අද වැඩ කරන තැන කනගාටුදායක ආරංචියක් ලැබුණා. එය කෙනෙකුගේ පුතෙක් සම්බන්ධව. ඇත්තම කියනවා නම් නොමග ගිය පුතෙක්. දැන් එයාලේ “පව්” වලට කර ගහන්න වෙලා තියෙන්නේ දෙමාපියන්ට. සාමාන්‍යයෙන් දෙමාපියන් වශයෙන් අප බලාපොරොත්තු වන්නේ, දරුවන් ලොකු මහත් වී ස්වාධීන ජිවිත ගත කරාවි කියලනේ. දැන් මෙහෙම දෙයක් වුනහම කොතරම් සිතන්න, වේදනා විඳින්න හා කය වෙහෙසවන්න වෙනවා ද කියා දන්නේ, මේ වුන අයම විතරක් වෙන්න ඇති.
පේරන්ටින් ගැන මා කලින් ලියුව සටහනක ලියුවේ, එය ලෝකයේ තියන අමාරුම, ෆුල් ටයිම් රැකියාව වෙන්න පුළුවන් කියා. ඒ වගේම මා එතැනම හා වෙනත් සටහන් වල නැවත නැවත කියා ඇති මා කිසිවෙකුට පේරන්ටින් උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියා.
දරුවන් හැදීම ගැන පර්යේෂණ ඇසුරින් හා විවිධ අය සිතන අයුරින් පොත්පත් හා වෙනත් ප්‍රකාශන (රූපවාහිනී වැඩසටහන්, ඩිවිඩි වැනි) ඕනේ තරම් පළ වී තියනවා. එහෙත් මේ එකක්වත්, දිව්‍ය වදන් ලෙස ගෙන දරුවන් හදන්න හැකිය කියා, මා පෞද්ගලිකව සිතන්නේ නැහැ.
හැම දරුවෙක්ම අසම සම කෙනෙක්. ඒ වගේම අපේ ගෘහස්ථ පරිසරයන්ද අසමසමයි. භෞතික වශයෙන් මෙව්වා සමහරක් සමාන වුවත්, දෙමාපියන් වන අප අසමසම නිසා, ගෘහයන්ද අසමසමයි. මා පේරන්ටින් උපදෙස් දෙන්න ඉදිරිපත් නොවන්නේ අන්න ඒ නිසා.
එහෙම වුනත් මා සිතන්නේ කොහොමද, දරුවන්ට ලබා දුන්නේ, නොදුන්නේ මොනවාද කියා විටින් විට ලියා ඇති. ඒ වගේම අනෙක් මාපියන් කරන, එනමුත් මා නොකරපු හා කරන්නට ද බලාපොරොත්තුවක් නැති දේවල් වලින් සමහරක්ද මෙහි ලියා ඇති. පෞද්ගලික ජිවිතයේ කරුණු ලිවීමේදී සීමා දමා ගන්න ඕනේ නිසා මා කරපු හා කරන සියල්ලම ලියන්න හැටියක් නැහැ.
හැබැයි මා කරන හා කරපු (ගොඩක්) දේවල් පිළිබඳව ලැජ්ජාවක් හෝ කනගාටුවකුත් නැහැ. ඒ කියන්නේ එක දිගට අප මහා දරදඬු ලෙස එකම මතයේ සිටියා කියා නොවේ. අවශ්‍යයි සිතුනු විට වෙනස්කම් කර තියනවා.
අනික් අතට මා වැඩකට නැති දේවල් ලෙස දකින නමුත් අනෙක් දෙමාපියන් කරන සමහර “පිස්සු” නැටීම් ගැනද කතා කර ඈති නමුත්, ඒවා එයාලගේ තේරීම් වල නිදහස කියන එකත් අමතක කරන්නේ නැහැ.
සිංහලෙන් ඉගෙන ගැනීම ගැනත්, මගේ අද ජීවිතය ගැන, මා අසතුටු වෙන්නේ නැති වගත් මෙහිම ලියා ඇති. වැදගත්ම දේ පාසලේදී මට, එයිට එහාට ඉගෙන ගන්න අවශ්‍ය මූලික පදනම ලබා දුන්න එක, ලොකු දෙයක් කියා මා සිතනවා.
අපට අවශ්‍ය නිසාම (ඒ කියන්නේ දරුවන්ට එතරම් අවශ්‍යයි හැඟෙන්නේ නැති) හෝ අප කරපු දේවල් නිසාම හෝ වෙනත් අය කරනවා දුටුව නිසා හෝ, අප දරුවන්ට තේරීම් කර නැහැ.
අප හැකි තරම් එයාලව ආගම් වලින් ඉවත් කර තැබුවා. ඒ කියන්නේ ආගම් කියන්නේ මොනවාද, ඒවායේ උපත (හා විපත) විතරක් නොවේ තවත් දේවල්ද එයාලට දැන ගන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ගමන්, අපට අවශ්‍ය නිසා එයාලාව ආගමක් “අදහන්න” යොමු කෙරුවේ නැහැ. වැඩිහිටි දිවියේ ඒ සඳහා එයාලට පරම නිදහස තියනවා. ඒ එකක්.
අනික නම්, අප දරුවන් තවත් අයගේ දරුවන් සමග කිසිදා සංසන්දනය කර, තේරීම් කර නැහැ. එයත් තව දෙයක්.
පසුගියදා රසික ඕස්ට්‍රේලියානු සංක්‍රමණික දෙමාපියන්ව කැටගොරි වලට දමා තිබුණා. රසික කියා තිබුන හැටියට ඒ, රසිකට එහෙම කරන්න හැකි නිසා. මාත් අපේ සංක්‍රමණිකයන් කරන දේවල් ගැන විටින් විට ලියා ඇති. අප කරන කියන දේවල් වලින් විවිධ කැටගොරි වලට අපව දමා ගන්න හැකියි. මේවා තම තමන්ගේ තේරීම්.
ඇත්තටම දරුවන් විවිධ භාෂා ඉගෙනීම මගින් එයාලගේ බුද්ධි වර්ධනයට රුකුලක් වෙනවා කියා විවිධ පර්යේෂණ කියනවා. ඒ ගැන මා කලින් ලියා ඇති. එම භාෂාවන් දෙමාපියන් භාවිතා කරන භාෂාව/භාෂාවන්ම වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි භාෂාවක් ඉගෙනීම, ඒ දරුවන් ලබා ගන්න අනෙක් ඉගෙනීම් කරන විධික්‍රමය හා සමපාත නොවුන විට දරුවන් අතරමන් වෙනවා.
දෙමාපියන් හා දරුවන් අදහස් හුවමාරු කර ගැනීමත්, එම අදහස් හුවමාරුව දිගටම පවත්වා ගැනීමත් (වැඩිහිටියෙක් වූ පසුවත්) වැදගත් කියා මා හිතනවා. එයට යොදා ගන්න මාධ්‍යය හෝ මාධ්‍ය එයාලගේ පෞද්ගලික තේරීමක්. මේවා මෙසේ ම විය යුතුයි කියා නීති හෝ රීති දැමීම නිෂ්ඵලයි.
දරුවන්ගේ බුද්ධි වර්ධනයට ඉවහල් වන වෙනත් ක්‍රියාකාරකම් ද තියනවා. සංගීතය, නැටුම්, ක්‍රීඩා, සාහිත්‍යය වගේ දේවල් ද ඒ අතර වෙනවා. මේවාට දරුවන් දක්වන රුචිකත්වය මත, එයාලට එව්වා ඉගෙන ගන්න අවස්ථාව ලබා දීම උචිතයි.
වඩාත් වැදගත් වන්නේ දරුවන්ට (වැඩිහිටියන් වූ පසුවත්) ජිවිතයේ දිගටම පවත්වාගෙන යා හැකි මෙන්ම, බුද්ධි වර්ධනයටද ඉවහල් වන, ජිවිතයේ ආතතියද අඩු කරන මෙවැනි ක්‍රියාකාරීකමක් හෝ කම් ඔවුනගේ රුචිකත්වය අනුව තෝරා ගැනීමට උදව් කිරීමයි.
අප කරපු තේරීම් දෙකක් මා ඉහත ලියා ඇති. මට කියන්නට අවශ්‍ය තුන් වන තේරීම නම්, එයාලාව පාසලේ ඉගෙන ගන්න විෂයයන් නැවත ඉගෙන ගන්න, කිසිදා ටියුෂන් මාස්ටර්ලා ගාවට පිටත් කර නැහැ. එය අප කරපු අනෙක් සියළු තේරීම් ගැන කියන දෙයක්. ඒ ගැන මා ඔබට කල්පනා කරන්න ඉඩ දෙන්නම්.
මේ එකම දෙයක් වත්, මේ අයුරින්ම වෙනත් දෙමාපියනට රෙප්ලිකේට් කරන්න හැකිය කියා මා සිතන්නේ නැහැ. තමන් කරන්නට ඕනේ මොනවාද, නොකරන්න ඕනේ මොනවාද යන්න සොයා යා යුත්තේ තමන්ම තමා.
(Photo; Blue Mountains, NSW, Australia- taken by me)