Tag Archives: ටෝනි ඇබට්

ඇල්මෙන් හකුරු විකුනව් ඉදිරි වැඩ තකා!


ඊයේ මා කියවපු මෙන්න මේ පුවත ඔබත් කියවා බලන්න. කියවන්න නොහැකි හා කම්මැලි කට්ටියට සරලව මේකයි පුවත. ක්ලාර්ක් කියන ඇමෙරිකානු නීති උපාධිධාරිය උසාවි ගිහිං. ඉතිං  හරිනේ, නිතිය ඉගෙන ගත්තය කියන්නේ උසාවි නොයා වෙන කොහේ යන්නද?

නැහැ මේකයි කතාව. මෙයා උසාවි ගොස් තියෙන්නේ තමන්ට උපාධිය “විකුණපු” San Diego’s Thomas Jefferson School of Law වලට එරෙහිව. උපාධිය නිම කර දැනට දශකයකට ආසන්න වී ඇතත්, ඔහුට තවම තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීමට හැකිවී නැහැ.

ඔහු පුර්ණකාලින ඌබර් රියදුරෙක් ලෙස සේවය කරනවා. එයින් තමා දරුවන් හා ටර්මිනලි අසනීප බිරිඳව බලා ගන්නේ. ඉන්නේ ජංගම ගෙදරක. ආහාර මුද්දරත් පාවිච්චි කරනවා. මේකත් මගේ කලින් කතාව සමග යන එකක්. එනම් ලෝකේ තියෙන්නාවූ අවුල් කියන එක සමග.

දැන් කලාර්ක් උපාධිය නිම කරපු සරසවිය සමග නඩු කියන්නේ මොකද? ඔහුගේ චෝදනාව it intentionally misled students and exaggerated postgraduation employment figures and future salary expectations කියන එකයි. ක්ලාර්ක් ඉගෙන ගන්න ගත්තු ණය  මුදල ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ තිස් දාහයි. දැන් ඔහු විතරද මේ චෝදනාව කරන්නේ. අර පුවත ටිකක් කියෙව්වොත් ඔබට පෙනේවි එවැනි තව “කේස්” තියන වග.

ඉගෙන ගැනීම හා රැකියා සොයා ගැනීම කියන දෙක අතර තියන නොගැලපීම් ඔබට හෝ මට අමුතු දේවල් නොවේනේ. මේවට උද්ගෝෂණ පවා තියනවා.

සමහරුන් ජිවිත කාලයම ඉගෙන ගත් දේ පසෙක දමා, වෙනත් රැකියා කරනවා. තවත් සමහරුන් ඉගෙන ගත්තු නිසා රැකියා කළත්, ඒවා කරන්නේ සතුටින් නොවේ. තව සමහරුනට ඉගෙන ගත්තු ඒවායින් තියා, වෙන මොනම රැකියාවක්වත් නැහැ.

මෙතැනදී මගේ පෞද්ගලික මතය කියුවොත්, මොනවා ඉගෙන ගත්තත්, තමන් සතුටු දේ කර ජීවත්වෙනවා නම් එය තමා හොඳම තේරීම.

අධ්‍යාපනය කියන්නේ වෙළඳ භාණ්ඩයක් නොවේ කියා අපට නිතර අසන්නට ලැබෙනවනේ. එහි පොඩි ඇත්තක් තියනවා. ඒ ගැන මා කලින් ලියා ඇති. ඒත්  එක්කම කිසිම දෙයක් නිකම් ලැබෙන්නේ නැතිය කියන එකත් ඇත්ත. මේ දෙකේම ග්‍රේ ඒරියාස්  තියනවා.

ලාභය පතා  අධ්‍යාපනය දීම මා එතරම් හොඳ සමාජ තේරීමක් ලෙස සලකන්නේ නැහැ. හැබැයි අනෙක් කොයි දේ වගේම මේවා දීමට කොහෙන්ද ප්‍රතිපාදන සපයන්නේ, කවුරුද ඒ වගකීම ගන්නේ කියන දේවලුත් වැදගත්. එතැනදී ලබන්නාට ද යම් දැනීමක් ලැබීම අවශ්‍ය ම දෙයක්.

මනුෂ්‍යයා කියන්නේ යමක් සිතල කරන කෙනෙක් නිසා අපට පුද්ගල තේරීම්, වගේම සාමූහික  තේරිම්ද  තියනවා. මේ එක එක රටවල් ටිකින් ටික හෝ එකිනෙකට වෙනස් වන්නේ අන්න ඒ තේරීම් නිසා. අප අද ඉන්න තැනට ඕපපාතිකව, ස්වයං ක්‍රියාවලියක් ඔස්සේ නොවේ ඇවිත් තියෙන්නේ. අපට සිතන්න වැඩිපුර හැකියාව ලැබුන විට, එතෙක් ස්වයංව කෙරිගෙන් ආ ක්‍රියාවලියට තිත තැබුවේ අපමයි.

ලෝකයේ සියලුම දෙනා ටික ටික හෝ මානව පරිණාමය හා මනුෂ්‍ය ශිෂ්ටාචාරය ගැන මූලික කරුණු ඉගෙන ගැනීම ප්‍රයෝජනවත්. මෙතැනදී ආයිත් බිත්තරෙටම යනවා. කිකිළි නොමැතිව මේක ගන්නේ කොහොමද? ඒ කියන්නේ අධ්‍යාපනය දෙන්නේ හා ලබන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා.

මේ වසරේ සිදුවූ හොඳ සිදුවීමක් ලෙස මා දකින්නේ අයිඩියොලොජිකලි ඩ්‍රයිවන් ටෝනි ඇබට් ගේ සේවා කාලය අවසන් වීම. ඔහු හා ඔහුගේ යහළුවන්, ඕස්ට්‍රේලියා උසස් අධ්‍යාපනයට යෝජනා කරපු “ප්‍රතිසංස්කරණ” සමාජ තේරීමක් ලෙස හොඳය කියා මා නම් සිතුවේ නැහැ.

දැනට තියන ක්‍රමයට වෙනස්කම් ගෙනෙනවා නම්, එය කළ  යුත්තේ මෙම ආයතන විශාල ලෙස ලාභ හඹා යන තත්වයට තල්ලු කිරීමෙන් නොවේ. සමාජයේ බහුතරයකට (අධ්‍යාපනය ලබාගැනීමට කැමති හා ඒ සඳහා කුසලතා තියන) ඒ ඉඩ දැරිය හැකි “මුදලකට” ගන්න තිබීම මුළුමහත් සමාජයට කරන්නේ යහයපතක්.

 

 

 

5 Comments

Filed under Education, Opinion