Tag Archives: චීනය

හුදකලා සට(හ)න්?


IMG_20180926_132215221

මේ දිනවල පරිපාලන අර්බුධයක ඉන්න, ඕස්ට්‍රේලියානු ඒබීසී රූපවාහිනිය කරපු හොඳ වැඩ සටහන් පෙළක් තමා, වෝ ඔන් වේස්ට්. එය ඉන්ටරැක්ටිව් නැත්නම්, මහජන සහභාගිත්වය සමග කරපු එකක්. එයින් කියුවේ, ඕස්ට්‍රේලියාවේ කුණු ප්‍රශ්නයේ විවිධ පැතිකඩයන්.

පසුගිය දා මිලියන 25 ක් කරා ලඟා වූ ඕස්ට්‍රේලියාවේ ජිවත් වන්නේ, ලෝක ජනගහණයෙන්  0.33% වගේ ගණනක්. එය මිනිසුන්ගේ පරිභෝජනය හා ජනනය වන කුණුත් මණින්න හැකි දෙයක්. නමුත්, ලූනු බිකත් බඩට, වගේ, ලෝකයේ මහා ප්‍රශ්ණ ජනිත වී, තියෙන්නේ එහෙම තමා.

ලෝකයේ ජනනය වන වුණු, ප්‍රතිචක්‍රීකරණය කරන්න හැකි කුණු වලින් භාගයක් පමණ මෑතක් වන තුරු ගත්තේ චීනයයි. නමුත් මේ වසරේ මුල, ඔවුන් බොහෝ කුණු ගෙන්න ගැනීම නතර කෙරුව. ප්‍රධාන කරුණ ලෙස, ඔවුන් කියුවේ ගෙනෙනෙ කුණු කලවම් නිසා, ඒවා ප්‍රතිචක්‍රීකරණය, එන්න එන්නම අමාරු වනවා කියන එක. නමුත් රටක් ලෙස, ඔවුන්ගේ ජනයා, ජනනය කරන කුණු ප්‍රමාණය ඉහල යාමත්, මා හිතන්නේ තව ප්‍රධාන හේතුවක්.

අර වැඩසටහනට සහභාගී වූ මිනිසුන් කියපු දේවල් වලින් තේරුම් ගන්න හැකි දෙයක් තමා, විශාල ප්‍රශ්නයකට තියන තනි මිනිසුන්ගේ දායකත්වය ගැන ගොඩක් දෙනාට ඉතා අඩු වැටහීමක් තිබීම හෝ කිසිම අවබෝධයක් නැතිකම. අප ගොඩක් දෙනා, ගෙදරින් එළියට කුණු යැව්ව පසු, ප්‍රශ්නය ඉවරයි හෝ කුණු ගෙදරට ගෙනාවේ නැති නම් කිසිම ප්‍රශ්නයක් නැති වගනේ කල්පනා කරන්නේ.

ඕස්ට්‍රේලියාව වගේ රටවලුත් කෙරුවේ අන්න ඒ වගේම වැඩක්. ඒ කියන්නේ කුණු ටික චීනයට දීලා අත පිහ දා ගැනීම. එතැන වෙළඳාමක් තිබුණා තමා. හැබැයි, චීනය කුණු එපා කියුවහම, ඉතිරි වූයේ ප්‍රශ්නයක් පමණයි. මොකෝ එකතු කරන කුණු, මෙහෙ ප්‍රතිචක්‍රිකරණය කරන්න, යටිතල පහසුකම් නිර්මාණයක් වෙලා නැහැ.

නිකම් දෙන සිලි සිලි බෑග තව දුරටත් නැතිවීම මධ්‍යම පාන්තිකයන්ට (කොටසකට පමණයි) විශාල ප්‍රශ්ණයක්  වූ හැටි පසුගිය දිනවල අපට දකින්න ලැබුණා. ඒ අතර සංක්‍රමණිකයන් ද ඇති. ලෝකයේ තියන ප්‍රශ්න ගැන අප බොහෝ කතා කෙරුවත්, ඒවායේ විසඳුම් වලට මිනිසුන්ගේ දායකත්වය ගන්න කොතරම් අමාරුද යන්න මේ කුඩා උදාහරණය පෙන්වනවා.

සමහර ප්‍රශ්න ගැන කතා කරන අය ඒ ප්‍රශ්න වලින් එක්කෝ බැට කන්නේ නැහැ, නැත්නම් ප්‍රශ්න ගැන කතා කළත් විසඳුම් නැහැ. නැත්නම් විසඳුම් තිබුණත්, ඒවා පටාන් ගන්න දෙන්න හැකි සුළු දායකත්වය හෝ දෙන්න කැමති නැහැ. නැති නම්, තමන් දෙන සුළු දායකත්වය, එයිට වඩා බහුතරයකගේ වැඩ නිසා වියැකී යන නිසා ප්‍රශ්නයේ දැනෙන වෙනසක් වන්නේ නැහැ.

ඔය හතර වරිගයෙන් කොයිකට අයිති වුවත්, විශාල ප්‍රශ්නයකට, අපත් යම් කිසි දායකත්වයක් දරනවා නම්, විවේචනයෙන් ඔබ්බට ගිහින්, තනි මිනිසෙකු විදිහට අපට කරන්න හැකි දේ (ඉතාම කුඩා වෙන්න හැකියි හා අන් අය කරන දේ නිසා එය සැඟවී යන්න හැකි වුවත්) කරන්න හැකි වීම තමා වඩා ප්‍රශස්ත වන්නේ. එය සමාජයේ හැම “කුණු ප්‍රශ්නයකටම” පොදු දෙයක් (ඒ කුඩා දායකත්වය කියන්නේ සමහරවිට, සමාජයෙන් අයින් වීමත් වෙන්න පුළුවන්). හැබැයි, ඒ දේ කරන්න නොහැකි, ඕනෙම විවේචනයක්, නිකම් සිතේ සතුටට කරන පුස් විවේචන පමණයි.

සමහරවිට මා කල්පනා කරන දෙයක් තමා, මා උපන් බිමේ තියන ප්‍රශ්න වලට, “හරිම විසඳුම්” (තියෙන්නේ) හා දෙන්නේ, ලංකාවෙන් ඉවත්වී ජිවත් වන මා වැනි, සංක්‍රමණිකයන් (අත) නේද කියා. එතැන  තියන පරස්පරය ගැන, මේ බ්ලොගය ලියන්න පටාන් ගත්තු දාට වඩා, අද මට වැටහීමක් තියනවා. එයම ප්‍රගතියක් නේ. 🙂

පසු වදන

අපට සුපර්මාකට් වලින් දෙන සිලි සිලි බෑග් නැති වුයේ වසර 2011 දී. දැන් අප ග්‍රොසරි බඩු වලට අළුත් බෑග් ගන්නෙම නැති තරම්. තියන බෑග් පරණ වී අයින් කරන්න වෙන විට සමහර විට අළුත්  බෑග් ගන්නවා, නැත්නම් කවුරුන් හෝ දෙයක් ගෙනත් දෙන විට ලැබෙන බෑග් වලින් එම බෑග් ගොඩ ඉබේම පිරෙනවා. එයිට අමතරව අනික් කඩ වලින් නොමිලේ දෙන බෑග හැකි හැම වෙලාවෙම ප්‍රතික්ෂේප කරනවා.

ගෘහස්ත කුණු වලට අපට බක්කි 4 ක් තියනවා. ගෙවතු කොළ හා අතු සති දෙකකට වරක් එකතු කරන බක්කියට දමනවා. එව්වා එපමණ ජනනය වන්නේ නැහැ, කුඩා ගෙවත්තකින් ( මොකද  මා තියන දේවල්ද කපා අයින් කෙරුවනේ). අනික ප්‍රතිචක්‍රීකරණය කරන්න හැකි සියලුම දේ දමන එක. එයත් දෙසතියකට වරක් එකතු කරන් යනවා. පාන්, එළවලු හා පළතුරු වල ඉවත දමන කොටස් දිනපතාම කොම්පෝස්ට් බඳුනට දමනවා.

ඉතිරි වන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්න නොහැකි ප්ලාස්ටික් දවටන හා කෑම ඉතිරි වුනොත් ඒවා දමන, සතියකට වරක් එකතු කරන කුණු බඳුන. මෙයට වසර 10කට පමණ පෙර කාලය හා සසඳන විට, ඒ බඳුනෙන් ඉවත යන කුණු ප්‍රමාණය ඉතා කුඩායි.

ගෙදරින් ඉවත දමන අනික් දේ, හැකි හැම වෙලාවෙම එවැනි දෙයකින් යම් අයෙකුට ප්‍රයෝජනයක් ගන්න හැකියාව තියන (වා යයි සිතන) විට, ටිකක් මහන්සි වී හරි කෙනෙක් සොයා දෙනවා. එවැනි අවස්ථා වල, මා දැන ගත් දේ හරිම විචිත්‍රයි.

අප නැගලා යන විරහා ගීතයක් අහමු.

 

Advertisements

7 Comments

Filed under Opinion