Tag Archives: ජීවන විලාසිතා

දූ දරුවන් හා දෙමාපියන්!


මේ සතිය ඉක්මනින් ගෙවී ගිය වග දැනුනේ, සතියේ දවස් දෙකක්ම වැඩට නොගිය නිසා. එකක් දරුවෙකුගේ අවශ්‍යතාවයකට. අනෙක මා කලින් යොදා ගත්ත වැඩක් නිසා ගත්තු නිවාඩුවක්. නිවාඩු කියුවට, වැඩට ගියා නම් තමා නිවාඩු.

දරුවන්ගේ අවශ්‍යතා කියන කොට මේ සතියේ මා දැකපු ලංකාවේ ප්‍රවුර්තියක තිබුන කනගාටුදායක පුවතක් මතකයට නැගුනා. ඒ අම්බලන්ගොඩ අවුරුදු 16 ක දරුවෙක්, එයා කැමති ක්‍රිකට් තරඟයක් බලන්න, දෙමාපියන්ගෙන් අවසර ඉල්ලා නොලැබුන විට හා ඒ සම්බන්දව කෙරුණ  කතා බහෙන් පසු ගත්තු කණගාටුදායක තීරණය.

එම දෙමාපියන් අද ඉන්න තත්වය  මට සිතා  ගන්න  බැහැ. දැන් what if සිතිවිලි වලට යාමෙන් දරුවා ආපසු ලැබෙන්නේ නැහැ.  කොහෙද වැරදුනේ, මොකක්ද මේ වුණේ කියමින් ඒ දෙමාපියන් අද ලත වෙනවා ඇති.

දරුවන් හැදීමේදී කොතරම් දුරට එයාලට බලපෑම් කරන්න ඕනෙද, මොනවාද එයාලට තෝරා දෙන්න ඕනේ කියන දේවල් ගැන මා කිසිවෙකුට උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැතිය කියා ලියුවේ ගිය මාසේ. එයින් අදහස් වන්නේ නැහැ, අප දරුවන්ට බලපෑම්, තේරීම් නොකෙරුවා කියා.

අප ඉපදුන රටින් ඉවත්ව එන විටම, එයාලට බලපාන ලොකුම දේ ගැන අප තීරණය කර අවසන්. ඒ මොකක්ද දන්නවද? දරුවන්ගේ එක්ස්ටෙන්දඩ් ඥාතීන්ගෙන්  ඔවුන්ව වෙන් කිරීම. අපේ දරුවන්ට ජිවිතයේ නොමැති දේවල් අතුරින් මා පළමුවට ගන්නේ මේ ඥාති සම්බන්දතාවයන්ගෙන් ඔවුන් වියුක්ත වීමයි.  මා හිතන්නේ එය ඔවුන්ගේ ජීවිතය හැඩ  ගස්වන (හොඳට හෝ නරකට) ප්‍රධාන දෙයක් කියා.  පෞද්ගලික මතය එය නරක දෙයක් කියායි.

එයින් එහාට වන දේවලුත් ඔවුන්ට අප තෝරා දී තියනවා. එව්වා කලින් ලියා තියන නිසා වැඩිපුර ලියන්නේ නැහැ. කුඩා කාලයේ පවා මේ තෝරා දීම්  ගැන ඔවුනගේ අදහස් වලට යම් තරමකට කන් දුන්න විතරක් නොවේ,  ඔවුන් ලොකු වෙන්න වෙන්න ඒ තේරීම් වලට ඔවුනගේ කැමැත්ත  (හෝ අකමැත්ත) ට තමා ප්‍රධාන තැන දුන්නේ. නැතුව අප කැමති දේවල් වලට නොවේ.

දරුවෙක් අවුරුදු 16 ක් විතර වෙනවා කියන්නේ ලොකු මිනිහෙක්. කියවන්න ඕනේ පොත්, බලන්න ඕනේ ටෙලි නාට්‍ය, කරන්න ඕනේ හෝ බලන්න යන්න ඕනේ ක්‍රීඩා ගැන තමන්ගේම කියල අදහස් ගොන්නක් තියන කෙනෙක්. පුතාල කුඩා කාලයේ පුස්තකාලයට එක්ක ගියහම, ඔවුන් තෝරා ගන්න පොත් අතරට, මාත් පොතක් දෙකක් තෝරා දුන්න. හැබැයි ඒ කුඩා වයස් වලදී විතරයි.

මා මේ දේ ලියන්නේ කිසිවෙකුට දොස් කියන්න නොවේ. අම්බලන්ගොඩ දෙමාපියන් මෙය නොබලන වග මට විශ්වාස නිසයි ලියන්නේ. ඔවුනට මෙවැනි කතා මේ වෙලාවේ වැඩක් නැහැ. හැබැයි අනික් අයට  වැඩක් වේවි.

දරුවන් වැඩිහිටියන් වූ පසුවත් ඔවුනට සහකරුවන් සහකාරියන් (ඔවුනගේ කැමැත්තට එරෙහිව හොඳේ) තෝරා දෙන්න වෙහෙසෙන මාපියන් ඉන්න පරිසරයක, අවුරුදු 16 ක දරුවෙක් ගේ කැමැත්ත ගැන කතා කරන  එක තේරුමකුත් නැති වේවි.

යෞවන  වයස කියන්නේ, ඉදිරිය නොබලා මෝඩ වැඩ කරන කාලයක් තමා. හැබැයි විනෝදයට තමන් කැමති පොතක් කියවීම, කැමති රූපවාහිනී වැඩසටහනක් බැලීම හෝ ක්‍රිකට් තරඟයක් බලන්නට යාම කියන්නේ එවැනි මෝඩ තීරණ කියා නම් කරන්න නොහැකියි. මෙවැනි දේවල් ඉගෙනීමට උදව්වක් මිස, එයට බාධාවන් නොවේ. ඇත්තටම ඉගෙනීම කියන, ජිවිතයට ආතතිය එක්  කරන දෙයකින්, එම ආතතිය අඩු කර ගන්න මං  සොයා දීම, දෙමාපියනට කරන්න හැකි උදව්වක්.

 

Advertisements

10 Comments

Filed under Opinion