගත්තත් එය ජිවිතයේ ප්‍රධාන ප්‍රශ්නයක් නොවිය යුතු බව මුලින්ම මේ අයට කියා දීම, වැදගත් කියා මට යලිත් වරක් සිතුනේ පසුගිය දිනවල මොරටුවේ ගහගත් සිසුන් ගැන නොයෙක් තැන් වල ලියවුන අදහස් කියවීමෙන්.

ඒ වගේම නිදහස් අධ්‍යාපනය කියන්නේ ඕනෙම රටක වරප්‍රසාදයක්.   එයට මුළු සමාජයම බර දරනවා. විශේෂයෙන් සරසවි අධ්‍යාපනය නිදහස් කියන්නේ ලොකු වරප්‍රසාදයක්.  එවැනි වරමක් ලැබූ අයම, තමන් සමාජයේ අන්කවරෙකුටවත් වඩා, උසස් හෝ  තව තවත් වරප්‍රසාද ලැබිය යුත්තන් කියා සිතීමම එක්තරා අයුරින් කනගාටුදායක තත්වයක්. අධ්‍යාපනය ලබා දීමෙන් නොනැවතී, උපාධිය අහවර කල පසු,  විදේශ  ණය අරන් හෝ නිෂ්පාදන හෝ සේවා හෝ කිසිම දෙයක් කෙරෙන්නේ නැති උනත් ආණ්ඩුවේ රැකියා උත්පාදනය කර ඔවුන්ට ලබා දිය යුතුයි කියන මානසික තත්වය ලංකාවේ තියනවා  කියලා  නොයෙක් කාල වල මතු වෙනවා.

අපට රැකියා උත්පාදනය කර දියව් කියන සටන් පාඨය එතරම් නරක  නැහැ. හැබැයි අපට ආණ්ඩුවේ රැකියා දියව් කියන සටන් පාඨයම වැරදි එකක්. එයට කලින් වට රවුමට එන්න ඕනේ සාපෙන් හා උපෙන් හැලුන කට්ටිය.

අනෙක්  අතට එහෙම  රැකියා ලබා ගත්ත බොහෝ දෙනා වැඩ කරන හැටි නම්  අපුරුයි. මේවා චක්‍රලේඛ පිට දාල අත හෝද  ගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි රජෝ, ඒක නොවේ ඇත්තම කතාව. ලියුම් රෙජිස්තර කරන එකා, ලියුමකට ගහන්න මුද්දරේ විකුනන්නේ නැත්තේ එය අනිකාගේ රාජ කාරියක් කියා සිතීම නිසාද නැත්නම් චක්‍රලේඛ මගින් වලක්වා  නිසාද කියා මා හරියටම කියන දන්නේ නැහැ. කොයික උනත් හොඳ දෙයක් නොවේ. හැබැයි තමන්ට කරන්න පුළුවන් උවත්, “අනුන්ගේ  වැඩක්” නිසා නොකර ඉන්න එක අපට නුහුරු දෙයක් නම් නොවේ.

මේ  කතාවත් එවැනි ආකල්ප වලට සම්බන්ද  එකක්. එක්තරා ඕස්ට්‍රේලියානු නගරෙක, මා ඒ දවස්වල ඉගෙන ගනිමින් හිටියේ. මගේ ගුරුවරයා  ඉල්ලා හිටියා, ඔහු ගාව ඉගෙන ගන්න අලුතින් ශිෂ්‍යත්වයකට ආපු කෙනෙකුට පොඩි උදව්වක් කරන ලෙස.  මේ කියන කෙනා ලංකාවේ නොවුනත්, දකුණු ආසියාවේ අපේ සහෝදර රටක කෙනෙක්.  ඔහු ආව ගමන් නිසා, රට ගැන අවබෝධයක් තිබුනේ නැහැ. ඒ වගේම වාහන එලවන්න පටන් අරන් තිබුනෙත් නැහැ.  සරසවි මහාචාර්ය වරයාට රියදුරෙකු සමග කිරි-කිරි වාහනයකුත් සරසවියෙන් සපයලා තිබුනේ නැහැ (ගණන් ගන්න එපා 🙂 ). මෙහෙ සරසවි වල කිරි- කිරි වාහන තිබුනට, ඒවාට රියදුරන් නැහැ. කොහාට හරි යන්න නම්, වාහනය ගන්න පුළුවන්, රියදුරා තමන් තමා.

උදව්ව තමා ටිකක් ඈත පෙදෙසකින්, ඔහුට අවශ්‍ය පාංශු සාම්පල කිහිපයක් ගෙන ඒම. මා කැමති උනා.  මා ඇඳන් ගියේ කබල් කලිසමකුයි, ඊටම ගැලපෙන බැනියම් කෑල්ලකුයි, මේ වගේ ගමන් වලට දාන ජරා සපත්තු දෙකකුයි. යකෝ, අරූ ඇවිත් හිටියේ දිලිසෙන සපත්තු දෙකක් දාලා, මැදපු කලිසමක්, කමිසයක්  ඇඳලා හා ඊට උඩින් පෙනුමැති ජැකට්ටුවක් දාලා. මාත් වචනයක් නොකියා නග්ග ගත්තා. ඔහොම ගියාය කියමු. දැන් අප පස් කපන්න ලෑස්ති වෙනවා. පොරගේ රටේ සරසවියක සහාය මහාචාර්ය කෙනෙක්. උජාරු කතා වලත් කෙළවරක් නැහැ. “මේ වගේ වැඩක් කරන්න අඩු ගානේ හත් අට දෙනෙක් වත් ඉන්නවා, අප කරන්නේ “සුපර්වයිස්’ කිරීම විතරයි. මා හිතුවේ මෙතනත් කවුරු හරි ඉඳීවි කියලා”. ඔය වගේ ගොන් කතා. කොහොම හරි සපත්තු කමිස වල පස් ගාගෙන මිනිහා අමාරුවෙන් වැඩ කළා. හැබැයි, වැඩියෙන් වැඩ කලේ මන්. එකක් තමා උගේ උල් සපත්තු හා අත්  දිග කමිස එක්ක මේ වැඩේ කරන්න අමාරුයි. අනික තමා  අර යකාට බනින එකට වඩා වැඩ කරන එක පහසුයි. කොතරම් බැන්නත් මිනිහා හිනා වෙමින් ඉන්නවා.

මේ මනුස්සයා මෙහෙ ආවේ ඉගෙන ගන්න. හැබැයි ඒ ඉගෙනීමත් තමන්ගේ රටේ පුරුදු වෙලා තියෙන අර පොතෙන් ඉගෙන ගැනීමට පමණක් සීමාවුන  එකක් කියලා, මට සිතෙන එකම කරුණ පෙර කතාවම විතරක් නොවේ. ඔහු ගැන සටහන් හත අටක් ලියන්න පුළුවන්. මා නයි හෝ ගැරඬි නැති කතාවක් තමා තෝරා ගත්තේ. අනික්වා ලියන්න යන්නේ නැහැ. කොතරම් ලියුවත් ඇති වැඩකුත් නැහැ. සේරම කතා මේ වගේම තමයි.

පසු වදන

මෙවැනි අයත් මේ රටවලට ශිෂ්‍යත්ව හොයාගෙන එනවා. ලංකාව වැනි රටවල ඉන්න මුලික උපාධියක් තියන අයට හොයා ගන්න පුළුවන් එවැනි අවස්ථා විරලම නැහැ. එවැනි ඉල්ලුම් පත් සැකසීමේදී සමහරුන් කරන අඩුපාඩු නිසාම සමහර වෙලාවට  ලැබෙන්නේ නැහැ. හැබැයි, මා කලින් ලියුව කෙනා වගේ අයට වඩා ආකල්ප අතින් කෙසේ වෙතත් දැනුම අතින් හෝ ඉහල කට්ටිය ලංකාවෙන් හොයා ගන්න එතරම් අපහසු යයි මා හිතන්නේ නැහැ

(පසුගිය වසරේ නත්තල් දිනට පසුදා ලියුවක් ප්‍රතිසංස්කරණය කරන ලදී)

Advertisements

5 Comments

Filed under Careers/Employments