Tag Archives: චීන නිශ්පාදන

හිරුට පිළිතුරක් හෙවත් random සිතුවිලි!


හිරු, මා මේ සටහන ලියුවේ ගිය සතියේ. ඉන්පසු මේ කතාව තව ඉදිරියට ගොස් තියනවා.මා ලංකාවේ අද ජිවත් වුනත් මිලදී ගන්නේ හයිලන්ඩ් පිටි කළ කිරි. මොකද අප ඒවා මිලදී ගත්තේ නැත්නම්, පිට රටින් ඇවිත් මිනිසුන් මිලදී ගන්නේ නැහැ. අනෙක් දේශීය එළවලු හා පලතුරු කනවා නම්, මාළු හා මස් කනවා නම්, පොළවෙන් ගන්න වතුර බොනවා නම්, බත් කනවා නම් මේ කිරි විතරක් විශේෂයෙන් නරකක් කරන එකක් නැහැ. හැබැයි දරුවෙකුට නම්, ඔබ කියන පරිදිම වඩාත් සුරක්ෂිත ආහාර අතේ මුදල් තියන හැටියට දීම මාත් එකඟ වෙන කරුණක්. මා සටහනෙන් විස්තර කළේ මගේ මතයේ හැටියට සුරක්ෂිත බවේ සංසන්දනයක්.

හැබැයි ලංකාවේ පිටි කිරි DCD වලින් තොරයි කියල ආඩම්බරෙන් කියන දේශීය නිෂ්පාදකයන් කරන්නේ රැවටීමක්. මේ හරියට අර එළවලු තෙල් වල කොලෙස්ටරෝල් නැහැ කියල විකිණීම වගේ වැඩක්. පොලවට දාන්නෙ නැති කොට කොහොමද DCD කිරි වලට එන්නේ? හරි නම් බලන්න ඕනේ, ලංකාවේ බහුලව භාවිතා කරන කෘමි නාශක, වල් නාශක හා පොහොර වර්ග වල ශේෂ මේ දේශීය කිරි වල තියනවද කියල. ඔබම කියනවා වගේ එහෙම හදිසියේ එහෙම පොසිටිව් ටෙස්ට් රිසල්ට් ආවත්, ගානක් අත මිට මොලවල වහල දාවි.

ලංකාවේ සමහර පළාත් වල තියන වකුගඩු රෝගය ගැන පර්යේෂණ කෙරිලා තියනවා. අඩුම ගානේ පර්යේෂණ සඳහා මුදල් ලබාගෙන තියනවා. ඒ හැර, ජාතික චින්තනයට අනුව නාථ දෙවියන් විසින් පර්යේෂණයක් කරලා තියනවා. ඒ එකකින් වත් අසරණ මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙලා තියනවද?

මේ වකුගඩු රෝගයට හේතුව පොහොර වල තියන බැර ලෝහ භූගත ජලයට එකතුවීම කියා 100% තහවුරු නොකළ මතයක් තියනවා. එතකොට එතරම් බැර ලෝහ ජලයට එකතු වෙන්න කොතරම් අනවශ්‍ය ලෙස පොහොර ගහන්න ඕනෙද? මේ ලෝකයේ හැමතැන ම භාවිතා කරන්නේ එකම පොහොර වර්ග තමා. එතකොට ලෝකයේ අනෙක් රටක නැති විදිහට ප්‍රශ්නයක් තියනවා නම්, එතැනදී භාවිතාවේ වරදක් තියනවා.

නවසීලන්තයේ DCD භාවිතාව මගින් අවම කර ගන්න හැදුවේ මෙවැනි ප්‍රශ්නයක්. එනම්, නයිට්‍රිජන් පොහොර හා ගව මුත්‍රා මගින් පසට එකතු වන නයිට්‍රිජන් (ammonium) නයිට්‍රිකරන බැක්ටීරියා මගින් නයිට්රේට බවට පත් වීම වැළැක්වීමයි. පසට යොදන ප්‍රධාන නයිට්‍රිජන් පොහාර වර්ගය වන යුරියා හා ගව මුත්‍රා වල ඇති ඇමෝනියා ක්‍රියාවලියකින් පසු නයිට්රේට බවට පත් වෙනවා. ඇමෝනියම් වගේ නොවේ නයිට්රේට් පසේ රැඳෙන්නේ නැහැ. ජලය සමග පහලට ගලා ගෙන යනවා. පසට යොදන නයිට්‍රිජන් පොහොර ශාක වලට උරා  ගන්න බැරි තරමට පහලට යාමට අමතරව,  ඒ නයිට්රේට ජලයට එකතු වීමෙන් පරිසරයට හා ඒවා සතුන් හා මිනිසුන් බීමෙන් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මේක අඩු කර ගන්න තමා DCD යෙදුවේ. එයින් වෙන දෙයක් සිදු වුනා. මෙහෙම තමා බොහෝ දේ. එක පිලියමක් තව ප්‍රශ්නයකට පාර කපනවා. අපට විද්‍යාවේ දියුණුව අවශ්‍ය මෙයට වඩා හොඳ විසඳුම් හොයා ගන්න. සරල දිවියකින් එය කරන්න බැහැ.

දැන් බලන්න මේ DCD කතන්දරේ ආව වෙලාව. ඔබට වෙනසක් දැනෙන්නේ නැත්ද? තමන්ට බොන්න ජලය ඉල්ලුව අන්ත අසරණ මනුෂ්‍යයන්ට කළු කුඩු බස්නෙන් විතරක් නොවේ, පොලු මුගුරු වලින් පහර දීල, දෙතුන් දෙනෙකු එලොව යවලා, ඒ අවමගුල් පැවැත්වෙන වෙලාවේ DCD කරලියට එනවා. මේක දෙමුහුන් කරලා එන්නේ. ඒ කියන්නේ ලෝකේ වෙනත් රටවල් වල තිබුන බෝටුලිස්ම් භීතිකාව හා ඒ නිසා නිෂ්පාදන ඉවත් කිරීම සමග DCD එකතු කර ගැනීම. ලංකාවේ මා හිතන්නේ මතය මේ දෙකම එකක් කියා. එක නොවේ ඇත්ත කතාව. බෝටුලිස්ම් කතාව වඩාත් භයන්කාරයි. දැන් මේක ටිකක් දුර යනවා. අද වෙන කොට මේ ගැන පරීක්ෂණ හතරක් කෙරෙනවා. දෙකක් ෆොන්ටෙරා මගින්. එකක් නවසීලන්ත රජය. තව එකක් තත්ත්ව පාලන අධිකාරිය. කිරි නිෂ්පාදන අංශයේ ලොක්ක දැනටම අස් වෙලා. නවසීලන්ත රජය මේ වැඩෙන් වුන හානිය අඩු කර ගන්න තවම උත්සහ කරනවා.ලංකාවේ වකුගඩු රෝග හා රතුපස්වල ප්‍රශ්නයට විසඳුම් නොදෙන රජයක් මෙතරම් විචක්ෂණ භාවයක් එක පාරට ආරූඩ කර ගත්තේ ඇයි?

මේ බැක්ටීරියා ප්‍රශ්නය මුලින්ම ෆොන්ටෙරා දැනගෙන තියෙන්නේ ජුලි 31. පැය 48 ක් යන කම් රජය දැනුවත් කරලා නැහැ. ෆොන්ටෙරා වල ඩොලර් මිලියනයට වඩා පඩි ගන්න විධායකයන් 26 දෙනෙකු ඉන්නවා කියා සති අන්ත පත්තරේ මා කියෙවුව. එයින් කියවෙන්නේ නැහැ, මේ වගේ දෙයක් හිතා මතා කළා යයි කියල. ඔවුන් බැක්ටීරියාව එකතු වුන පයිප්පය අඳුනා ගෙන තියනවා. ඒ වෙලාවේ හදපු ආහාර කාණ්ඩය අඳුන ගෙනත් තියනවා. බැක්ටීරියාව තිබිල තියෙන්නෙත් අංශු මාත්‍ර වශයෙන්. මේ කිරි වලට මේ බැක්ටීරියාව අංශු මාත්‍ර එකතු වීම මගින් ලෝකේ කිසිම තැනක, රෝගී තත්වයක් වාර්තා වෙලා නැහැ. එත් low risk or no risk වුනත් ළදරු ආහාර වල විය යුතු නැති දෙයක්. අංශු මාත්‍ර හෝ තිබුන නම්, මේ ආහාර කාණ්ඩය වෙළඳපොළට යැවුවේ ඇයි කියන එක තමා අද ප්‍රශ්නය.

නවසීලන්ත කිරි ආහාර වලට චීන ජනතාවගේ ඉල්ලුමේ වැඩිවීමක් වෙලා තියෙන්නේ, අර මෙලමයින් සිද්දියත් එක්ක. එහිදී නවසීලන්ත කෘෂි නිෂ්පාදන වලට තියන පිරිසිදු බවේ කිර්තිය විශාලම හේතුවයි. ලාභ වැඩි කර ගන්න, අමතරව මේ බැක්ටීරියාව/DCD එකතු කිරීම හෝ දියුණු වෙමින් පවතින රටවලට හිතා මතා බාල නිෂ්පාදනයක් කිරීම කියන තර්ක දෙකම, මා විශ්වාස කරන්නේ නැහැ. කියවපු දේවල් වල හැටියට, ජරා පයිප්පයක් නිසා බැක්ටීරියාව එකතු වුන බව දැන ගෙනත්, විශාල ටොන් ගණනක් නිසා හා බැක්ටීරියාව හානි දායක මට්ටමක නැතිය කියා උපකල්පනය කර මේවා වෙළඳපොළට දැමුවා වන්න පුළුවන්. තවම කියන්න කලින් වැඩියි. ඔවුන් දේශීය වෙළඳපොළට පවා මේවා නිකුත් කරන්න ඉඩ තිබුනා. දේශීය වෙළඳ පොලේ ඉල්ලුම තියෙන්නේ අලුත් කිරි වලට. එහෙම නොවීමට හේතුව එයයි. ඇත්තටම හානියක් වාර්තා වී නැහැ. හැබැයි කරලා තියෙන්නේ පවතින තත්ත්ව පාලනයන්ට අනුව වැරදි දෙයක් මෙන්ම, නීති විරෝධී වෙන්න පුළුවන් දෙයක්. මේ වගේ දෙයකින් මරණයක් සිදු වුනොත්, ගෙවීමට වන වන්දිය හා එහි ප්‍රතිවිපාක මේ සමාගම් මෙන්ම නවසීලන්ත රජයද දන්නවා.

මෙලමයින් කතාව ඔබට මතකද? මා ඒ කතාවත් මේ වගේම කියවපු නැත්නම් ෆලෝ කරපු එකක්. දරුවන් 5/6 ක් මැරුණා, ලක්ෂ ගානක් ලෙඩ වුණා. ක්‍රියාමාර්ග ගත්තේ ඉන් පස්සේ. රතුපස්වල ප්‍රශ්නයක් තියන බව ඉතා පැහැදිලියි. අනුරාධපුරේ වකුගඩු ප්‍රශ්නය ගැන ඕනෙවට වඩා උදාහරණ තියනවා. ෆොන්ටෙරා ක්‍රියාකලාපය කොහෙත්ම හොඳ නැහැ. හැබැයි ඒ බටහිර ප්‍රමිතීන්ට. කොහොම වුනත් මේ සිද්ධි වලදී රටවල් තුනක් ගත්ත ක්‍රියා මාර්ග හා ආකල්ප වල වෙනස ඔබට පේනවනේ.

ඔබත් දන්නා පරිදි ලංකාවේ අප කන බොහෝ දේවල් නිවැරදිව තත්වය පාලනය කිරීමක් නැහැ. එළවලු කඩන දවසෙත් කෘමි නාශක ගහනවා. මාළු කල්තබා ගන්නේ උෂ්ණත්වය අඩු කිරීමෙන් නොවේ, පලතුරු ඉදවීමට ශරීරයට හිතකර නැති රසායන යොදා ගන්නවා, කසිප්පු පෙරන විට දමන දේවල් වල කිසිම සීමාවක් නැහැ, රටට ගෙන්වන බේත් නිෂ්පාදනය කරන්නේ බොහෝ විට ඉන්දියාවේ කුස්සි වල, කර්මාන්තශාලා වල අපජලය කෙලින්ම පොලවට හලනවා, වර්ෂාව, පසේ තියන පෝෂක ප්‍රමාණය, ලබා ගතහැකි අස්වැන්නේ ප්‍රමාණය ගැන හිතල/ගණනය කරන්නේ නැතිව විශාල වශයෙන් පොහොර දාල පරිසරය අපවිත්‍ර කරන ගමන් මිනිසාට හා සතුන්ට ලෙඩ කරනවා, රේගුවෙන් පන්න ගෙන යන බාල වර්ගයේ ඉස්ප්‍රිතු ගැන අහන්න ලැබෙනවා, බූන්දි වලට දාන්නේ ඇඟලුම් වලට දාන ඩයි, සාමාන්‍ය කුඩා ව්‍යාපාරිකයනුත් මිරිස් කුඩු කියල ගඩොල් කුඩු විකුනනවා, පාරේ තියාගෙන මාළු හා වැලි කලවම් කරනවා. අන්තිමට අප කන එළවලු හෝ පලතුරක හෝ වෙනත් නිෂ්පාදිත ආහාරයක තියන ප්‍රමිතිය ගැන, පාරිභෝගිකයාට දැන ගන්න ක්‍රමයක් තියනවාද? එහෙම දේවල් පාලනයට ඇඟිලි ගැහීම් වලින් තොර බලතල හිමි ආයතනයක් තියනවාද?

මේ රටවල් වලත් මීට දශක කිහිපයකට කලින් ඔය තත්වයම තමා. එයින් අද තත්වයට ආවේ, මා කලින් කියපු ක්‍රමවේදයක් කාලයක් තිස්සේ ගොඩ නගපු හින්ද. අද පවා වැරදි වෙනවා/වැරදි කරනවා. සමහර විට හිතලම. තවත් සමහර විට නොදැනුවත්ම. එහෙම නොවීමට තියන තත්ත්ව පාලන ක්‍රමයන් හා විශ්ලේෂණ ක්‍රමය දියුණු කරගන්නේ කොහොමද කියන එක හැමදාම සිදුවන/සදාතනික ක්‍රියාවලියක්. සමාජයේ පොදුවේ යහපාලනය කියන දෙයත්, ජනතාවගේ අවදිමත් බවත් එයට ප්‍රධානව බලපානවා.

ඔබම කියන පරිදි මේ වගේ දෙයක් අඳුනා ගන්න පුළුවන් වුනේ විද්‍යාවේ හා තත්ත්ව පාලන ක්‍රමයන්ගේ තියන දියුණුව නිසා. ආහාර වල විතරක් නොවේ, අනෙක් නිෂ්පාදන වල දියුණු කිරීම සිදු වන්නේ පර්යේෂණ තුලින්. මේ පර්යේෂණ වලින් බොහොමයක් අපට දැන ගන්නෙත් නැති අසාර්ථක ඒවා. මේ ක්‍රියාවලියට මේ සමාගම් විශාල මුදලක් යොදනවා. එයින් අවසාන වශයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලාභ වැඩි කර ගන්න එක. පිටි කළ කිරි පවා එම ක්‍රියාදාමයේ කොටසක්. ඉස්සර කිරි බොන්න පුළුවන් කම තිබුනේ වැස්සියෙක් ඉන්න ගෙවල් වල අයට හා ඒ අවට ඉන්න අයට පමණයි. අද වුනත්, අලුත් කිරි බොන්න හැකි ශීතකරණ තියන, මුදල් තියන අයට පමණයි. පිටි කළ කිරි මගින්, ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කිරි බොන්න අවස්තාව උදා කර තියනවා. මෙය තමා මා බලාපොරොත්තු වන දියුණුව කියන්නේ. මේ බොහොමයක් අලුත් නිපැයුම් මෙලොවට ඇවිත් තියෙන්නේ, මිනිසුන් ලාභය සොයන්න උත්සහ කරපු හින්දා. අද පවා ලෝකයේ කෙරෙන බොහොමයක් සෞක්‍ය හා කෘෂිකාර්මික පර්යේෂණ වලට මුදල් දමන සමාගම් වල අවසාන උත්සාහය ලාභ ගැනීම. මෙම ලාභය කියන දේ නැති කරන්න උත්සහ ගත්ත රටවල්වල, නව සොයා ගැනීම් කලේ මිනිසුන් ගේ අවශ්‍යතා වලට නොවේ. එම සමාජයන් එවැනි (මිනිසුන්ගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය) සොයා ගැනීම් වලින් තොර වීම නිසා එක තැන පල් වෙන්න ගත්තා.

මා බිල් ගේට් ගැන හිතන්නේ සොඳුරු මනුෂ්‍යයෙකු හැටියට. ඔහුත් හොඳට ලාභ හෙවුව කෙනෙක්. හැබැයි ඔහු හා ඔහු වැනි තවත් මිනිසුන් නිසා, මා අද කිලෝමීටර දහස් ගණනක් එපිටින් ඉඳන් ලියන දේ ඔබත් කියවනවා. මිනිසුන්ගේ ඇති අත්‍යන්ත කෑදරකම සමාජයට යහපත් ආකාරයට යොදා ගන්නේ කොහොමද කියන එකත්, අප දිගින් දිගටම පර්යේෂණ හා සංවර්ධනය (R&D) කළ යුතු දෙයක්.

(මේ මා කලින් සටහනේ හිරුගේ ප්‍රතිචාරයකට, ප්‍රති-ප්‍රතිචාරයක් ලෙසින් ලියන ලද්දකි).

9 Comments

Filed under Food, Lifestyle, Opinion, Social