Tag Archives: ජනමාධ්‍ය නිදහස

දෙයියෝ සාක්කි! Toga, Yoga and Doga!


Yoga

ඉස්සර ටෝගා කියල සිත්තර පත්තරේ ගියා කතාවක්. ඒ ලංකාවේ චිත්‍රකතා කලාවේ ස්වර්ණමය කාලයේ. එදා හිටපු චිත්‍රකතා කරුවන් බොහෝ දෙනෙක්, ජීවිතය ගැන යමක් දැන ගත්ත පිරිසක් බව ඔවුනගේ කතා වලින් පිළිබිඹු කළා. හැබැයි යෝගා නැත්නම් යෝග කියන්නේ පුරාතන ඉන්දියාවෙන් අද ලෝකයට ලැබිච්ච දායාදයක්. සුද්දගේ ක්‍රිකට් ඉන්දියාවේ ජනප්‍රිය වගේ, ඉන්දියානුවන්ගේ යෝග බටහිර ජනප්‍රියයි. ඕස්ට්‍රේලියානුවන්ගෙන් 27% ක් යෝග කරනවයි කියල පසුගිය දවස් වල මා අහපුවහම විශ්වාස කළේ නැහැ. මොකද ජනගහනයෙන් 60% ක් ම පමණට වඩා තරබාරුයි කියනවා. එතකොට ඉතුරු කට්ටිය යෝග කරන හින්දද හීන්දෑරි?

පසුගිය දවසක ටයිම් සඟරාවේ තිබුනා, මේ ග්‍රීෂ්ම කාලයේ ඇමෙරිකාවේ යෝගා නැගල යනවයි කියල. නිකම්ම නොවේ, වෙන සංකල්පනා එක්ක. කොටින්ම කියනවා නම්, අනෙකුත් විනෝදාංශ හා පුරුදු සමග දෙමුහුන් කරණයෙන් නිපදවා ගත්තු යෝගා. ඉහත තියෙන්නේ ඒ ගැන.

දැකීම ඇදහීමයි කියනවා වගේ, කිරීම ඇදහීමයි කියන්න පුළුවන් යෝග වලට. ඒ ගැන මා වැඩිපුර ලියන්නේ නැහැ. මොකද මේ වගේ දේවල් කෙනෙකුට පමණක් දැනෙන, අනෙකාට එසේ නොදැනෙන අත්දැකීම් වෙන්න ඉඩ තියන නිසා. පාරේ දුවන කොට හා බයිසිකල් පදිනකොට බල්ලෝ පනින නිසා ඒවගේ දේවල් කරන්න බැරි අයට, ගෙදර පැදුරක් එලා ගෙන යෝගා කරන්න පුළුවන්. හැබැයි පැදුර දාගෙන වෙන ඒවා කලොත්, යෝග වලට වෙලාව නැතුව යනවා.

ඒ කොහොම වුනත් යෝගා පමණක් නොවේ, වෙනත් ව්‍යායාම හා ක්‍රීඩා කරන්නේ ශරීරයේ සෞඛමත්බව තියා ගන්න. ඒ කියන්නේ මෙලොව ලෙඩ දුක් නොමැතිව ජිවත් වෙන්න. ලිංගික ක්‍රියාත් එහි අංගයක් තමයි. හැබැයි මේ බටහිර නම්, ඇඟේන් රැස් විහිදෙන්න හෝ අහසේ පාවෙන්න බලාපොරොත්තුවෙන් කිසි කෙනෙක් යෝගා කරනවයි මා හිතන්නේ නැහැ. රැස් විහිදීම කෙසේ වෙතත් අහසේ පාවීමට නම්, වෙන දේවල් කරන්න පුළුවන්. වැඩිය බරපතල දේවල් වලට නොයා තරල සාර වලින් වුනත් පුළුවන්.

මා ලංකාදීප බලන්නේ දෙයියෝ සාක්කි තීර එහි වැඩිපුර තියන නිසා. දෙයියෝ සාක්කි හරි තීරය ලියන කෙනාට හෝ කෙනාලට  ප්‍රතිභාව අඩු ගතියක් නිතර පේනවා. පරණ විහිළු තමයි ඔහු/ඔවුන් වැඩිපුර ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. මා හිතුවේ කතෘට තෝරා ගන්න ඉන්න  “ටැලන්ට් පූල්” එකේ අඩුපාඩුවක් නිසා, ඔහුට වෙන විසඳුමක් නැති නිසා මෙහෙම වෙනවය කියා. නමුත් වරද කතෘගේ. මොකද වෙනත් විශේෂාංග ලියන්න දාල ඉන්නේ දෙයියෝ සාක්කි ලියන්න දක්ෂ කට්ටිය.

මේ ලංකාදීපයේ යෝගා වල  ගුණ දොස් පිලිබඳ ලියවුන විශේෂාංග ලිපියක ආරම්භයේ කොටසක්. “ඈත අතීතයේ මේ ලෝකයේ මිනිසුන් පහළ වූ යුගයේ ඔවුන්ගේ ශරීරයේ විශාල ආලෝකයක් පැවති බව කියැවෙනවා. ඒ මගින් අඳුරක් තුළ වුවත් දැකීමේ හැකියාවක් පැවතුණා. අධ්‍යාත්මික වර්ධනය වූ චිත්ත ශක්තියක් තිබුණා. පසුකාලීනව මේ මිනිසුන් තුළ කාම ආශාව ඇවිත්, ලිංග භේද හටගෙන කාන්තාව පිරිමියා වශයෙන් කොටස් වී කාම සේවනයේ යෙදීම, කුටුම්භ සංරක්‍ෂණය ආදිය සිදුවෙමින් අධ්‍යාත්මික පිරිහීමක් සිදුවුණා”.

මේ කාමාශාව පහල වීමට කලින් යුගයේ ලෝකයේ මිනිසුන් පහල වුනේ හස්ත කර්මාන්ත හෝ කඩයප්පන් හැදීම වැනි ස්වයං රැකියා මාර්ගයෙන් කියා නොසිතෙන්නේ, එවැනි රැකියා සඳහාත් කාමාශාවක් නැත්නම් ජීවිතය ගෙන යාම සඳහා ආශාවක් ඕනේ. අප රැකියා කරන්නේ ජිවත් වීම පිනිසනේ. එවිට ඒ කාලයේ මිනිසුන් ඇමීබාවන් මෙන් ස්වයංව බෙදී වෙන්වෙමින් වර්ගයා බෝ කරන්න ඇති. මේ වැඩේ නවත්ත ගත්ත එකම ඇති, අර කුටුම්භ සංරක්‍ෂණය පටන් ගත්ත පළමු පිරිසට ස්තුති කරන්න.

25 Comments

Filed under Lifestyle