අගොස්තුව අග කියන්නේ වසන්තයට ළඟයි කියන එක. හැබැයි ඒ දක්ෂිණාර්ධගෝලයට. මේ කාලය තමා ඉතාම සනීප දායක. රාත්‍රිය තවම සීතල වුවත්, දැන් දැන් දහවල් පහළොවට විතර යන නිසා, එළියේ ඇවිදින්න, වැඩ කරන්න, ඡායාරූප ගන්න යනාදියට ඉතා හිතකර පරිසරයක්. වසන්තයේ මල් මුලින්ම එන සමහර ගස් දැනටම මල් වලින් පිරිලා. නමුත් බොහෝ දෙනෙකුට එසේ සිතුණු විට, සිතුණු තැන් වල ඇවිදින්නට යන්නට ඉඩක් නැහැ. ලොක් ඩවුන් නේ.
මා කලින් සටහනේ කියුව පරිදි, පාසල් හා වෙනත් ආයතන වල පූර්ණකාලීනව ඉගෙන ගන්නා පිරිස් වලට, මේ වසරත්, පසුගිය වසරත් නරක පරිච්චේදයක්. සමහර ආයතන දුරස්ථව ඉගැන්වීමේ කළාව ඉතා සාර්ථකව ක්‍රියාවට නැගුවත්, ගොඩක් දෙනා පීඩාවට පත් වීම වළකන්නට බැහැ. විශේෂයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වගේ දේවල් කරන්න වෙන්නේ නැහැනේ. එහෙම පාඨමාලාවක් කරන සිසුවෙක් මට කියුවේ, එවැනි පංතියකදී, දුරස්ථව ඉගෙන ගන්නා අයට වෙන්නේ, පන්තියට යන්න හැකි ටික දෙනෙක් කරන ප්‍රායෝගිකය බලන එක විතරයි කියා.
විදෙස් සිසුන් නොපැමිණීම නිසා, ඕස්ට්‍රේලියානු සරසවි සියල්ලම මූල්‍ය අර්බුද වලට ගිහින් කියා අසන්නට ලැබෙනවා. රජයත් සරසවි ටික, අනෙක් පෞද්ගලික ව්‍යාපාර බලා ගත්තු තරමට හෝ, බලා ගත්තේ නැහැ. ඒ විතරක් නොවේ, වසංගතය පටාන් ගත්ග විට, මෙහි සිටි විදෙස් සිසුන්ට විශේෂ සහනයක් ලැබුනෙත් නැහැ. දැන් යන විදිහට ලබන වසරේදී වත් විදෙස් සිසුන් කලින් පරිදි එන එකක් නැහැ.
අප ඉතිං ලංකාවෙන් ඉවත් ව ඇවිල්ල, මේ වගේ රටවල් වල ඉඳන්, මැරෙන තුරුම ලංකාව හදන්නේ කොහොමද කියා කල්පනා කරමින් ඉඳන් මැරී ගියොත්, ලංකාවෙන් ඉවත් වීමේ වාසියක් තිබෙනවා නම්, එය අනතුරේ හෙළනවා. හැබැයි අර රසික ලියා ඇති පරිදි, සංක්‍රමනික යන බොහෝ දෙනෙක් විවිධ ලෙස, ඔය ලංකාවේ හැදීමේ සංග්‍රාමයට දායක වෙනවා. ඒ ගැන රසික වර්ගීකරණයකුත් ලියා තිබුනනේ.
ලංකාවෙන් විවිධ රටවල් වලට ඇවිත් ඉන්නා සංක්‍රමණික බහුතරයක් කරන දෙයක් තමා, තම දරුවන්, පාසැලෙන් ලබන ඉගෙනුමට අමතරව, තවත් ටියුෂන් වලට යවා ඉගැන්වීම. වෙන රටකට යන්නේ තමන් කැමති ලෙස ජිවත් විමටනේ. ඉතින් කැමති පරිදි ජිවත් වීමට, කැමති පරිදි දරුවන් හැදීමද අයත් වන නිසා, එහි ඇති වරදකුත් නැහැනේ.
මා නම්, කලිනුත් කියා ඇති පරිදි, අපේ මාතෘභූමියේ ඇතිව තියන විකුර්ති වලින් එකක් ලෙස ටියුෂන් සලකන නිසා, එවැනි පරිසරයක් වෙන රටකදී දරුවන්ට බලෙන් සාදා දෙන්න නොවේ, එහින් පැන ආවේ. සතියේ දින පහක් පැය හතක් අටක් පාසලෙත් ගත කරලා, ඉගෙනුමක් ලබා ගන්න නොහැකි නම්, තවත් ඔවුන්ගේ කාලය ඒ වෙනුවෙන් බලෙන් යෙදවීම, ඔවුනට පමණක් නොවේ, අපටත් වධයක් ලෙසයි මා දකින්නේ. කොහොම වුවත් ඒ කාලය දැන් ගතවී ඉවර නිසා, ඉස්සර වගේ ඔය දේවල් ගැන සිතට එන්නේ නැහැ.
මෙවැනි සමාජයන්ට මට වඩා ස්වීකරණය වී ඇතැයි කියන බොහෝ පිරිසක් ඉහත දෙය කරනවා. හැබැයි, ඔවුන්ම පිළිගන්නවා සුද්දන් නම් ඔව්ව කරන්නේ නැහැ, ඉතිං අපේ තරඟය වැඩිනේ කියා. මා කියන්නේ, ලංකාවේ සංක්‍රමණික පිරිස පමණක් නොවේ, විශේෂයෙන් ආසියානු සංක්‍රමණික කොටස්. මෙයාලා තරඟය කියන්නේ සංසන්දනය කියා මා හිතනවා.
මා ඉගෙනීමට ඉතා දක්ෂ පාසල් සිසුවෙකු නොවූවත්, සමස්තයක් ලෙස අපොස සාපෙ කරන තෙක් ටියුෂන් ගියේ නැහැ. එය හොඳ දෙයක් කියා ලොකුවට තර්ක කරන්නට මා යන්නේ නැහැ. ඉගැන්වීමට අසමර්ථ සමහර ගුරුවරුන්, ඉගැන්වූ කාලයන්හි, ඒ විශයය විකල්ප ගුරුවරයෙකුගෙන් කවර කර ගන්නට තිබුණා නම්, අර තරඟයෙදී තව ටිකක් ඉදිරියෙන් ඉන්න තිබුණා තමා. මා කියන්නේ ලබා ගත්ත දැනුම තවත් පුළුල් වෙන්න තිබුණා යන අර්ථයෙන් නොවේ, කුඩා අවස්ථා ගණනකට කරපු තරඟය ගැන විතරයි.
අපොස උපේ පළමු වසරාවසානය දක්වා මා කරපු ගොන්කම තමා, අර කලින් ටික වගේම ටියුෂන් නැතිව, ඔය විභාගෙත් ගොඩ දා ගන්න හැකිය සිතීම. වසර දෙක අවසානයේදී මා තේරුම් ගත්තු දෙය, පාසැල් යන්න ගතකරපු කාලය නිකම් කාලය නාස්ති වීමක් පමණක් යන්න. අපේ ගුරුවරුන් හතර දෙනාගෙන් එක අයෙකු හෝ නිර්දේශය ආවරණය කෙරුවේ නැහැ. සමහරුන්ගේ ඉගැන්වීම් වල බොරුත් තිබුණා. එක කෙනෙක් ලංකා හා ලෝක දේශපාලනය ගැන බයිලා ගහන්නට කාලයෙන් වැඩි කොටසක් යට කෙරුවා.