Tag Archives: ඊජිප්තුව

අද හිනැහෙන්නේ කොයි ලෙස දෝ මන්දා?* A ruler-for-life?


Arab-Summit-New-Midea_Horo-635x357

{ඒකාධිපතියන් හතර දෙනෙක්; ඉදිරිපෙළ වමේ සිට, බෙන් අලි-ටියුනීසියාව, අබ්දුල්ල සලෙයි-යේමනය, මුඅම්මර් ගඩාපි-ලිබියාව සහ හොස්නි මුබරක්-ඊජිප්තුව (photo credit: AP/Amr Nabil)}

ඊජිප්තුවේ ජනතාව පාරට ආවේ දේශපාලන ව්‍යාපාරයක නායකත්වයෙන් නොවේ. එය නායකත්වයක් නොමැති ජනතා නැගිටීමක්. අන්තිමට ඔවුන් කිසිදා එලවන්න බැරි යයි සිතුව ඒකාධිපති මුබරක්ව පලවා හැරියා.

එයින් පසු පැවැත්වුන ප්‍රජාතන්ත්‍රවාදී ජනපතිවරණයෙන් බලයට පත්වුණේ, රටේ තිබුන එකම සංවිධානාත්මක දේශපාලන හා සමාජ ව්‍යාපාරයේ අපේක්ෂක මොහමඩ් මෝසි. නිකම්ම මිනිහෙක් නොවේ, ඇමෙරිකාවේ ඉංජිනේරු ආචාර්ය උපාධිධාරියෙක්.

එයාල බලයට ඇවිත් සෙට් කර ගන්න හැදුවේ පොදු ජනතාව බලාපොරොත්තු වුණ, ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් සුරක්ෂිත සමාජ ක්‍රමයක් නොවේ. ඔවුනගේ දිගුකාලින බලාපොරොත්තුව වන ස්ලාම් මුලධර්මවාදී පාලනයක්. බලයේ සිටපු ටික කාලයේදීම මේ මුලධර්මවාදී වැඩපිළිවෙල නිසා සංචාරක කර්මාන්තය විතරක් නොවේ, ජනජීවිතය ද කඩා වැටුනා කියා වාර්තා වුණා. ඉන්පසු කතාව පාස්ට් ෆොර්වර්ඩ්.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පත්වූ මෝසිව අත්අඩංගුවට ගැනීම ගැන තියා, විසි වසරකට හිරේ දැමීම ගැන වත් මිනිසුන් පාරට ආවේ නැහැ. මෝසි නායකත්වය දුන් දේශපාලන-ආගමික ව්‍යාපාරයේ ක්‍රියාකරුවන් තොග ගණනින් මරණිය දණ්ඩනයටත්, තවත් විශාල පිරිසක් සිර මැදිරි වලටත් ගාල් කර තියනවා. ඔවුන් බලයට පත් වී කරගෙන යන්න බලාපොරොත්තු වුන වැඩපිළිවෙල ගැන දන්නා ජනතාව (මුබරක් එලවන්න පෙළ ගැසුන පිරිස්), ජිවිත පරදුවට තබා ඔවුන් වෙනුවෙන් පාරට නම් එන එකක් නැහැ.

ඇත්තටම සමාජයේ අපට තෝරා ගන්නට නායකයෙක් (අඩුම ගානේ නරක එවුන් අතරින් ටිකක් හොඳ) හෝ කණ්ඩායමක් හෝ නැත්නම් මොකද කරන්නේ? සංසන්දනය කියන දේ සමහරවිට වැඩකට නැති වුවත්, පහත තොරතුරු නම් සිතා බලන්න වටිනවා. මේ රටවල් අතුරින් එකක ඔබ ජිවත් වුණා නම් “සාමාන්‍ය පුරවැසියෙකු” ලෙස ගන්න පුළුවන් “හොඳම” පියවර කුමක්ද? ඒ ගැන සිතන ගමන් කියවන්න.

ඉරාකය
ඉරාක වැසියන් ලක්ෂ 4ක් රටින් පැන ගිහින්. රට ඇතුලෙම මිලියන තුනක ජනයා අවතැන්. රටෙන් විශාල කොටසක් ISIS ත්‍රස්තයන් අල්ලාගෙන. සෑම මසකම දහසක් පමණ දෙනා මිය යනවා, එයිටත් වැඩි පිරිසක් තුවාල ලබනවා.

සිරියාව
සිරියාව කියන්නේ ඒකාධිපතියාව පන්නපු රටක් නොවේ. නමුත් නරකින් නරකට ගිය රටක්. රැකියා විරහිත ප්‍රතිශතය 57.7% (2014) වෙනවා. ජිවිතාපෙක්ෂාව අවුරුදු 75.9 සිට අවුරුදු 55.7 දක්වා පහල බැහැල. ජනගහනයෙන් භාගයක් අවතැන්. පාසල් යන වයසේ ළමුන්ගෙන් භාගයයි පාසල් යන්නේ.

ලිබියාව
ඒකාධිපති ගඩාපි පැන්නුවා තමා. අද තවත් දෙයකට කටපත්ත අදින්න ලිබියානු ජනතාවට පුලුවන්. අද ආණ්ඩු දෙකක් රටේ තියනවා. රටේ තෙල් ලිං වලින් හරියට දුවන්නේ තුනෙන් එකකට අඩු ගණනක්. සංක්‍රමණිකයන් ගෙන් 10 000 ක් සෑම මසකම රටින් යුරෝපයට පනිනවා. රට ඉතා ඉක්මනින් සොමාලියාවක් වනු ඇතැයි අනාවැකි පල වෙනවා.

යේමනය
යේමනයෙන් පැන්න අලි අබ්දුල්ල සලෙයි තාමත් යටින් නූල් සුත්තර ගෙන යන වග ෂියා මුස්ලිම් කැරලි කරුවන් වන හෝතී ලගේ නැගීමත් සමග වාර්තා වුණා. යේමනය දුප්පත්ම අරාබි රටයි. රටේ ජලයෙන් 40% ක් යෙදවෙන්නේ කාට් නමැති “බෝගය” වගාවට. මේ කොළ කන එක ජනතාවගේ විනෝදාංශයයි. මත් ගුණයෙන් යුත් මේවා කෑවහම ඉතා ප්‍රීතියට පත් වෙන්න හැකියි කියා කියනවා. ඒක පුද්ගල ආදායම දිනකට ඩොලර් 7 වන මේ රටේ, කාට් වලට එම ආදායමෙන් 1/4 කේ සිට 1/3 ක් දක්වා වැය කරනවා. මොනවා නැතත් ජනතාව තුවක්කු වලිනුත් සෑහෙන දුරට ස්වයංපෝෂිතයි. මිනිසුන් 100 කගෙන් 54.8 දෙනා අත තුවක්කු තියනවා (2007).

සලෙයි කියන්නේ අල්කයිඩා සංවිධානයට එරෙහිව ඇමෙරිකාව සමග සහයෝගයෙන් ක්‍රියා කරපු, ඇමෙරිකාවේ ආශිර්වාදය ලබපු තවත් ඒකාධිපතියෙක්. අරාබි වසන්ත රැල්ල එන විට (2011) මොහු රටේ දකුණු කොටසේ අල්කයිඩා සමග හොර ගිවිසුමක් ගසා තිබෙනවා. බිල්ලා පෙන්නා බලයේ ඉන්න තමා අපේක්ෂාව වී තියෙන්නේ. නමුත් වැඩේ හරිගියේ නැහැ. දැන් උතුරෙන් එන හෝතී ලා පිටුපසත් මොහුත්, ඉරානයත් ඉන්නා වග කියවෙනවා.

බලයෙන් පහකෙරුන යේමන ඒකාධිපති සලෙයිගේ ආධාරකාර කාන්තාවක් පසුගිය අප්‍රේල් මස 3 දා සනා නුවර පැවති රැලියකදී; ඔබ නැති ලොවක් කුමටද?

ටියුනීසියාව
බෙන් අලි 2011 වසරේ සෞදි අරාබියට පලා ගියා. ඔහුගේ සහභාගිත්වය නොමැතිව පාලන කාලයේ කරපු අපරාධ හා දුෂණ වලට ටියුනිසියානු උසාවිය වැරදි කරු කර තිබෙනවා. වසන්තයෙන් පසු, රටේ ජනාධිපති මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් පත් වූවා. අගමැති ලෙස පත් වුණේ මධ්‍යස්ත මතධාරී මුස්ලිම් නායකයෙක්.

නමුත් ආර්ථිකය යහපත් නැහැ. රැකියා විරහිත ප්‍රතිශතය 16% ක් වෙනවා. තරුණයන් අතර මේ ප්‍රතිශතය 35 ක් විතර වෙනවා. ගිය වසරේ රටේ විපක්ෂ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරින් තිදෙනෙකු ඝාතනය කෙරුවා. අනෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා ත්‍රස්තවාදය ද අඩුවක් නැහැ.

මොනවා වුණත් වසන්තයේ අනෙක් රටවල් හා සසඳන විට සිවිල් පාලනයේ හා යහපාලනයේ වැඩිම දුරක් ඉදිරියට ගිය රට ලෙසත් ටියුනීසියාව ගන්න පුළුවන්. වසන්තයෙන් පසු පත් වූ පාර්ලිමේන්තුව පොරොන්දු වූ පරිදි රටේ අලුත් ව්‍යවස්ථාව පසුගිය ජනවාරියේ සම්මත කළා. නොයෙකුත් ගැටුම් මධ්‍යයේ එතනට එන්න සිවිල් සමාජය විසින් හොඳ තෙරුපුමක් කළ බව සඳහන්.

පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 216 න් 200 ක්ම අලුත් ව්‍යවස්ථාවට පක්ෂව තම චන්දය දුන්නා. එම ව්‍යවස්ථාව අරාබි ලෝකයේ දැනට තියන ප්‍රගතිශීලි එක යයි කියවෙනාවා. බැංකි මූන් කියුවේ, ටියුනීසියාව, ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වන අනෙක් රටවලටද ආදර්ශයක් කියා.

(විස්තර ටෙලිග්‍රාප්, ටයිම්ස් ඔෆ් ඉශ්රායෙල් හා ටයිම් පුවත්පත් හා සඟරා වලින්).

*බලයෙන් පහවුන ඒකාධිපතියන්ගේ සිතුවිල්ල.

7 Comments

Filed under News, Opinion