ඊයේ මල් වලට වතුර දමන විට, ගිය වසරේ වින්ටරයට පෙර මා නිකම් හිටවපු, රෝස අත්තක පළමු මල පිපිලා තියනවා දුටුවහම, එහි පොටෝ එකක් ගත්ත. එය සුදු රෝස මලක්. අපගේ සිතේ පැන නගින අපේක්ෂාත්, මේ වගේනේ .
සරත් සෘතුවේ අන්තිම, ගහක තියන එකම ඇපල් ගෙඩිය කඩා ගත්තොත්, ඔබ මොකද කරන්නේ? 🙂
එළඹෙන සති අන්තයේ දිවා කාලය රස්නේ වෙනවා කියා කාලගුණ ප්‍රවුර්ති වලට කියුව. ඉන්පසු එළඹෙන සතිය සීතලයි. සීතලයි කියුවට මහා ලොකු සීතලක් නොවේ. විස්සෙන් පහල, එච්චරයි.
තව ටික දිනකින් පත්‍ර හැලෙන ගහකොළ විවිධ වර්ණ වලින් දිස් වෙන්න ගනීවි.
(ඊයේ මා දුටු, මේ පොහොට්ටුව පිපෙණු ඇත්තේ කොයි විලසකද?).
වෙනස් වීමක් අපේක්ෂා කරපු, උපන් බිමේ ජනතාව, යලිත් වරක් (අප ජිවිත කාලය තුල විවිධ අවස්ථා වල අත් වින්ද විලසම) රවටනු ලැබීම මටත් දනවන්නේ කණගාටුවක්. උපන්බිමේ ජීවත් වුවා නම්, එය දැන් මට දැනෙන අයුරට වඩා වෙනස්ව දැනෙන්න ඉඩ තිබුණා.
අන්තර්ජාලය වැනි, අපගේ සන්නිවේදනයට විතරක් නොවේ, ආර්ථික සමුර්ධියට මහත්ම බලපෑමක් කරපු දෙයකට, තහංචි පැනවීමෙන් රටක සංවර්ධනයක් අපේක්ෂා කරන්න අමාරුයි. මා කලින් ලියුව විලස, නිරපේක්ෂ භාෂණ නිදහසක් ලොවේ කොහෙවත් නැහැ. මොකද, කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය, එම නිදහසෙන් අවහිර වනවා නම්, මුලට එන්නේ ජීවත්වීමේ අයිතිය මිසක්, කෙනෙකුගේ කතා කිරීමේ නිදහස කියන එක නොවේ.
සාමාන්‍ය මිනිසුන් විදිහට අපත්, සමාජයක් ලෙසත් අන්‍යන්ට අගතියක් වන අදහස් ප්‍රකාශ කිරීමෙන් අයින් වෙන්න ඕනේ. එහෙම නොතේරෙන පිරිසව, බැඳ තබන්න නොයෙක් රටවල නීති තියනවා. ආර්ථිකවත් දියුණු වී තියෙන්නේ, නීති කියන දේවල්, මිනිසුන්ගේ සමාජ හා ආර්ථික තත්ත්ව මොනවාද කියා සොයා නොබලා ක්‍රියාත්මක වන සමාජ තමා (එතැනදී වුවත් ප්‍රශ්න තියනවා).
ඊයේ මා වතුර දමන විට තිබුණු, උඩින් තිබුණ ඇල් මැරුණු අහස, එක වරම වර්ණවත් වී, විනාඩි 5කින් විතර අඳුරු වී ගියා. ඒ හවස 7.30 ට විතර වගේ. හරියටම, මා උඩින් සඳහන් කරපු, අපගේ අපේක්ෂාවන් වගේම තමා (ඒ අපේක්ෂා දෙස උපේක්ෂාවෙන් බලන්න හැකි, ඒවායින් අපගේ ජිවිතයට ඇති බලපෑමේ තරම කොතරම්ද කියන එක අනුව විතරක් නොවේ…..).
පසු වදන
මා කලින් සටහනේ සඳහන් කරපු චීන තරුණයා, එම සමාජයේ සාමාන්‍ය නියැදියෙන් එකෙක් ලෙස මා සලකන්නේ නැහැ. ඔහු බටහිර උසස් අධ්‍යාපනය ලත්, ලෝකය දුටුව, ‘වෙනස්’ අපේක්ෂා තියන කෙනෙක්. එම සටහනේ ඉතිරිය වෙනම ලියන්නෝනි.
අපගේ සංක්‍රමණික ලාංකික පිරිසෙන්, මා දන්නා කුඩා නියැදිය පෙන්නුම් කරන්නේ, ඔවුන් ජිවත්වන වටාපිටාව බිහි වෙලා තියෙන්නේ කොහොමද කියා එතරම් අවබෝධයක් නොමැති වගයි. එහෙම අවබෝධයෙන් ජිවත් වන පිරිස සුළුතරයක්.
ඒ මොකද කියා මා විටින් විට ලියා ඇති. ආගම් ඇදහීමේ ඉඳල, දරුවන් උස්මහත් කිරීමේ දක්වා ඔවුන් කරන දේවල් දේවල් මුළු සමාජයම කරනවා නම්, මේ සමාජයත්, ඔවුන් ඉවත්ව ආපු සමාජය වගේම වෙනවා කියන එක ඔවුන් කිසිදා තේරුම් ගන්න එකකුත් නැහැ.