Tag Archives: කෙටි කතා

ජීව දත්ත! – කෙටිම කෙටි කතාවක්


වීර විභූෂණ  සරසවි අධ්‍යාපනය නිම කරලා යන්තම් වසරක් ගත වුනා. මේ කාලය තුල කළේ විවිධ රැකියා වලට ඉල්ලුම් පත් යවන එක විතරයි. තාම මොකවත් හරි ගියේ නැහැ. වීර විභූෂණ  අපොස උසස් පෙළ කරපු කාලේ රටේ තිබුන කලබල නිසා සරසවි ගමන අවුරුදු දෙක තුනකින් කල් ගියා. ඒ කාලය තුල කරපු දෙයක් නැති තරම්. දවල් එකොළහ වෙනතුරු නිදා ගැනීම තමයි වැඩිපුර කළේ.

සරසවිදීත් නොයෙක් හේතුන් නිසා උපාධිය හරියටම නිම කරන්න පමණට වඩා කලක් ගියා. ඔහොම කාලය නාස්ති වුනත් සරසවියේදී වීර විභූෂණ දක්ෂ සිසුවෙක් වුනා. එතරම් මහන්සියක් නොමැතිව දෙවන පෙලේ සාමාර්ථයක් ගැනීම ගැන, වීර විභූෂණට සතුටක් දැනුනාද  කියන එක නම් හරියටම කියන්න බැහැ. සමහර වෙලාවට ඔහුට හිතුනේ මහන්සි ගත්තා මදි කියලා.

වීර විභූෂණ මැදලවත්තේ කෙනෙක්. පොඩි කාලේ ගියේ මැදලවත්තේ කනිෂ්ටෙට. පහේ ශිෂ්‍යත්වය පාස් වුන නිසා කොළඹ ඥාණසාර විද්‍යාලයට යන්න වරම් ලැබුන. ඥාණසාර විද්‍යාලයේ ගතකරපු කාලය නම් හරි අපූරුයි, වීර විභූෂණ  කල්පනා ලෝකයට පිවිසුනා. ඒ කාලයේ පන්තියේ හිටිය බොහෝ දෙනෙක් වීර විභූෂණ වගේම තමා. එක්කෝ ගුරුවරුන්ගේ දරුවන්, නැත්නම් වෙනත් රජයේ සේවකයන්, එහෙමත් නැත්නම් ගමක ඉන්න පොඩි මුදලාලිලා ගේ දරුවන්. එකම පොදු දේ තමයි හැමෝම ශිෂ්‍යත්වය පාස් වීම.

වීර විභූෂණගේ  රැකියා දඩයම හිතන තරම් පහසු නැති බව පෙනුනා. රැකියා දෙක තුනක් ලැබිලා නොලැබිලා වාගේ ගහල ගියා. දැන්නම් පුතෝ එන පොට හොඳ නැහැ. හෙටවත් ආරිය අයියව හම්බුවෙන්න යන්න ඕනේ.

ආරිය සූරියදාස  කියන්නේ වීර විභූෂණ  වඩා බැච් දෙකක්  ඉහලින් හිටපු සරසවි මිතුරෙක්. ආරියත්, වීර විභූෂණ  වගේම ශිෂ්‍යත්වය පාස් වෙලා ගමෙන් කොළඹ ඉස්කෝලෙට ආපු කෙනෙක්.  වීර විභූෂණ , අයියා කියල තමයි, ආරිය සූරියදාසව ඇමතුවේ. ආරියගේ තාත්තා විශ්‍රාම ගියේ  අමාත්‍යංශ ලේකම් කෙනකු ලෙස. තාත්ත වගේම, ආරියත් දක්ෂයෙක් කියලා සරසවි කාලේදී ඔප්පු කළා. ඉගෙනීම් විතරක් නොවේ ඔය කළා හා සංස්කෘතික උළෙලවල්වල හැමදාම කැපී පෙනුන චරිතයක්.  ඇත්තම කියනවා නම් වීර විභූෂණ,  ආරියට සෙට් වුනේ මේ කළා කටයුතු නිසා.

ආරිය, සීවී එකකුත් අරන් වරෙන් කියල වීර විභූෂණට කීප වතාවක්ම කියුවත්, එය අන්තිම තුරුම්පුව ලෙස තියා ගන්න ඔහු හිතුවා.

සරසවිය අධ්‍යාපන නිමවුන ගමන්ම ආරිය, කොළඹ තිබුන කොම්පැනියක වැඩට ගියා. සහකාර කළමනාකරුවෙකු ලෙස වැඩට බැඳුනු ආරිය, වැඩිකල් නොගොස් ප්‍රධාන අපනයන කළමණාකරු ලෙස උසස් වුනේ වෙන කිසිවක් නිසා නොවේ, ඔහු ළඟ  කවදත් තිබුන නිර්මාණශිලිත්වය  නිසා කියල තමයි වීර විභූෂණ හිතුවේ.

“කොහොමද මල්ලි, පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැනේ”. ඒ ආරියගේ කටහඬ. ටයි පටයක් සමග ආරියගේ පූර්ණ බටහිර ඇඳුම ඔහුගේ ස්වභාවික කඩවසම්කමට තවත් ඔපයක් එකතු කරලා කියල වීර විභූෂණට හිතුනත්, ඒ බව කියන්න ගියේ නැහැ.

ආ ගිය තොරතුරු කතාවෙන් පසු අසුනින් නැගිට්ට ආරිය මෙසේ කීවා “මල්ලි, අපි යමු අපේ සීඊඕ හම්බු වෙන්න” පොර හරි හොඳ එකා, උඹට මොකක් හරි කර ගන්න පුළුවන්”. “මල්ලි,  මිනිහා තමයි, නිකම් යන්නන් වාලේ දුව දුව හිටිය මේ කොම්පැනිය මෙච්චර නග්ගල අරන් තියෙන්නේ. මිනිහත් උඹේ ඉස්කෝලේද කොහෙද. ඒ ලෙවල් ඉවර කරපු ගමන් තමා මේකේ වැඩට ඇවිත්  තියෙන්නේ. හැබැයි අවුරුදු දෙක තුනෙන් මිනිහා ඉහලටම නැගලා. අන්න පොරවල් මල්ලි! කොයිකටත් යමුකෝ හම්බ වෙන්න”.

“සර්! බිසී නැත්ද, පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?”  වීර විභූෂණ  සමග ඉහල මාලයේ කාමරයක් වෙත තරප්පුවෙන් ගිය ආරිය, එක දොරක් ළඟ නැවතී,  පොඩි තට්ටුවක් දමා, එබිකම් කර ඇහුවා. “ආ! මේ ආරියනේ, වරෙන් වරෙන්, උඹට, මම කියල තියනවනේ, ඔය සර් කෑල්ල ඕනේ නැහැ කියලා”. කාමරේ හිටපු මනුස්සයා පිළිතුරු දුන්නා. “සර්, මේ තමයි, මං සර්ට කියපු මගේ යාලුවා, අපිට වඩා ටිකක් ජූනියර්, හරිම දක්ෂයා”. ආරිය, වීර විභූෂණව හඳුන්වා දුන්නා. “ආ! ඉඳ ගන්නකෝ දෙන්නම, කෝ ගන්නකො, ඔයාගේ සීවී එක මෙහාට”.  වීර විභූෂණ,  දෑතින්ම සීවී එක ආරියගේ ලොක්කට දික් කළා.

“ඥාණසාර විද්‍යාලයේ, ඔය අවුරුද්දේ, කොයි පන්තියේ ද ඔයා හිටියේ” ආරියගේ ලොක්ක අහන්නේ. “මම, සර් ඥාණවති මිස්ගේ ක්ලාස් එකේ”. “ආ! උඹ අපේ පන්තියේ හිටපු වීර විභූෂණයද?”  කියල ලොක්ක අහන කොට තමයි, ඔහුගේ මුහුණේ හැඩ රුව හරියටම වීර විභූෂණ ගේ හිතට වැදුනේ.

(නම්, ගම් හා සිදුවීම් සියල්ල මනස්කල්පිතයි).

29 Comments

Filed under Short story