Tag Archives: දුම් බීම

Substitutes වෙනුවට alternatives සොයා යමු!


IMG_2338 wind farm

මා දැනට ටික කාලෙකට පෙර කැන්බරා නගරයට ආපු ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙක් හමු වන්නට ගියේ මිතුරෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීමටත් එක්ක. මේ මිතුරා ඔහු ආධාර කරන මේ දේශපාලන පක්ෂය සඳහා, නොයෙක් අන්දමේ උපකාර කරන විට, ශ්‍රමයෙන් කෙසේ වුවත්, මුදලින් නම් සමහර වෙලාවට මා යම් දායකත්වයක් ලබා නොදී ඉඳල නැහැ. ඒ මගේ දේශපාලන අදහස් වලට අනුව නොවේ.

මට ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් සමග විශේෂ ඇයි හොඳයියක් හෝ තරහක් නැහැ. ලංකාවේ දේශපාලකයන් සමගත් මගේ ඇයි හොඳයියක් නැති වුවත්, ඔවුන් බොහෝ දෙනෙක් සමග මගේ තියෙන්නේ තරහක්. ඒ මට පුද්ගලිකව විඳින්නට සිදුවුණා විශේෂිත යම් අඩුවක් නිසාත් නොවේ.

දැන් මෙසේ ලංකාවේ දේශපාලකයන් මේ රට රටවල් වලට එන විට, අප වැනි සංක්‍රමණිකයන් හමු වන්නේ යම් හේතුවක් නිසානේ. හැබැයි එහෙම එන හැම දෙනාම බලන්නත් (මිතුරෙකුගේ ඉල්ලීමකට වුවත්) මා යන්නේ නැහැ. මා යන්නේ මට අවශ්‍යයි කියල සිතුනු කෙනෙක් හමු වීමට පමණයි. රට කාපු වගට පැහැදිලි සාක්ෂි හෝ කටකතා තියන එකෙක් ආවොත්, සල්ලි දෙනවා කියුවත් එවැනි හමුවකට හෝ රැස්වීමකට මා ගෙන්න ගන්නවා කියන එක බොරු.

දැන් මේ දේශපාලන නායකයා ගැන මට ඇතිවුන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම්, ඔහු ප්‍රියමනාප, ඉදිමුන ඔලුවක් නොමැති සුහදශීලි මිනිසෙකු කියා. පැය කිහිපයකින් මිනිසෙකු ගැන මහා තක්සේරුවක් කිරීම එතරම් හොඳ දෙයක් නොවේ. නමුත් මිනිසෙකු දුටුව ගමන් යම් දෙයක් සිතේ ඇඳෙනවා නේ. මා කියන්නේ අන්න ඒ සිතුවම නරක නැහැ කියල.

දැන් කතාබහ යන අතරතුර දී මගේ එක ප්‍රශ්නයක් වුණේ, මේ ලෝකයේ තියන සමාජ ක්‍රම වලට ඔබල ඉදිරිපත් කරන විකල්පය කුමක් ද කියන එක. විවේචන විතරක් වැඩක් නැහැනේ. යම් විකල්පයක් තියෙන්න ඕනේ.

ඔහුගේ උත්තරය මෙන්න මේ වගේ එකක්; අපේ අති උත්තම නායකතුමා හැට හැත්තෑ ගණන් වලදී කියපු මසුරන් කියමනක් තමා රුසියානු සපත්තුව අපට ලොකු වැඩියි, චීනයේ සෙරෙප්පු අපට පොඩි වැඩියි………යනාදී වශයෙන් මා ගොන් පාර්ට් ගණයට දමන යාං හෑල්ලක්.

දැන් මේ අය රුසියානු හා චීන සමාජ ක්‍රම අපට විකල්පය කියල, ඕස්ට්‍රේලියාවේ ජිවත් වන සංක්‍රමණිකයන්ට කියන කොට මට ඇතිවන්නේ විස්තර කරන්නටත් අමාරු අන්දමේ හැඟීමක්. මේ මහත්වරුන් ජිවත් වන්නේ කුමන ශත වර්ෂයේ ද? මේ රටවල් වලට ඇවිත්, කොහොමද මේ රටවල් වල වැඩ සිදු වන්නේ, ජනයා ගේ ආකල්ප මොනවාද? අද පවතින දේශපාලන කතාබහ කුමක්ද? මේවායේ තියන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය මොනවගේද, ඇබෝරිජිනල්වරුනට තියන විශේෂිත ප්‍රශ්න මොනවාද වගේ කරුණු මේ මුදල් එකතු කරන පාක්ෂිකයන්වත් කියා දෙනවද? එවැනි දේ දැන ගන්න මේ මහත්වරුන් උනන්දුවක් දක්වනවද? එහෙම නැත්නම් මේවා නිකම් පරණ තෙල් බෙදමින් යන ගොන් පාර්ට් විතරද? මා ගෙදර ආවේ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගැන සිතමින්.

අගමැති ඇබට් ග්‍රීන් බෑන්ක් යන නමින් වෙන්කර තිබුන ඩොලර් බිලියන 10 ක මුදලින් තව දුරටත් සුළං සහ සූර්ය (වහල මත) බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය නොකළ යුතු යයි නියෝග කෙරුවේ ගිය සතියේ. ගිය වසරේ කතාවක ඔහු සන්දාහන් කෙරුවේ ගල් අඟුරු කියන්නේ දෙවියන් දුන්න තෑග්ගක්, එයින් අප ප්‍රයෝජන නොගන්නවා කියන්නේ අපරාධයක් කියල. දෙවියන්ගෙන් ළද තෑගී ලැයිස්තුවේ සූර්ය එළිය, සුළං, මුහුදු රළ යනාදිය නොමැති වීම අහම්බයක් නොවේ.

ඔය ඉහතින් තියන පින්තුරයේ තියෙන්නේ කැන්බරා අසල සුළං බල ව්‍යාපෘතියක ඉතා ඈතින් ගත්තු දර්ශනයක්. භාණ්ඩාගාර ඇමති හොකි කලකට ඉහතදී කියුවේ, එයා කැන්බරා එන විට දකින මේ දර්ශනය ඇහැට අමාරු එකක් කියා. මේ සියලු කතා හා ක්‍රියා පිටුපස තිබෙන මූලධර්මවාදය රහසක් නොවේ.

පසුගිය රජයේ අගමැති රඩ්ව බලයෙන් පහකිරීම පිටුපස ගල් අඟුරු වලින් බිලියන ගණන් සොයන දැවැන්ත කොම්පැනි වල හෙවනැල්ල වැටී තියන අයුරු හෙළි වුණේ සති කිහිපයකට පෙර. ප්‍රතිපත්ති සම්පාදනයේත්, ජනමාධ්‍ය වලත් මොවුන්ගේ මහා බලපෑම මේවා ගැන යන්තමින් සිතන්නට පුළුවන් අයට පෙනෙනවා. හරියට ඉස්සර දුම්කොළ සමාගම් (තවමත් තියන) අතපෙවීම් වගේ.

හැබැයි මහජන මුදලින් කරපු පර්යේෂණ තුලිනුත්, ප්‍රතිපත්ති සම්පාදනයේ සිදුවුණ රැඩිකල් වෙනස්කම් වලිනුත් සමස්තයක් ලෙස සමාජයේ මේ ගැන නිවැරදි අවබෝධය ඉහල යාම නිසාත්, අද දුම්කොළ කියන්නේ ආකර්ෂනාත්මක ව්‍යාපාරයක් නොවේ. දුම්වැටි ඉරීම කැපී පෙනෙන ලෙස පහල ගිහිං තියෙන්නේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස.

මිනිසුන්ගේ කැමැත්ත හා අවබෝධය තියනවා නම්, මේ සමාජයේ කරන්නට හැකි දේවල වලට ක්ලැසිකල් උදාහරණයක් තමා ඒ කතාව කියන්නේ. හැබැයි කතාව එතනින් ඉවර නැහැ. සමාජයේ කොටසක් තවමත් දුම් උරනවා. මා කියන්නේ වැඩිහිටි පිරිස් ගැන. මෙයාල නිසා අප සැමම දායක වන සෞඛ්‍ය රක්ෂණයේ විශාල මුදලක්, නියම සේවා ලැබිය යුත්තන්ට නොලැබී යනවා. රටේම ආර්ථිකයට වන අනික් හානියත් සුළුපටු නැහැ.

අන්න එතන තමා මේ කියන ඒකීය පුද්ගලයාගේ තීරණය අපට වැදගත් වන්නේ. ලී ක්වාන් යු කරපු පරිදි මේ වැඩිහිටි බල්ලන් කොතරම් දුරට පුහුණු කිරීමට මැදිහත් වෙන්න ඕනෙද? මේ මැදිහත්වීම ඕස්ට්‍රේලියාව වගේ ප්‍රතිපත්ති සම්පාදනය, දුම්වැටි බදු ඉහල දැමීම, අධ්‍යාපනය නැංවීම, දුම්වැටි ප්‍රචාරණය සම්පුර්ණයෙන්ම අතුගා දැමීම වැනි තැන් වලින් නතර නොවී, ඒවා තහනම් කිරීම දක්වාම ගෙන යා යුතුද?

මෙය දුම්වැටි වලට විතරක් සිමා වන දෙයක් නොවේ. කෙල ගහන හැටි, මුත්‍රා කරන හැටි පවා නීති මගින් උගන්වන්න ඕනෙද? පොත් පත් පවා තෝරා දෙමුද?

සමාජයේ තියන අයහපත්කම් ගැන කෙඳිරි ගාණ, චෝදනා කරන බොහෝ මිනිසුන්, ඇත්තටම තමන්ට යහපත් යයි කිවහැකි ජිවන විලාසිතා විකල්පයන් තියන විටදී වුවත්, ඒවා තෝරා ගැනීම වෙනුවට, සමාජයටම සාප කිරීම දකින්න පුළුවන්.

ගොඩක් වෙලාවට අප සොයන්නේ පවතින දෙයට ආදේශණයන් විනා, විකල්පයන් නම් නොවේ. දේශපාලකයන් තෝරා ගැනීමේදී මෙය විශේෂයෙන් ඇත්ත.

http://www.abc.net.au/news/2015-07-16/ret-uncertainty-deterring-investment-in-wind-power-oliver-yates/6626208

අසන්නන්ගේ ඉල්ලීම්
ඉස්සර ලංකාවේ රජයේ ගුවන් විදුලිය ඇහුව කට්ටියට මතක ඇති උදේ කලබලකාරී වේලාවෙන් පසුව ගිය අසන්නන්ගේ ඉල්ලීම් වැඩසටහන. මෙයට වැඩිම දායකත්වයක් දෙන්න ඇත්තේ ගෙදරදොර වැඩපොළ කරගෙන හිටිය ගෘහණියන් වෙන්න ඕනේ. සමහරුන් සිතනවා ගෙදරම “නිකම්” ඉන්න මෙවැනි ගෘහණියන්ට මොන විනෝදාංශ ද? එයාලගේ ජිවිතයම විනෝදයක් නේ කියල. ඇත්තටම රැකියා කරන අපටත් වඩා දිවියේ ගොඩ නැගෙන ආතතිය මගහරවා ගන්න වෙනසක් අවශ්‍ය, මෙවැනි ගෘහණියන්ට.

යලිත් මගේ කතාවට ගියොත්, කැසට්, සංයුක්ත තැටි හා පසුව ආපු ජිගිටල් නොවන යුගයේ තිබුණ, එක්තරා අවිහිංසක විනෝදයක් තමා, තැපැල් පතක් යවා, ගුවන් විදුලියෙන් ගීතයක් ඉල්ලීම. මෙය කරපු කාණ්ඩ සංවිධාන ගතව එය කරපු බව, ඔවුන් තමන්ගේ ඉල්ලීම සමග සහභාගී කර ගත පිරිස් මගින් කියන්න පුළුවන්. මා කලින් මේ ගැන පොඩි සඳහනක් කළ විට, අතීතය ගැන කදිම මතකයක් තියන රවී, අරූ හා දැනට මා දන්නා තරමින් බ්ලොගයක් නොලියන සයිලන්ට් සහන්, එවකට මේ ඉල්ලීම් ඉල්ලු පිරිස් අතර සිටිය ප්‍රසිද්ද පිරිස් වල නම් වශයෙන් සඳහන් කර තිබුණා.

ගීතයන් කියන්නේ මනුෂ්‍ය කළා නිර්මාණ වල අපූරුතම අංගයක්. මෙව්වා වාහනයක් එළවන විටදීත්, වැඩක් කරන විටදීත්, පාරේ ඇවිදින විටදීත්, උයන විටදීත්, බ්ලොග් ලියන විටදීත් යනාදී අප එදිනෙදා ජිවිතයේ කරන වෙනත් ක්‍රියාකාරකම් නතර නොකර, රසවිඳින්න හැකි කළා නිර්මාණ.

යළිත් අර ගුවන්විදුලි කතාවට ගියොත්, අසන්නන්ගේ ඉල්ලීම් වලට අමතරව “නිවේදක තෝරයි” හා “සම්පාදක තෝරයි” කියල වැඩසටහන් දෙකකුත් තිබුණා. මෙයින් සම්පාදක තෝරයි තිබුණේ මට මතක හැටියට ස්වදේශීය සේවයේ. ලෝකයේ කොපමණ ගීත තිබුණත්, මේවා තෝරා ගන්න මිනිහා කොපමණ බලපෑමක් කරනවද කියන එක, එනම් තෝරන මිනිහගේ රසවින්දනය මත තෝරා ගැනීම් කොයි වගේද කියන සරල සත්‍යය මේ වැඩසටහන් දෙකම අපට පෙන්වා දුන්නා. ඒ දිනවල හිටිය මට හොඳය කියල සිතෙන ගීත තෝරපු සම්පාදකගේ නම මට දැන් මතකයට එන්නේ නැහැ.

සමහරවිට අපට, අපගේ වචන වලින් ගලපා ගන්නට බැරි අදහස් මේ ගීත රචකයන් අපට මවා දෙනවා. මගේ බ්ලොගයේ පාඨකයෙක් වන මා මහේෂ් මල්ලි කියා අමතන, අවන්හල නමින් සිංහල බ්ලොගය ලියන මහේෂ් රත්නායක, මගේ සංවත්සර සටහනට දමන්න උත්සහ කර තිබුන මේ ගීතය මගින්, ඔහු අදහස් කෙරුවේ අන්න ඒ වගේ, තමන්ට සිතෙන දෙය අනුන්ගේ පදමාලාවක් මගින් මට දැන්වීම වෙන්න ඕනේ. ඒ ගීතයට මා කැමති පමණක් නොවේ, මහේෂ් එය තෝරා ගත්තු අවස්ථාවටත් එය කදිමට ගැලපුනා. ඔබට යලිත් ස්තුතියි මහේෂ්.

3 Comments

Filed under Lifestyle