Tag Archives: එස් බී දිසානායක

උකුලට නාවත් එදා වගේ!


යන්තම් ඇති. ස්වාසිලන්තේ කට්ටියත් ලංකාවේ සරසවි වල ශිෂ්ශ්‍යත්ව වලට අයදුම් කරන්න ඉඩ ලබා දෙන අලුත් රටවල් කාණ්ඩයට අයිතියි. අන්න එහෙම තමා කරන්න ඕනේ. ඔන්න ඕකයි පුතේ, තමන් ඉගෙන ගත යුතු සරසවි කාලේ “විප්ලව” කරපු හාදයන්ට නම් කවදාවත්, පසු කාලෙක චන්දය දෙන්න එපා කියන්නේ. මොකද එවැනි ඥාන-අසාර මිනිසුන් අන්තිමට නවතින්නේ උසස් අධ්‍යාපන ඇමති වෙලා වෙන්නත් පුළුවන්.

අධ්‍යාපන පමණක් නොවේ සෞඛ්‍ය හා අනෙක් පහසුකම් පුළුල් කළ යුත්තේ තියන ඒවා කාබාසිනියා කිරීමෙන් නොවේ. ලංකාව පුරා ඉතා හොඳ අලෙවි, ගබඩා හා ප්‍රවාහන ජාලයක්ව තිබුන සතොස විනාශ කරපු එකේ ප්‍රතිඵල දඹුල්ලෙන් නිතර ඇහෙන කතා වලින් මට හිතා ගන්න පුළුවන්. මේ සියල්ල තීරණ කිරීම “නිදහස් වෙළඳපොලට” ඉඩ දිය යුතුයි කියන අයියලා හා අක්කලා ඉන්න රටවල් වලත් එහෙම දෙයක් නැහැ.

අප ඉගෙන ගැනීමේ මුලිකම අර්ථය ජිවත් වීමට මාර්ගයක් පාදා ගැනීමයි. ලක්ෂ ගණන් වැය කරලා දොස්තර කෙනෙක් බිහි කරන්නේ, තමන්ටම වෙදකම් කර ගන්න නොවේ. ඒ වගේම තමයි කෘෂිකාර්මික උපාධිධරයෙක් බිහි කරන්නෙත් ගෙදර මල් ටික විතරක් වවාගෙන ඉන්න නොවේ. අධ්‍යාපනය හා රටේ රැකියා උත්පාදනය අතර සමීප සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මෙය පෞද්ගලික වෙළඳ පොළ විසින් මෙහෙයවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.

ඒ ගැන පස්සේ කතා කරමු. හැබැයි නිකම් දෙන දේවල් කොයි රටවලත් අගය කිරීමකට ලක් වන්නේ නැහැ. මේවා ඇත්තටම නිකම් දෙන දේවල් නොවේ. ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආදායම් වලින් දැනට 46% ක් පමණ ලැබෙන්නේ මිනිසුන්ගේ පඩි වලින් කපා ගන්නා බද්දෙන්. ඉදිරි වසර කිහිපය තුල මේ ප්‍රතිශතය 74% ක් දක්වා ඉහල යනවා කියා මා කියෙව්වා. අප දැන් බොහෝ විට කියනවනේ මේ රටවල් දියුණු වෙන්නේ, පොඩි රටවල් සූරා කෑමෙන් පමණක් කියා. ඔන්න ඕකයි තත්වය.

කොහොම වුනත්, නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය ලංකාව වගේ රටකට විතරක් නොවේ, ඕස්ට්‍රේලියාව වගේ දියුණුවේ ඉහලින් ඉන්න රටකත් තිබෙන ඉතා වැදගත් සමාජ අංගයක්. එම නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට පැරැලෙල්ව ගෙවා ගැනීමේ හැකියාව ඇති අය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය තිබීම මගින් තෝරා ගැනීමේ අවස්ථා වැඩි කරනවා පමණක් නොවේ, මේ අංශ වල තිරසාර පැවැත්මද සහතික කරනවා. මේ සේරම කරන්න යහපාලනය කියන දෙය තමයි මුලින්ම පිහිටුවා ගන්න ඕනේ. නැත්නම් ඉතින් හැමදාම ඥාන-අසාර පරිපාලනය හා දේශපාලනය තමා.

මෙහෙම නිකම්  ලැබෙන දේවල් අතර මුලිකත්වය ගන්නේ භෞතික දේවල් විතරක් නොවේ. සමහර වෙලාවට අපට නිකම් ලැබෙන කෙනෙකුගේ ආදරයත් එතරම් සැලකිල්ලකට ලක් වන්නේ නැහැ. ඔබගේ ආර්ථික තත්වය, රූපය, කරන රැකියාව තියන උපාධි ගණන හෝ කිසිම ඉගෙනීමක් නැති කම, උස, සුදුද කළුද කියන මේ මොකවත්ම ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව ආදරය කරන කෙනෙක් හෝ පිරිසක් ඉන්නවා නම් තමා, ඔබට නියම ආදරයක් ලැබෙනවා කියා කියන්න පුළුවන්. එහෙම අය හැම දෙනාටම නැහැ වගේම හිටියත් ඉතා අතලොස්සක්. එහි වරදක් කියන්න බැහැ. මොකද ඔබත් ඒ වගේ නැති නිසා.

දරුවන්ට අම්මලාගේ ආදරයත් එවැනි යයි කියන්න පුළුවන්. අප තාත්තලා වශයෙන් නොදකින හා නොපෙනෙන බැඳීමක් හා ආදරයක් ඔවුන් හා දරුවන් අතර පවතිනවා. එයට හේතු අපට කිසිදා තේරුම් ගන්නත් බැරි වේවි. අර නිකම්ම ලැබුන නිසා සමහර වෙලාවට අප එහි අගයක් දැක්කෙත් නැහැ ඉස්සර. නමුත් ජිවිතයේ ඉතාමත් දුක්කිත කාලයකත් හා සමුර්ධිමත් කාලයකත් ඇයගේ ආදරයේ වෙනසක් වෙන්නේ නැහැ. අපගේ අම්මත් එහෙම කෙනෙක්. හෙට “අම්මලාගේ දිනයයි”!

Advertisements

15 Comments

Filed under Education, Social