Tag Archives: ජනමාධ්‍ය

සිය පියකරු සිතුවම් නැත සිත්තරෙකු බොඳ කළේ!


අප ලෝකේ කොයි රටක හිටියත් මේ ආණ්ඩු කියන දේ වෙනස් කරන්න සිහින මවනවනේ. ලේ හැලීම් වලින් තොරව මේ කටයුත්ත කර ගැනීමට නොහැකි පරිසර මේ ලෝකෙන් තාම තුරන් වී නැහැ. මා එයත් අමතක කරනවා නොවේ.

ඉන්දික කියනවා වගේ, මේ කාඩ් කුට්ටමක කොළ ටික මාරු කරනවා වගේ, ඔලු ගෙඩි ටිකක් එහෙට මෙහෙට මාරු කරනවා. අන්තිමට හැම ආණ්ඩුවකම (විශේෂයෙන් ලංකාවේ) එකම ඔලු ගෙඩි ටික කොහොමත් උඩින්ම ඉන්නවා. අවුරුදු 5-10ක් නම් කමක් නැහැ. සමහරක් ඔළු ගෙඩි අවුරුදු 40ක විතර ඉඳන් මේකේ. හැබැයි, අර ඉන්දික අන්තිමට ලියුව වගේ ඇත්තටම ආණ්ඩු ද, අපිවද වෙනස් කර ගන්න ඕනේ.

ඉන්දිකල වගේ කට්ටිය මේවා ගැන සිතන්න හා ලියන්නට පටන් ගැනීම හොඳ ආරම්භයක් වෙන්න ඉඩ තියනවා. වසර 70 කට කිට්ටු කාලයක් කරපු දේ වෙනස් කර ගන්න හැකි වෙතොත් හැකි වෙන්නේ, මහජනයා විසින් ගෙන යන ජනමාධ්‍ය තවත් ප්‍රචලිත වූවොත් පමණයි. මුදලාලිලා හා ඔවුන්ගේ ඩීල් කරුවන්, වෙනත් ව්‍යාපාර සමග පවත්වාගෙන යන ජනමාධ්‍ය සම්පුර්ණයෙන් කණපිට ගහන්න හැකි වෙන්නත් ඉඩ තියනවා.

පර්යේෂණයක අප බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබේ නම්, එක්කෝ පර්යේෂණය අල්ලලා දාන්න ඕනේ, නැත්නම් පර්යේෂණය නැවත කරන විට තත්ත්ව (විචල්‍යයයන්) වෙනස් කරන්න ඕනේ.

මා සති කිහිපයකට කලින් සිංහල බ්ලොග් සටහනක කියෙව්වා, මේ දියුණුය කියන රටවල් වල ජනතාව, යහපාලනය කියන දේ රජයට, බාර දීල, බදු ගෙවමින් කල් යවනවා. යහපාලනය කියන්නේ ආංඩුවේ, කාර්යයක්, බදු ගෙවීම, එනම් ප්‍රතිපාදන සැපයීම විතරයි ජනතාව කරන්නේ කියල. මේක ඇත්ත කතාවක් ද?

වෙනත් රටවල් ගැන මා දන්නේ නැහැ. මා දකින දේ නම් මේක නොවේ. ටෝනි ඇබට් බලයට එන්න කරපු කැම්පේන් එකේ ප්‍රධාන තේමාව වුනේ, විරුද්ධ පක්ෂයේ (ආණ්ඩුවේ) වැරදි තදින් විවේචනය කිරීමයි. ඒකටත් ඕනෙවට වඩා කරුණුත් ඒ ආණ්ඩුව සපයල තිබුනා. එයිට අමතරව, වැඩපිළිවෙලක් හෝ විකල්ප වැඩසටහනක් ඒ කතා අතර තිබුණේ නැහැ. අඩුම ගානේ සජීව සංවාදයකට හෝ (කලින් ප්‍රශ්න නොදුන්න) සම්මුඛ සාකච්චාවට ඔහු කිසි දා ආවේ නැහැ.

ඔවුන් බලයට පත් වූ මුල් අවුරුද්දෙත්, කරගෙන ගියේ එම විවේචනම විතරයි. එතකොට සමහර මාධ්‍ය වේදීන් මතක් කර දුන්න, දැන් උඹලනේ ආණ්ඩුව. පරණ ඒවාට බැන බැන ඉඳල විතරක් ඇතිද කියල. ආණ්ඩුවක ආයු කාලයේ තියන අය-වැය තුනෙන් පළමු එකේදී අලුත් ආණ්ඩුව අනා ගත්ත කියුවොත් නිවැරදියි. ආණ්ඩුවක ඉහල ඇවරියේ ඉන්න මිනිසුන් කියන්නේ නිකම්ම ඔළුගෙඩි ටිකක් විතරක් නොවේ, ඔවුන් මත යම් දෙයක් රඳා පවතින වග තමා ඒකෙන් පෙන්නුම් කරන්නේ. කොන්සවේටිව් ජෝන් හාර්වර්ඩ් පවා කියුවේ, සුබසාදන කැපීම් එතරම් දුර ගෙනි යන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ කියල.

එතැනදී ඔවුනගේ ජනප්‍රියතාවය පහල ගිය හින්දා, ඉන්පසු නොයෙකුත් දේ ඇබට් විසින් කෙරුවා (කරන්න තිබුණ ප්‍රධාන දේ, එනම් ඔළුගෙඩි ටිකක් මාරු කිරීම නම් කෙරුවේ නැහැ). ඔය අතරේදී, ඔහුගේ ජොබ් එකත් ගහල නොගිහින් බේරුනේ යන්තමින්. මේ සේරටම හේතුව, අපි බදු ගෙවුවා, උඹල දැන් කරපල්ලා කියල නිකම් බලා ඉන්න ජනතාවක් ඉන්න නිසා නම් නොවේ. ජනමතය කියන දේ පෙනෙන්නට, ජනතාව පාරට බැහැල, වට රවුම් වල පිකටින් කිරීම අවශ්‍යම දෙයක් නොවේ. ගිය සතියේ කතාවුන පෙඩරල් කතානායකවරිය තමන්ගේ පක්ෂයේ අරමුදල් රැස් කිරීමකට, මහජන මුදලින් හෙලිකොප්ටරයකින් යාම පිලිබඳ මහජන ජාල වල ඇතිවුන නෙගටිව් කතා බහ තව හොඳ උදාහරණයක්.

දැන් මේ සියල්ල සිදු වන්නේ මර්ඩොක් අයියගේ පත්තර ටික ආණ්ඩුව කඩේ යත්දී. අද වන විට ජනමාධ්‍ය කියන දේ මුදලාලිලා ගේ දැඩි ග්‍රහණයෙන් මිදිලා. එයාලගේ ග්‍රහණය තාමත් තියනවා. නමුත් විකල්ප ප්‍රවුර්ති අඩවි, මුලාශ්‍ර වල බලපෑම එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. අනික මෙලෙස කඩේ යමින්, මේවා ලාභදායක ලෙස පවත්වාගෙන යාමේ අර්බුදයටත් ඔවුන් මුහුණ දෙනවා.

ටෝනි සමාජ ජාල නම් කර තිබුණේ ඉලෙක්ට්‍රොනික ග්‍රැෆිටි යනුවෙන්. මෙය වර්තමානයට අයත් නොවන මිනිසෙකුගේ ප්‍රකාශයක්. එය ඔහුගේ අනෙකුත් ආකල්ප වලිනුත් අපට පෙනෙනවා. ඇත්තටම මොවුන් දෙලොවක් අතර දෝලනය වන චරිත. මේ වගේම තමා ඇමෙරිකානු කොන්සෙවටිව් කාරයන්, ගෝලීය උෂ්ණත්වය ඉහල යාම එළිපිට ප්‍රතික්ෂේප කරන අතරේ, අයිස් දියවීම මගින්, මතුවන උතුරු අර්ධගෝලයේ භුමි වල සම්පත් වලට මොකද කරන්නේ කියන, මිලිටරි ගණන් බැලීම් නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මෙන්න පුතේ වැඩේ.

රසික සඳහන් කර තිබුණා වගේ, ඕස්ට්‍රේලියානුවන් කියන්නේ ලෝකයේ ත්‍යාගශීලිම ජාතියක් කියන එක ඇත්ත. හැබැයි ඒ ඔවුන් මහන්සියෙන් හම්බ කරපු මුදල් දෙන්න. දේශපාලකයන් මහජන මුදල් අයුතු ලෙස භාවිතාව ගැන ජනතාව ගේ කිසි කැමැත්තක් නැහැ. එවැනි චෝදනා තිබුන දේශපාලකයන්ගේ ඉරණම එතරම් හොඳ වන්නේ නැහැ. මා උදාහරණ කලින් ලියා ඇති. මේ කියන්නේ යටිමඩි ගැහීම් ගැන නොවේ. එයිට පොඩි දේවල්. මේ පරිසරය තුල, යටිමඩි ගැහීම් වලට ඉඩක් නැහැ. නොයෙකුත් ඩීල් නම් යනවා තමා. ප්‍රතිලාභ කෙලින්ම සාක්කුවට දා ගන්න වැඩ වලට ඉඩක් නැහැ. ඇත්තටම ප්‍රධාන කතිකාව තියෙන්නේ, මහජන මුදල් වියදම් කරන්නේ කෙසේද කියන එක ගැන තමා.

මා ඉහත කරුණු ලියුවේ අර මුලින් සඳහන් කරපු දෙයට නැවත එන්න සිතාගෙන. එනම් ඉන්දිකගේ කතන්දරයට. //අඩුතරමෙ ඡන්දයක් ලං වෙනකොට බොරුවක් විදියට වත් අපි මහරගම කොට්ටාවෙ ඉන්න ඔයාලට විනාඩි 10න් කොටුවට යන්න මෙට්‍රො රේල් එකක් හදලා දෙනවා කියන වචන සෙට් එක මට ඇහිල නැහැ.. කවුරුවත් එහෙම දෙයක් ඕනි කියලා හිතලත් නෑ..//. අනික් ටික මොහොතකට අමතක කරමු. මෙතැන කවුරුවත් එහෙම දෙයක් ඕනි කියලා හිතලත් නෑ කියන වචන ටිකම මගින් අපට, අපවම විස්තර කර ගන්න හැකියි.

ඇයි අප කවුරුවත් එහෙම දෙයක් හදන්න පුළුවන් කියල විහිළුවට හෝ නොසිතන්නේ. හැබැයි මා තව සිංහල බ්ලොගයක දුටුවා, කුඩා නගර වල පවා තට්ටු තුන හතරේ සුපර්මාර්කට් හදල බල්ලන් හරකුන්ට පන්ගාර්තු කර දෙනවා කියල. මොකද මෙගා වැඩ වලට කවුරුත් (මහජනතාව ඇතුළුව) කැමති නිසා. ජීවිතේට යන්න බැරි වුවත්, අපට අධිවේගී මාර්ග හදල දුන්න කියා උදම් වන මිනිසුන් ඕනේ තරම් ඇති. අඩුම ගානේ වෙන රටකට තියා, උඩ රටටවත් යන්න නොසිතනවා වුවත්, මත්තලක් හැදුවා නේ කියා සිතන පිරිසුත් ඕනේ තරම් ඇති. හැබැයි, මෙහෙම කට්ටිය “හොඳටම පිරුණු කෝච්චියේ ෆුට් බෝඩ් එක ලග ඉඳන් හෙඩ් පෝන් ගහගෙන, ඉංගිරිසි සිංදු වගයක් අහමින්, ඉංගිරිසියෙන් ෆක් ඕෆ් කිය කිය” හැමදාම උදේ වැඩට යනවා. මෙන්න මෙතන පොඩි පරස්පරයක් තියනවා නේද?

මතු සම්බන්දයි

5 Comments

Filed under Opinion