Tag Archives: දරුවන් හා දෙමාපියන්.

ක්‍රීඩාවේ ක්‍රීඩාව!


දරුවන් ඉන්න මිනිසුන්ගෙන් සමහර දෙනා දන්නවා, එයාලගේ කටයුතු වෙනුවෙන්, තමන්ගේ කාලය කොපමණ වැය කරන්න ඕනෙද කියා. දරුවන් හැදීමත්, අර ට්‍රයල් ඇන්ඩ් එරර් කියන මාවත ඔස්සේ ඇවිත්, ප්‍රශස්ත විසඳුම් කරා යොමු වීමක් ලෙස සලකන්න හැකියි.

එහෙම කරන්න හැකි එක දරුවෙකුට වැඩි ගණනක් ඉන්න විටදී පමණයි කියා මා හිතනවා. එක දරුවෙක් පමණක් ඉන්න විට, එයා ලොකු මහත් වෙනතුරු දිගටම ට්‍රයල් ඇන්ඩ් එරර් තමා.

අප දරුවන්ව බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කිරීමට යම් වෙහෙසක් දරුවා. එම ක්‍රියාකාර කම් තෝරා ගත්තේ ඔවුන්ගේ කැමැත්තත් විමසා කියුවොත් තරමක් නිවැරදියි. සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ.  ශාරීරික ක්‍රියාකාරකම් නැත්නම් ක්‍රීඩාත් එම ක්‍රියාකාරකම් අතර වූවා.

මා නම් ක්‍රීඩා නොකරනවා පමණක් නොවේ, කිසිම ක්‍රීඩාවක් අද ෆලෝ කරන්නෙත් නැහැ. ක්‍රීඩා කියන්නේ අද මනි ගේම් එකක් නේ. ඒ ඇරත්, බඩ තඩි මිනිසුන් මේ ක්‍රීඩා ෆලෝ කිරීම දකින විට, මට එහි තියන නොගැලපීම ම පෙනෙනවා.

ක්‍රීඩාවේ මූලික අරමුණ වන්නේ (මුදල් උපයීම  හැරුණු විට, 🙂 ) ශරීරය ක්‍රියාශීලිව පවත්වා ගැනීමනේ. සතුන් පසුපස හඹා යන ජීවිත  නොමැති අද, අපට සෞඛ්‍යමත් ජිවිතයක් පවත්වා ගැනීමට යම් විදිහකට ශාරීරික ව්‍යායාම්  වල දීම අවශ්‍යම දෙයක්. මනුෂ්‍යයා මේ ක්‍රීඩා නිපදවා ගෙන තියෙන්නේ එයත් අරමුණු කරගෙන නේ.

මා විශ්වාස කරන අයුරින්, අද ක්‍රීඩා වලින් නොවන්නේත් එයම තමා. ගොඩක් දෙනා ශරීරයට අහිතකර එන්හාන්ස් රසායන භාවිතා කර අහු වෙනවා. ඒ විතරක් නොවේ, කරපු ක්‍රීඩාවෙන් සමුගත් බොහෝ දෙනා, ජිවිතයේ පසුකාලීනව අප දකින්නේ, බෙල්ලක් නොමැති,  මහත ශරීර ඇති, බඩේ කෙළවර ශරීරයට අඩියක් පමණ දුරින් ඇති අයවලුන් හැටියට.

අපේ පොඩි පුතා ආසාවෙන් කරන ක්‍රීඩාවක් තමා පාපන්දු. හැබැයි ඒ තරමකට විතරයි. සමාජයකට බැඳී ක්‍රීඩා කළත්, ඩිවිෂන් තුනේ තමා හැමදාම. එයා කියන්නේ, ඉන් ඉහලට ගියහම, එයින් ලැබෙන සතුට නොලැබී යන වග. එය ඇත්තක් කියා මාත් හිතනවා.

මොකද කියනවා නම්, දෙමාපියන් සමග මා කර තියන කතා බහනෙනුත්, සමහර නිරීක්ෂණ වලිනුත්, ක්‍රීඩා වලදී ඔය දෙමාපියන්ද කොතරම් කොම්පෙටිටිව් ද කියා පෙනෙනවා. මේවායේදී අග්ලි ජාතිවාදයද මතු වනවා. ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන, පකිස්ථාන සම්භවයක් ඇති උස්මන් කවාජා ඔහුගේ කුඩා කළ  අත්දැකීම් මාස කිහිපයකට පෙර ලියා තිබුණා. එතැනදී, ඔහු කියා තිබුන දෙයක් තමා, ඔහුගේ දක්ෂතා ඉවසා ගන්න බැරිවුණු සුදු දෙමාපියන්ගේ සමහර ප්‍රතිචාර.

හැබැයි, මා සමග කතා කරපු අපේ වැඩකරන තැන සුදු ජාතික අම්ම කෙනෙක් කියුවේ, ඇයගේ පුතා සෙල්ලම් කරන විටත්, සමහර දෙමාපියන් කොතරම් නරක ලෙස හැසිරුනාද කියන එක.

පුතා කියන ඩිවිෂන් තුනේ ඉන්නා විට තියන හොඳේ තමා එතන ඉන්නේ, එවැනි දෙමාපියන් හෝ දරුවන් නොවීම. ඔවුන් ඇත්තටම සෙල්ලම් කරන්නේ ටිකක් ෆන් එකක් ගන්න. ගිය වසරේ පුතා කණ්ඩායමේ හොඳම හා සාධාරණම ක්‍රීඩකයා ලෙස තෝරා තිබුණා. එයා පාපන්දු වලට දක්ෂයි. නමුත් එයාට වඩා දක්ෂ කෙනෙක් ඒ කණ්ඩායමේ සිටියා. මා හිතන්නේ සාධාරණ කියන කරුණත් එතන තිබුන නිසා එයාව තෝරා තිබුණා.

මට මතකයට නැගෙන්නේ එක සතියක තිබුණ  තරඟයක්. අනෙක් පාර්ශවය වූයේ කැන්බරා වල පෞද්ගලික පාසලක ළමයින්. තරඟය යන විට, එම කණ්ඩායමේ, එක දරුවෙක් අත්වැරදීමකින්, වෙනතක පන්දුව යොමු කෙරුවා යයි කේන්ති ගත්, තවත් දරුවෙක් ඔහුගේ මුහුණට වැරෙන්  පහරක් දුන්න. නහයෙන් ලේ පෙරාගෙන එම දරුවා බිම වැටුණා.

එම කණ්ඩායමේ කිසිවෙක් ඔහුගේ සහයට ඉදිරිපත් වුනේ නැහැ. අපේ මල්ලි (පුතා) තමා ඔහු ලඟට ගිහිං, ආ යූ  ඕල් රයිට් මෙයිට් කියා ඔහුට නැගිටින්නට අත දුන්නේ. ඉන් පසු තමා ඔහුගේ කණ්ඩායමේ, කෝච් එතැනට  අවර්තිර්ණ වූයේ.

Advertisements

8 Comments

Filed under Lifestyle, Opinion